Freedom:නිදහසේ අරුණලෝකය පෙනේද?

හැට හත් වැනි නිදහස් සමරුව ඉක්ම ගොස් දැන් මාසයකි. අලුත් ආණ්ඩුවේ පොරොන්දු පෙළ ගැස් වූ දින100න් හරි අඩක් ගෙවී අවසන් වෙන්නටත් කලින් මහින්ද රාජපක්‍ෂ පෙරටු කොටගත් ‘ජාතිය ගළවාගැනීමේ සරණාගත සන්ධාන’ යළිත් ආණ්ඩු බලය පිහිටුවීමේ තර්ජනය නුගේගොඩට බලමුළු ගැන් වූ මහා ජනකායකින් ප්‍රදර්ශනය කළහ.

නිහඬ විප්ලවයකැයි ඇතැමුන් කල්පනා කරන ජනවාරි 8 වැනිදා ජනපතිවරණයට පසු, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන දැන් දිස්වන විපරීත චිත්‍රය මෙබඳු ය:

දෙමළ ජනයා විෂයෙහි ශ්‍රී ලංකා රජය වර්ග සංහාරක චේතනාවකින් කටයුතු කළ බවට උතුරු පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාව තරයේ හෙළා දුටු පනස් වියැති ජනතා විමුක්ති පෙරමුණ, වන්නියේ දෙමළ ජනයාට බර අවි වලින් පහර දෙන්නැයි ආණ්ඩුවට බල නොකළා නම් හොඳ යැයි පසුතැවිලි වේ. කටුනායක ගුවන් තොටුපොළින් ගොඩ බසින දෙමළ ජනයාට ඇට වූ ‘කොටි කෙමන’ තව දුරටත් නොවෙනස්ව ඇති අතර ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ වීසා ප්‍රශ්නය අභිනව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලිට්මස් පරීක්‍ෂාවකැයි ඇතැම්හු කල්පනා කරති.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුවන්වැලි සෑයත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කිරිවෙහෙරත් වැඳ පුදා ගන්නා අතරවාරයේ ජයන්ත කැටගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයෙන්ද, සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයකින්ද පිදුම් ලැබීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් විදුලි පුටුවට යැවූ පළමු ලෝක නායකයා වන්නට බලා සිටි රාජපක්‍ෂගේ ගැමි නාටකය හිටි අඩියේ නිමා වී ඇති අතර, යුද අපරාධ සෙවීමේ ජාත්‍යන්තර පරීක්‍ෂණ ගැන කතා කිරීම ‘අපේ රටට අවමානයකැයි’ ප්‍රකාශ කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක දූපත්වාසී සිංහලයින් පිනවීමේ කාර්යයට මුල පුරා ඇත.

රාජපක්‍ෂ පාලනයේ වැඩවසම් රාජ බන්ධනයෙන් මිදීමේ දින 100 සමරන්නට තවත් ඉතිරිව ඇත්තේ මාසයකි. දින දහයකින් ලක්‍ෂ 234ක ආදායම් වාර්තා තැබූ ‘මහරජ ගැමුණු’ ඊඒපී මණ්ඩලයේ සිනමාහල්වල සිංහල සිනමා ලෝලීන්ගේ උද්වේගය අවුළුවමින් දැන් ප්‍රදර්ශනය වේ.

‘21 වැනි සියවසේ ප්‍රජා පීඩක ආණ්ඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රයන්ගේ වේශයෙනැ’යි කීවේ ‘අන්තවාදියෙකු’ නොවේ. සිනමාවේදියෙකු වන අල්ෆොන්සෝ ක්වෙරොන් ය.

කල් තියා දිනාගත් ‘නිදහසට’ වසර 67කි. අලුතින් දිනාගත් ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ දවස්  67කි.

ප්‍රභූ ජන සාකච්ඡා මණ්ඩපවලින් මගහැරුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා සිය දහසක් අතුරින් අහම්බෙන් එකතු කරගත් කතා හතරක්  කෙටියෙන් සටහන් කර තැබීම වටනේ යැයි අප කල්පනා කළේ එබැවිනි.

