Exile: මාධ්‍යවේදීන්ට අත වැනුවම ඇතිද?-සනත් බාලසුරිය

 

ජීවිතාරක්ෂාව පතා රටින් පලාගිය මාධ්‍යවේදීන්ට නැවත සියරට පැමිණෙන්නැ’යි නව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සිය අමාත්‍ය තනතුරේ වැඩබාරගත් තැන් පටන් මේ දක්වා කිහිප වතාවක්ම ආරාධනා කර තිබේ.

නව ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ඔහු කරන විවෘත ආරාධනාව පිළිබඳ පළමුකොටම ප‍්‍රශංසාත්මක ස්තුතිය පළකරමු. එසේම ඔහු මේ ආරාධනාව කරන්නේ පුද්ගලයකු වශයෙන් අවංක චේතනාවෙන්ම බව සැකකිරීමට හේතුවක්ද ලියුම්කරුට නැත.

චේතනා පරිශුද්ධ වූවත්

එහෙත් චේතනා පරිශුද්ධ වූ පමණින් මහපොළොව ඉබේ අස්වැද්දෙන්නේ නැතියෙන්, ඇමැතිවරයාගේ අවංක චේතනාව පමණක්ම ඔහුගේ ආරාධනාව යථාවකට පෙරළන්නට ඇවැසි වාස්තවික තත්ත්වයන් නිර්මාණය නොකරන්නේය යන කටුක සත්‍යයට අභිමුඛ වෙමින් මේ විවෘත ලිපිය ලියමි.

මෙහි ප‍්‍රස්තුතය ඇමැති ආරාධනාව වුව, ජනවාරි අටවැනිදා මැදියම්හි පටන් විවිධාකාර සන්නිවේදන මං ඔස්සේ, නේකාකාර හඬ තානයන්ගෙන්, ලය මානයන්ගෙන් මේ ආරාධනාවම කරන, පෙරළා පැමිණීමම ප‍්‍රශ්න කරන, සෙසු මිතුරු, නොමිතුරු, පසමිතුරු කැලතට ද මේ අනුසාරයෙන් යම් සංයුක්ත පිළිතුරක් සපයා ගනු හැකිවෙතැයි විශ්වාස කරමි.

මේ ආරාධනාවම කරන මෙතරම් පිරිසක් හිඳිද්දීත්, එ’හැමට ඉහළින් ඇමැති ආරාධනාවම ප‍්‍රස්තුත කරගන්නේ මන්දැයි යමකු උරණ වන්නටත් පිළිවන. වෙනෙකක් නිසා නොවේ. අපගේ පලාඒම ඍජුවම දේශපාලන හේතූන් හා ගැටගැසී තිබූ බැවිනි. රාජ්‍යය විසින් උතුරේ දෙමළා මත මුදාහල මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කි‍්‍රයාදාමයේම අංශුමාත‍්‍ර දිගුවක් විසින් අපගේ පළාඒමට පසුබිම සැකසූ බැවිනි.

එහෙයින්ම අපගේ නැවත පැමිණීමද රටේ දේශපාලන ප‍්‍රතිපත්ති මත තීරණය වන්නට නියමිත බැවිනි. ප‍්‍රතිපත්ති තීරණය කරන්නා වූ රාජ්‍ය කේන්ද්‍රයට පිටුවහලූන් වුවත් ජනමාධ්‍යකාරයන් වන අප යාකරන නිලමක්කාර හුය ජනමාධ්‍ය ඇමැතිවරයා බැවිනි. අපේ වර්ගයේ රටවල දේශපාලන බලධූරාවලිය තුළ මේ නිලමක්කාර හුයවල් ටක්කෙටම වැඩකරන්නේ නැතත්, නිලමක්කාරයා නිලවශයෙන් කරන ආරාධනාවට ප‍්‍රතිචාර දැක්වීම, ආරාධනාව තථ්‍ය ලෝකයේ පිහිටුවීමේදී අවශේෂ ඇරැයුම්, විමසුම්වලට වඩා සාපේක්ෂව තර්කානුකූල සේ පෙනෙන බැවිනි.