පළමු සාක්‍ෂිය: දම්මිකා ප්‍රියදර්ශනී සිල්වා


(2012 නොවැම්බර් 27 වැනිදා අලුයම කොළඹ – නුවර මාර්ගයේ ‘හදිසි අනතුරකින්’ මිය ගිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාධරයෙකු වූ රුහුණු සරසවි ශිෂ්‍ය සිසිත ප්‍රියංකරගේ නැන්දනිය)

“සිසිත මගේ සහෝදරයාගේ පුතා. නමුත් එයා ඉපදිලා මාස හයේ පටන් හදා වඩා ගත්තේ මමයි. අපි ජිවත් වෙන්නේ කොළඹ මෝදර. සිසිත ඉස්කෝලේ ගියේ මෝදර ඩිලාසාල් විද්‍යාලයට. පොඩි  කාලේ ඉඳන්ම එයා ඉගෙනීමට ඉතාම දක්ෂයි. සිසිත ඉගෙන ගත්තේ ගොඩක් දුක් විඳලා. කුප්පි ලාම්පු  එළියෙන් පාඩම් කරලා තමයි විශ්ව විද්‍යාලයට ගියේ. ඩිලාසාල් එකෙන් අවුරුදු 20කට පස්සේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබු එකම කෙනා සිසිත විතරයි.

“සිසිත විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවහම අපි හැමෝම ගොඩක් සන්තෝෂ වුණා. නමුත් පුතාට වැඩි කාලයක් අධ්‍යාපන කටයුතුවලට කාලය දාන්න පුළුවන් වුණේ නැහැ. ඒකට එක හේතුවක් තමයි දිගින් දිගටම විශ්ව විද්‍යාලවල ඇතිවුණ ගැටුම්. අනෙක් කාරණය පුතා වැඩි කාලයක් ශිෂ්‍ය උද්ඝෝෂණ සහ අරගලවලට සම්බන්ධව කටයුතු කිරීමයි. එයා හැම වෙලාවේම අපට කියපු එකක් තමයි එයා දුක් විඳලා විශ්ව විද්‍යාලයට ගිය නිසාත්, විශ්ව විද්‍යාලවල තියෙන ප්‍රශ්න නිසාත්  අනෙක් අය ඒ අත්දැකීම්වලට මුහුණ නොදිය යුතුයි කියන එක.

“ශිෂ්‍ය උද්ඝෝෂණවලට සම්බන්ධව කටයුතු කිරීම නිසා පුතාට තර්ජන තිබුණු බව අපි දැනගෙන හිටියා. එයා හැම වෙලාවේම අඳින පළඳින විදිය වගේම කොණ්ඩා මෝස්තරයත් වෙනස් කළා. පුතා අනතුරට පත්වෙලා කියලා මුලින්ම අපිට දැනුම් දුන්නේ මෝදර පොලිසියෙන්. පොලිසියේ දැනුම් දීමට අපි ගම්පහ රෝහලට ගියා. පොලිසිය අපිට කිව්වේ ‘යමු, අනතුරක් වෙලා තියනවා’ කියලා විතරයි. රෝහලේදි පුතාගේ මළ සිරුර හඳුනාගත්තා. මළ  සිරුර දැක්කට පස්සේ  අපිට කොහොමටවත් විශ්වාස කරන්න බැරි වුණා  පුතා මිය ගියේ රිය අනතුරක් නිසාය කියලා. පුතාගේ මුහුණ සම්පුර්ණයෙන්ම තැළිලා තිබුණේ. අපිට මේ මරණය අවිශ්වාසයි කියලා මහේස්ත්‍රාත්ට අපි කිව්වා . ඒත් පොලිසිය ඒකට අපිට ඉඩ දුන්නේ නැහැ. පොලිසිය හැම වෙලාවේම අපි කියන දේට විරුද්ධව තමයි කතා කළේ.

“මල් ශාලාවේ අයත් අපිට කිව්වේ මේ  මරණය රිය අනතුරක් වෙන්න බැරි බවයි. ඒ අය අපිට පෙන්නුවා පුතාගේ ඇඟේ තිබුණු හිල් වගයක්. එහෙම වෙලා තියෙන්නේ උල් ආයුධයකින් සිරුර ඇතුළට ඇනලා තියෙන නිසා කියලා පසුව අපි දැන ගත්තා. කෙහොම වුණත් මේ මරණය සම්බන්ධයෙන් අද වනතුරුත් සාධාරණ පරීක්‍ෂණයක් කෙරිලා නැහැ. අපි උසාවියට යන හැම අවස්ථාවකම සිදුවුණේ නඩුව කල්  ගිය එක විතරයි. උසාවියෙන් පොලිසියට මොන තරම් නියෝග කළත් පරීක්ෂණ පවත්වන්න සහ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන්න කියලා පොලිසිය ඒ හැම අවස්ථාවකදීම කළේ මග හරින එක.”