අවවරප‍්‍රසාදිතයෝ

අප රුදුරු රාජ්‍ය අපරාධ යන්ත‍්‍රයේ අඬුවකින් බේරී පලාඑන්නට සමත් වූ ‘වරප‍්‍රසාදිතයන්’ වෙද්දී, ඒ සමස්ත යාන්ත‍්‍රණයට අභිමුඛ වූ අවවරප‍්‍රසාදිත මිනිසුන්ට අභයස්ථානයක් හමුනොවීමේ ඛේදය අදටත් එසේම පවතී. බේරී පලා ආ අපට අද අතවනා ආපසු කැඳවන්නට අලූතෙන් හැදූ ආණ්ඩුවකටවත් පුළුවන. එහෙත් ඒ අපරාධයන්හි ඍජු ගොදුරු බවට පත්වූවන් අතවනා ජීවිතයට කැඳවන්නට කවුරුනම් සමත්වෙත්ද? එවැනි සිතිවිලි මාත‍්‍රයක්වත් කාටනම් පහළවේද? මේ කනස්සල්ල මගේ ප‍්‍රතිචාරය පුරා අනුනාද වන්නට පිළිවන් බව වේලාසනින්ම කියමි.

මා නියෝජනය කරන්නේ ජනමාධ්‍යකරණයේද, ජනමාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරීත්වයේද නියැලූණු, එහෙයින්මත්, දරමින් සිටි දේශපාලන මතවාදයනුත් හේතුවෙන්, විශේෂයෙන් උතුරේ ජනඝාතක යුද්ධයට එරෙහිව දෙමළාගේ අයිතිය ගැන කතාකිරීමේ පාපයෙන් ජීවිත අවදානමේ හෙළාගනිමින් රටින් පළා ආවුන් ය.

අප සියල්ලන්ටම පාහේ පලාඒමට බලපෑ සමාජ දේශපාලන සන්දර්භය එකක්ම බැවින්, ඊටත් වඩා අපට යළි උපන් බිමට පා තබන්නට ඉඩහසර විවර නොකරන සන්දර්භය එකක්ම බැවින්, ඒ සන්දර්භය නොවෙනස්ව පවත්නා තාක්කල් අප සම්බන්ධයෙන් කැරෙන මෙවැනි ආරාධනා, අඬගැසීම්, අතවැනීම් සේම අවලාදද, යථාවාදී ලෝකය තුළ ඵල රහිත බව කණගාටුවෙන් වුව ඇරැඹුමේම කියන්නට සිදුවේ. අතීතය යනු වෙනත් ක්ෂීර පථයකට අයත් දෙයක් නම්, අප ඔබ සියල්ලන්ගේ උප්පත්ති කතාව 2015 ජනවාරි 8වැනිදායින් එහාට නොයන්නේ නම්, ඊට පෙර ජීවිත කාලය වෙනත් භවයකට අයත් වන්නේ නම්, අතීත භවයන්ගේ කර්මයන් නව භවයේ පඩිසන් දෙන්නේ නැතැයි අදහන්නේ නම්, මේ ආරාධනාවන් පැනලා භාරගන්නට අපටත් පුළුවන. එහෙත් අවාසනාව නම්, යථාව එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටීම ය.

ඔබෙන් ආරාධනා ලබන අප සැබෑවටම පිටුවහලක බැඳ දමන්නේ කුමන කාරණාදැ’යි අපි දැන් හරියටම සන්දර්භ ගතකරගනිමු.

මව්බිම අහිමි කිරීමට පාත්‍ර වූ පිටුවහලූන් වශයෙන් හිඳිමින්ද අප විසින් කරන ලද එක් කාර්යයක් වූයේ 21වැනි සියවසේ සුවිශාලතම අපරාධයන් අතරට ගැනෙන, පසුගිය ආණ්ඩුව විසින් සම්පූර්ණ කරන ලද උතුරේ සංහාරයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෙළිදරව් කිරීමට හැකි පමණින් සීමිතව හෝ දායක වීමයි.

අපරාධකාරී රාජ්‍යය

අප දිගින් දිගටම රටින් පිටුවහල් කොට තබන්නේද රාජ්‍යයේ ඒ අපරාධකාරීත්වයයි. සිය අපරාධකාරීත්වය ‘අපරාධකාරීත්වයක්’ ලෙස බාර නොගන්නා, වීරකමක් ලෙස ගන්නා, තමන්ගේම රාජ්‍ය බල-වපසරියේ ජනසන්නිපාතයක් සංහාරය කිරීම දේශානුරාගයක් ලෙස ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්තියයි. ඒ ප‍්‍රතිපත්තිය උත්කර්ෂයට නංවමින්, රටේ අතිබහුතරය වසඟයට ගත් අධිපති දෘෂ්ටිවාදයයි.

රාජ්‍යයේ ඒ අපරාධ කන්දරාව හා සසඳන කල ජනමාධ්‍යයට එරෙහි අපරාධ හූණු බිජ්ජකට වැඩියමක් නොවෙතත්, ඒ බැව් අදහන්නට ඔබේ ආණ්ඩුවත් එසේම එහි යටත් වැසියාත් අදටත් සූදානම් නැතිබව අපි දනිමු. අර දැවැන්ත අපරාධ කන්ද පසෙක තිබියදී ඔබ සැම බදාගන්නට ලොල්වන්නේ මේ හූණුබිජ්ජමය. හැබැයි එහි පවා සැබෑ පරිමාව ඔබ සිතනවාට වඩා විසල් හා සංකීර්ණ එකකි.

ඇදවැටුණු එජනිස ආණ්ඩුව බලයට පැමිණි 2004 අපේ‍්‍රල් මාසයේ පටන් ඝාතනයට හෝ අතුරුදහන් වීමට ලක්කරන ලද ජනමාධ්‍යවේදීන්ගේ හා ජනමාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාවේ අවමය 44කි. අප පිහිටුවාගත් ‘‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ’’ (JDS) සංවිධානය මේ පිළිබඳ දැනට ඇති වඩාත් සවිස්තරාත්මක දත්ත එකතුව සම්පාදනය කළේය. අවම වශයෙන් මෙයින් ඝාතන හෝ අතුරුදහන් කිරීම් 39ක වගකීම පැවැති ආණ්ඩුවට හෝ එහි අනුග‍්‍රහ ලත් සන්නද්ධ කණ්ඩායම්වලට පැවරෙයි. මීට අමතරව ප‍්‍රහාරයට ලක්වූ, පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ මාධ්‍යවේදීහු බොහොමයකි. එහෙත් කලින්ද කී පරිදි මේ සමස්ත අපරාධ සිතියමෙන් අංශුමාත‍්‍රයක් පමණෙකි.

ඔබ ආරාධනා කරන්නේ ජනමාධ්‍යවේදීන්ට බැවින්, ඔබේ විෂයපථය ජනමාධ්‍ය බැවින්, ඔබට වගකියන්නට හැක්කේ ඊට පමණක් බව ඔබ කියන්නට ඉඩ ඇත. සමස්තයක් ලෙස මිනීමරු යන්ත‍්‍රයක් බවට පත් රාජ්‍යයක් කෑලිවලට ගලවා කෑල්ලෙන් කෑල්ල ශිෂ්ට සම්පන්න කිරීමේ ක‍්‍රමවේදය නොපිළිගන්නා මුත්, අපි ඔබේ වපසරිය පළමුව සලකමු.

යහපාලන මල්වට්ටිය

ජනමාධ්‍ය මර්දනයේ ඉහත සිදුවීම් කිසිවක් ගැන අවසන් යුක්තිය පසිඳලීමක් මෙතෙක් සිදු වී නැත. ඔබ ආණ්ඩුවද මේ අතුරින් වඩා ජනප‍්‍රිය නම් කිහිපයක් මතුරමින් සිටිනවා විනා, ඒවා ගැන විධිමත්ව පරීක්ෂා කොට යුක්තිය ඉටුකිරීමටත්, වරදකරුවන් භුක්ති විඳින දණ්ඩ මුක්තිය අහෝසි කිරීමටත් විධිමත් කි‍්‍රයාපිළිවෙතකට සූදානමක්වත් තවම පෙන්වා නැත. ඊටත් වඩා මේ සිදුවීම් සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන සෑහෙන පිරිසක් අද ඉන්නේ ඔබේ යහපාලන මල්වට්ටියට අත් දෙකම ගසාගෙනය. නැතිනම් එක අතක්, අඩු තරමින් සුළැඟිල්ලක්වත් ගසාගෙනය. තවත් සමහරු ඊට අතගැසීමට පිම්මේ දිව එමින් සිටිති. ඉදින් මේ සකලවිධ අපරාධකාරයන් මිනීමරුවන් දඬුවම් නොලබා නිදැල්ලේ, ඇතැම් විට අලූත් ආණ්ඩුව සෙවනේ සිටින භූමියකට ‘ජනමාධ්‍යවේදීන් වන අපට’ නැවත පැමිණෙන්නැ’යි අතවැනීමේ පවා ඇති අරුත කුමක්ද?