දෙවන සාක්‍ෂිය: ඥාණසුන්දරම් කුගනාදන්


(2011 ජූලි මසයේ 9 වැනිදා මරණීය ප්‍රහාරයකින් දිවි ගළවාගන්නා තෙක් පුරා තුන් වසරක් සිය පුවත්පත් කාර්යාලය පිටව නොගොස් එහිම ජීවත් වූ උදයන් පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ)

“මම මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 1966 වර්ෂයේදි විතර ඉස්කෝලේ යන අවධියේදි. ඒ ප්‍රාදේශිය වාර්තාකරුවකු විදියට. පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම රැකියාව සඳහා කොළඹට ආවා. ඒ කළම්බු කොමර්ෂල් සමාගමේ ගිණුම් අංශයේ ලිපිකරුවකු විදියට ලැබුණ පත්වීමක් භාර අරගෙනයි. 1983 වර්ෂය වන තෙක් මම එම සමාගමේ සේවය කළා. 1983 ඇති වුණු කළු ජූලිය හේතුකොට ගෙන එම රැකියාවෙන් ඉවත්ව නැවත යාපනයට යන්න මා හට සිදු වෙනවා. මට මතකයි කළු ජූලියේ සිදුවීම්. මම හොඳින් දන්නා හඳුනන සිංහල මිනිසුන් තමයි දෙමළ මිනිසුන්ට පහර දුන්නේ, මැරුවේ‍, නිවාස, වෙළඳ සැල් ගිනි තියමින් ඒ මිනිසුන්ගේ බඩු කොල්ල කෑවේ. කළු ජූලියේ දී මට හිරිහැර කරන්න මාත් එක්ක සේවය කරපු සමහර සිංහල අය උත්සහ කළා. නමුත් රණතුංග කියලා සිංහල කළමණාකාරවරයෙක්ම තමයි එදා මට හිරිහැර කරන්න නොදී බේර ගත්තේ.

“පසුව මම නැවතත් යාපනේට ගියා. ඉන් පස්සේ 1989 වර්ෂයේ මැයි 02 වැනිදා තමයි ‘උදයන්’ පුවත් පතේ සේවයට එක් වුණේ. එදා පටන් අවුරුදු විසි පහක් මම උදයන් පත්තරේ සේවය කළා. යාපනේ ජීවත් වුණු මිනිස්සු යුද්ධය සහ මිලිටරි පාලනය නිසා නොයෙක් ආකාරයේ හිංසා පීඩාවන්ට ලක් වී තියෙනවා. මාධ්‍යවේදියෙකු විදියට ඒ සම්බන්ධව මට තියෙන අත්දැකීම් බොහෝමයි. හැම ආණ්ඩුවක් යටතේම දැඩි පාලනයකට, මර්දනයකට ලක්වෙන්න යාපනය මිනිසුන්ටත්, පොදුවේ උතුරු-නැගෙනහිර දෙමළ මිනිසුන්ටත් සිද්ධ වෙනවා. ඒක  තවමත් නොවෙනස්ව තියෙන තත්ත්වයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ගේ වගේම ඉන්දියන් සාම සාධක හමුදාවේ පාලනයට යටත්ව යාපනය පැවති යුගවල තත්ත්වය ඉතාම බිහිසුණු බව මට මතකයි. දකුණේ මිනිසුන් යම් පමණකින් හෝ  භුක්ති විඳින නිදහස, අයිතිවාසිකම් උතුරු නැගෙනහිර මිනිසුන්ට හැමදාම අහිමියි. මුල් අවදියේදි යාපනයේ පත්තරවල වැඩි ඉඩක් වෙන් කෙරුනේ සංවර්ධනමය ප්‍රවෘත්ති සහ සාමාන්‍ය තත්ත්වයේ ප්‍රවෘත්ති වාර්තාකරණයට. නමුත් පස්සේ මේ තත්ත්වයෙහි වෙනසක් වුණා. ’80 දශකයේ අග භාගයෙන් පසුව අපිට සිද්ධ වුණේ ඝාතන සහ හිංසන ක්‍රියාවන් ගැන නොකඩා වාර්තා කරන්න. දිනපතාම මරා දැමෙන, අතුරුදහන් කරන, පැහැර ගෙන යන සහ වද බන්ධනයන්ට ලක්කරන දෙමළ මිනිස්සුන්ගේ දුක් අඳෝනාවලින් අපේ  පත්තර පිටු පිරෙන්න පටන් ගත්තේ ඒ කාලෙන් පස්සෙයි. ඇතැම් දවස්වල පුමුඛතාවය ලබා දීලා වාර්තා කරන්නේ මොකක්ද කියලා තෝරා ගන්න බැරි තරමට හිංසන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වාර්තා වුණා.