ජනමාධ්‍යවේදීකම පමණක් සැලකුවත් අප කියන්නේ ජීවිත අවදානමක් ඇති යමකුට ආපසු පැමිණෙන්නට සැබෑවටම බලපානු ඇත්තේ සිද්ධීන් වශයෙන් මේ කීයකට එරෙහිව නඩු අහනවාද යන්නම නොවන බවයි. නිදසුනක් ලෙස ඔබේ යහපාලන මල්පාත්තියට යහමින් පොහොර ඉසින්නට බලාසිටින ජාත්‍යන්තර බලවතුන් සමස්ත අපරාධ චිත‍්‍රයට පස්ස හරවාගෙන, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාකාරී නිර්ණායකයන් ලෙස ගන්නා ප‍්‍රධාන ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකු පිළිබඳ ඛේදාන්ත සමුච්චයක් තිබේ. ඉන් දෙක තුනක් ගැන සොයා බලා ‘අපි වගවීම සහතික කළාය’යි මුරගා, ජාත්‍යන්තර සමුළුවල අත්පොලසන් ලැබ, මහපොළොවේ යතාර්ථයන් අමතක කොට අතසෝදාගැනීම, සටකපට උපයෝගීතාවාදී සෙල්ලමක් මිස සන්දර්භය වෙනස්කිරීමට දක්වන ඇත්ත අභිලාෂයක් හෝ කැපවීමක් ලෙස අපට නම් නොපෙනේ.

එවැනි සංදර්ශනයක් වෙනුවට ඇවැසි වන්නේ පසුගිය සමයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන් අරබයා යුක්තිය ඉෂ්ට කරවන, වගවීම සහතික කරවන ශක්තිමත් හා ප‍්‍රමාණවත් ක‍්‍රමවේදයක්, යාන්ත‍්‍රණයක් පිහිටුවීමයි. මාධ්‍යවේදීන්ට ඒවා ගැන සොයා බලන්නට, කි‍්‍රයාත්මක වන්නට, වාර්තා කරන්නට සුදුසු අවකාශයක් නිර්මාණය කිරීමයි.

ප‍්‍රචාරක සන්දර්ශන

එසේ නැතිව ප‍්‍රචාරක වාසිය හා ජාත්‍යන්තර බැමි බුරුල්කර ගැනීම සඳහා පමණක් මේවා පාවිච්චි කිරීම ජීවිතාරක්ෂාව පතා රටින් පලාගියවුන් නැවත ආපසු කැඳවන්නට ප‍්‍රමාණවත් නොවන බව ඔබ තේරුම්ගත යුතු ය. සමස්ත රාජ්‍ය අපරාධ සිතියමේ එක් කුඩා වපසරියක්, හූණුබිජ්ජක් පමණක් වූ ජනමාධ්‍යයට එරෙහි අපරාධයන්ට අදාළ ආණ්ඩුවේ ප‍්‍රගති වාර්තාව එබන්දක් වේනම්, සමස්ත සාපරාධී සිතියම සම්බන්ධ ආකූල ව්‍යාකූලතා තේරුම්යන සුළුය. ඔබේ සුවපහසුව කොතරම් වනසන්නේ වුවත්, ඒ සමස්ත සාපරාධී සිතියම දෙසත් බැල්මක් නොළා සිටින්නට ඔබේ ආරාධිතයන් වන අපට නොහැකිය.

ලසන්ත ගැන කැරෙන සොයාබැලීමක් තරමටම, ඉසෛප්‍රියා, බාලචන්ද්‍රන් හා නම නොදත් දහස් සංඛ්‍යාත මිනිසුන්ට එරෙහිව දියත්වූ අපරාධ ගැන විධිමත් පරීක්ෂණ සිදුවීම අපට වැදගත් ය. ඊට ආණ්ඩුවේ ඇති සූදානම හා ඒ සඳහා ඊට ඇති විභවය කෙබඳුද? රාජ්‍ය ත‍්‍රස්තවාදයට බිලිවීම යන්න කරුණක් ලෙස ගත්විට මුල්ලිවයික්කාල්හි මැරුණු නම නොදන්නා දෙමළාගේ ජීවිතය හා ලසන්තගේ ජීවිතය අතර අපට ගුණාත්මක වශයෙන් වෙනසක් නොමැත. පුද්ගල කීර්ති කදම්භය අපරාධ සිද්ධියක පැතිරුම් වපසරිය, වේගය, තීවෘතාව තීරණය කරන්නේ වුව, එමඟින් ජීවිතවල වටිනාකම් විචල්‍ය කරතැයි අපි නොඅදහමු.

අප ජනප‍්‍රිය මාධ්‍යවේදී ඛේදවාචක අතලොස්සක් පමණක් නොව සමස්ත අපරාධකාරී රාජ්‍ය කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් වගවීමේ ක‍්‍රියාවලියක් ඉල්ලාසිටින්නේ ප‍්‍රමුඛ කාරණා දෙකක් හේතුවෙනි. ඒ කාරණා දෙකම දේශපාලනිකය. හැඟීම්, ඇදහීම් හෝ අන්ධ විශ්වාසයන් මත රඳා නොපවත්නා සුළුය. එබැවින්ම වාස්තවික තත්ත්වයන්ට ආමන්ත‍්‍රණය කරන සුළුය.

අභිලාෂය හා කැපවීම

පළමුව එවැනි කි‍්‍රයාමාර්ගයක් විසින් ඔබේ ආණ්ඩුව ප‍්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය අපරාධකාරීත්වයෙන් තීරණාත්මකව කැඞී වෙන්වන බව තහවුරු කරනු ඇත. සාධාරණ දේශපාල ඉල්ලීම්වලට, අරගලයන්ට ඔබේ විසඳුම ඒ ජනයා සමූහ ඝාතනයන්ට යටත්කිරීම නොවන බව සහතික කරනු ඇත. ඊළඟට එය අනීතික මනුෂ්‍ය ඝාතන, අතුරුදහන් කිරීම් හා වදදීම්වලට ඔබ ආණ්ඩුව එරෙහි බවත්, ඒවා පිටුදැකීම ආණ්ඩුවේ අභිලාෂය බවත්, ඊට කැපවන බවත් ප‍්‍රකට කරනු ඇත. සැබෑවටම ජීවිතය උදෙසා පලාගිය මිනිසකු ආපසු මව්බිමට කැඳවන්නට සමත් වන්නේ ඒ ප‍්‍රතිපත්තිය, අභිලාෂය හා කැපවීම විසින් තහවුරු කරන විශ්වාසයකි. රාජ්‍ය ත‍්‍රස්තවාදයට ඇදුණු අපකීර්තිමත් අතීතයකට මුල් ඇති ඔබේ ආණ්ඩුව මේ සහතිකය දීම වඩාත් වැදගත් ය.

ආණ්ඩුව මේ රාජ්‍ය සාපරාධීත්වයට එරෙහිව යුක්තිය පසිඳලන්නට ප‍්‍රායෝගිකව කි‍්‍රයා නොකළහොත් එයින් අරුත් ගැන්වෙන්නේ කුමන යහපාලන සටන් පාඨ ගුවනේ ලෙළෙව්වත්, ඒවා එලෙසින්ම මහපොළොවේ යථාර්තයන් බවට පත්කිරීමෙහිලා ආණ්ඩුවේ නොසූදානමයි. මේ පාලන තන්ත‍්‍රයද ප‍්‍රතිපත්තිමය වශයෙන් රාජ්‍යයේ අපරාධකාරී හැකියාව, නීතියට පිටින් ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් හා වද බන්ධන රාජ්‍ය පාලනයට අත්‍යාවශ්‍ය රහසිගත උපකරණ ලෙස සළකන බව, ඒ පිළිබඳ රහසිගත ස්ථාවරයක සිටින බවයි. එබැවින් ඒ ආයුධ මොට්ට නොකර අවශ්‍ය වේලාවේ දී ප‍්‍රයෝජනයට ගැනීමට පරෙස්සම් සහගතව තබාගත යුතුය’යි ආණ්ඩුව සිතන බවයි. නීතියට බැහැර අපරාධයන්ට බලමුළුගැන්විය හැකි පරිදි නීතික මිලිටරි බලඇනිවලත්, අනීතික අන්ධකාර බලවේගවලත් ශක්තිය හා විශ්වාසය පවත්වාගැනීමට එය සහතික වන බවයි.

ගයන්ත, ඇතැම්විට මෙය ඔබේ ස්ථාවරය නොවේයැයි ඔබ කියන්නට පිළිවන. ඔබ ඔබේ යහපාලන ආණ්ඩුව ගැන මෙවැනි භයානක කතාවක් අසන පළමු වතාව මෙය වන්නටත් පිළිවන. එහෙත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය එය නොවන බව කි‍්‍රයාවෙන් ඔප්පු කිරීමට එහි ප‍්‍රතිපත්ති තීරකයෝ කැපවිය යුත්තාහ.

අන්ධකාර බලවේග

දෙවනුව එවැනි වගවීමේ ශක්තිමත් ක‍්‍රියාදාමයක් විසින් රාජ්‍ය මිලිටරි අංශ මෙතෙක් එය රඟමින් සිටින අනීතික රාජ්‍ය අපරාධ උපකරණයක්ය යන මිනීමරු භූමිකාවෙන් ඉවත්කොට එහි අවම නෛතික සීමාවන්හිවත් රඳවනවා ඇත. රාජ්‍ය අනුග‍්‍රහයෙන් තරවූ අතුරු ඝාතක කල්ලිවලට තවදුරටත් සිය එදිරිවාදීන් අනීතිකව සිතියමෙන් ඉවත් කොට නිහඬ කිරීමේ ක‍්‍රමෝපායයෙහි යෙදීමට නොහැකි කරනනවා ඇත. එවැනි බලමුළුවල පැවැත්මද අභියෝගයට ලක්කරනවා පමණක් නොව, ක‍්‍රමයෙන් ඒවාට තාර්කික අවසානයක්ද ළඟාකර දෙනවා ඇත.

එහෙත් ආණ්ඩුව එසේ නොකරන තාක්කල්, මිලිටරිය යනු නීතියකින්, යුක්ති ධර්මයකින් බැඳ නොතැබෙන රාජ්‍යයේ අපරාධ සහායකයා වශයෙන් දිගටම නොපවතිනු ඇති බවටත්, කලෙක අප වැනි තමන්ගේ ‘ලස්සන සිත්තමේ නොසිටිය යුතු කරදරකාරී’ මිනිසුන් පසුපස හඹා ආ නීතියට බැහැර ඝාතන කල්ලි කණ්ඩායම් අනාගතයේදීත් පරණ පුරුදු මඟ නොගනු ඇතිබවටත් දියහැකි සහතිකය කුමක්ද?

කොටින්ම කියතොත්, ආණ්ඩුවක් වශයෙන් ඔබ ඔබේ ගබඩාවේ එවැනි නීතියට පිටින් ආයුධ තියාගන්නට සූදානම් නැති බවද, කිසිවෙකුටත් එවැනි ආයුධ තබාගන්නට ඉඩ නොදෙන බවද, එවැනි ආයුධ පාවිච්චි කළවුන්ට සේම අනාගතයේ කරන්නන්ට නීතිය හමුවේ ගැලවීමක් නැතිබවද ආණ්ඩුවක් වශයෙන් කටින් නොව, කි‍්‍රයාවෙන් ඔප්පු කළ යුතුය. සියල්ලට ඉහළින් රාජ්‍යය සිය වැසියා මත හෝ ඉන් කොටසක් අරබයා අනීතික, සාපරාධී කි‍්‍රයාන්විතයන්හි නොයෙදෙන බව, ඊට ඇති විභවයන් අහෝසි කරන බව පැහැදිළි ක‍්‍රමවේදයක් ඔස්සේ විදහාදැක්විය යුතුය.

නරුම සම්භාෂණ

අප ගැටලූව මෙතරම් පුළුල් තැනක සන්දර්භ ගතකරන්නේ මන්දැ’යි යමකු සිතන්නට පුළුවන. නිරාකරණය කරගත යුත්තේ අතිසරල ප‍්‍රශ්නයකි. අප ආපසු රටට පැමිණිය යුත්තේ කුමකටද?

අප පෙරළා පැමිණිය යුත්තේ අලයක් බතලයක් හිටවාගෙන පාඩුවේ පැත්තකට වී සිටින්නට නොවේ. ආණ්ඩු වෙනසකින් පසු තාවකාලිකව හෝ ඇතිවෙතැයි පතන ඊනියා ‘ලිබරල්’ අවකාශයට වැදී ‘ජනමාධ්‍ය නිදහස’ වැනි සමස්ත සිතියමේ එක් හුදෙකලා කඳවුරු බිමකට ගාල්වීමටද නොවේ. ලේ වැකි අතීත ‘කුණුකන්දල්’ අමතක කර, සිංහලයාට තල්හකුරුත්, දෙමළාට හබලපෙතිත් ගිල්ලවන්නට නෑගම් සංවිධානය කර, ‘ජාතික ගීය සිහල දමිළ දෙබසින්ම ගායා ජාතික සංහිඳියාව ගොඩනඟමු’යි කියන නරුම සම්භාෂණයට හවුල්වීමටද නොවේ.

අප පෙරළා පැමිණිය යුත්තේ උතුරත් දකුණත් එක සේ තලාදැමූ, ලක්ෂ සංඛ්‍යාත නන්නාඳුනන මිනිසුන්ගෙන් සමූහ මිනීවලවල් පිරවූ, මනුෂ්‍යත්වයට නිගාදෙන වදබන්ධනයන් වැපිරූ, මිනිසුන් දිගින් දිගටම පිටුවහලූන් කොට තබන්නා වූ රාජ්‍ය අපරාධකාරීත්වය අනාවරණය කිරීම හා ඊට එරෙහිවීම උදෙසාය. ඒ සංස්කෘතියම අවසන් කිරීමට කළහැකි උපරිම දායකත්වය දැක්වීම උදෙසා ය. රාජ්‍යයේ අතිමහත් සාපරාධී ක‍්‍රියාවන් සොයාබැලෙන සැබෑ යාන්ත‍්‍රණයක සාර්ථකත්වයට හැකිපමණින් දායකවීම උදෙසා ය. රාජ්‍ය අපරාධයන්ගෙන් ආතුරවූ බිමක් ඒ ව්‍යසනයෙන් දිගුකාලීනව ඈත්කර තබාගත හැක්කේ එවැනි විපරම්කාරී මැදිහත්වීමකින් පමණක් බව විශ්වීය අත්දැකීම් අපට උගන්වයි.

රට සැබෑ ලෙසම මිනීමරු සංස්කෘතියෙන් මිදුණු, රාජ්‍ය අපරාධකාරීත්වයෙන් ගැලවුණු, මානව ගරුත්වය සුරැකුණු තැනක් කිරීමට නම්, සකලවිධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්ති ධර්මයට අමතන විධිමත්, ප‍්‍රමිතිගත යාන්ත‍්‍රණයක් ස්ථාපිත කොට ක‍්‍රියාවට නැඟිය යුතුය. ජනමාධ්‍යවේදීන් ලෙස රාජ්‍යයේ අතීත අපරාධකාරීත්වයන් විනිවිදීමේ අවකාශයක් නිර්මාණය වීම අපි බලාපොරොත්තු විය යුත්තෙමු. සූරියකන්ද, වවුල්කැලේ හෝ දිවුලපිටිය ගැන ලියන්නට 1994න් පසු විවර වූ අවකාශය මුල්ලිවයික්කාල් ගැන ලිවීමටද ඒ හා සමානව විවර වනවාය යන්න අපට මෙන්ම අප හා පසුගිය වසර පහ හය තුළ සහෝදරත්වයෙන් වැඩකළ දෙමළ ජනමාධ්‍යවේදීන්ටද වැදගත් ය.

 

සිවරාම්

 

හැලීගිය දෙමළා

කණගාටුවට කරුණ නම්, ඔබේද ඇතුළු මේ බොහෝ ආරාධනා, ආමන්ත‍්‍රණවලින් මේ සහෝදර දෙමළ ජනමාධ්‍යවේදීන් සලකුණක් හෝ නැතිව හැලීගොස් තිබීම ය. රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කියන විට හැමෝටම මතක් වන්නේ ගැටලූවේ පරිධියේ සිටි මාධ්‍යවේදී සිංහලයන් පමණෙකි. එහි කේන්ද්‍රයේ සිටි මාධ්‍යවේදී දෙමළා මතක් වන්නේවත් නැත. මන්ද සංහාරයේදී දෙමළාට මාධ්‍යවේදී හෝ වෙන වෙනත් අනන්‍යතාවන් නොතිබුණු බැවිනි. තිබූ එකම අනන්‍යතාව ‘කොටියා’ පමණක් බැවිනි. ඒ අතිනුත් අපි යළිදු වරප‍්‍රසාදිත වීමේ නින්දාව ලබමු. එදා පාවාදෙන්නන්, ද්‍රෝහීන්, කොටි ඒජන්තයන් වූ අපි, අද ‘මාධ්‍යවේදී ආරාධිතයෝ’ බවට පත්ව සිටිමු.

එනයින් ගත්කල අපගේ ආපසු පැමිණීම අතිශය තීරණාත්මක ලෙස රඳාපවතින්නේ හුදු ආරාධනා මත නොව, ඊට ඔබේ ආණ්ඩුව විසින් සකසනු ලබන අවකාශයේ පරිමාව මත ය. ඔබ ඊට දක්වා ඇත්තේ කෙබඳු වූ සූදානමක්ද යන්න ගැටලූවේ කේන්ද්‍රය වෙයි.

මේ වගවීම් ක්‍රියාත්මක නොවන, රාජ්‍යයේ ලේ වැකි අපරාධ ඉතිහාසය වීරත්වයෙන් හා දේශාභිමාණී පදක්කමෙන් වැසීයන, ඒ සාපරාධී සංස්කෘතියම නිරුපද්‍රිතව පැවතෙන්නට ඉඩහැරෙන තැනකට බජාර් එකේ චණ්ඩින් සේ විසිල් මැද්දේ බැස, හුදෙකලා කූඩාරමක් අටවාගන්නට හෝ ඇඩ‍්‍රස් නැති බිලිබෝයිස්ලා වන්නට තරම් අපි අදේශපාලනික අඳබාලයෝ විය යුත්තෙමුද? ඊට වඩා කරන්නට දෙයක් අපට ඇත්තේම නැද්ද?

මානව ඛේදවාචකය

තමන්ගේ උපන් බිමට හොඳින් මුල් ඇල්ලූ මිනිසුන් එක්වරම මුලිනුදුරා, නන්නාඳුනනා බිම්කඩවල්වලට අඹු දරුවනුත් සමඟ විසිකර දමා, ඒවායේ සකල අවාසිදායක කොන්දේසි මධ්‍යයේ අඩ දශකයකට වඩා විනාශ නොවී පැවැතීම වෙනුවෙන් අරගල කරන්නට බලකැරෙන තත්ත්වයන්ට ඇදදැමුවාට පසු, එයින් උත්පාද වන මානවීය ඛේදවාචකය ‘අපි අද උදේ අලූත් ආණ්ඩුවක් හැදුවා, දැන් ඉතින් ආපසු එන්නැ’යි ආරාධනා කරන තරම් සරල නැත. එහෙත් මේ මොහොතේ මම ඒ මානවීය ඛේදවාචකයට ආමන්ත‍්‍රණය කිරීමට නොවෙහෙසෙමි.

හිතවත් ගයන්ත, අවසාන වශයෙන් කිව යුත්තේ ජීවිත බේරාගෙන රටින් පළාගිය ජනමාධ්‍යවේදියකු හෝ මොන යම්ම කෙනෙකු හෝ ආපසු කැඳවීමට අවශ්‍ය පසුබිම රටතුළ ගොඩනඟන්නේ නැතිව, තොටුපොළ අයිනේ සිට අතවැනුවාට පමණක් වැඩක් වන්නේ නැති බව ය.☐

සනත් බාලසූරිය

 

 


©  JDS

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.