“2006 මුහමාලේ ප්‍රහාරයෙන් පස්සේ යාපනයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කිසි ම කෙනෙකුට  යාපනයෙන් පිටවීමට අවසර ලැබුණේ නැහැ. එයින් පස්සේ යාපනය සම්පූර්ණයෙන්ම එළිමහන් සිර කඳවුරක් බවට පත්වුණු බව කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. යමෙකුට යාපනයෙන් පිටවෙන්න අවශ්‍ය නම් යුද හමුදාවේ  ලියාපදිංචි විය යුතුයි. එහෙම ලියාපදිංචි වීමෙන් පස්සේ හමුදා බුද්ධි අංශ  විසින් අදාල පුද්ගලයා ගැන හොයලා බලනවා. ඒ ගතවන කාල සීමාව ඉතාම භයානක එකක්. මොකද, ඒක එක් ආකාරයක මරණය හෝ ජීවත් වීම පිළිබඳව කෙරෙන පරීක්ෂණයක් වගේ නිසා. යාපනයෙන් පිටවීමට අයදුම් කරන යම් අයෙක් ගැන ඒ කාලෙදි යුද හමුදාවට යම් සැකයක් හෝ අවිශ්වාසයක් ඇති වුණා නම් කිසිම පමාවක් නැතිව ඒ පුද්ගලයාව එක්කෝ පැහැර ගන්නවා, නැතිනම් පාරක දි මරා දානවා. ඒ දවස්වල අවම වශයෙන් දවසකට පුද්ගලයන් පහක් හෝ හයක් මරා දැමුණා. මම සේවය කරපු උදයන් පුවත් පතේ වාර්තාකරුවන් දිනපතාම එවැනි ඝාතන ගැන තොරතුරු රැගෙන එනවා මට මතකයි. ඇත්තෙන්ම මගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා මරා දමා තිබුණේත් ඒ විදියටයි. මගේ මතකයේ හැටියට ඒ විදියට පුද්ගලයන්1000-1200ක් විතර ඒ දවස්වල මරා දැම්මා.

“කොහොම වුණත් 2011 ජූලි මස 29 වැනි දා මට එල්ලවුණ ප්‍රහාරය හේතු කොට ගෙන දින පහක් මම රෝහලේ කෝමා තත්ත්වයේ ඉන්න සිදු වුණා. පසුව  මම සහ මගේ බිරිඳට සිදුවෙනවා ජීවිතාරක්‍ෂාව පතා දේශපාල රැකවරණ ලබාගෙන ලංකාවෙන් පිටවෙන්න. පිටුවහල් ජීවිතයකට හැඩ ගැහෙන්න අපි වගේ වයසක අයට කොහොමටත් අමාරුයි. අපේ වයසට ආවාම අවශ්‍ය එකම දේ නිදහසේ පුරුදු වැඩ ටික කරගෙන පුරුදු ගේ දොරවල ජීවත්වෙලා මැරිලා යන්නයි. නමුත්  අද මම දේශපාලන සරණාගතයෙක්. අවුරුදු 30කට වැඩි කාලයක් කරපු මගේ වෘත්තීය මට නැතිවෙලා. අපේ දරුවන් සහ නෑදැයින්ගෙන් දුරස්ව ජීවත් වෙන්න අපිට බල කෙරිලා තියෙනවා. එහෙම වෙන්න කරපු වරද මොකක්ද කියන මට අදටත් තේරුම් ගන්න බැහැ. මගේ උපන් රටේ දෙමළ මිනිහෙක් වෙලා ඉපදුණු එක ඇරෙන්න මම වෙන කිසිම වරදක් කරලා නැහැ.”

තුන්වැනි සාක්‍ෂිය: ජී එම් නීලකුමාර


(2012 නොවැම්බර් 27 වැනිදා අලුයම කොළඹ – නුවර මාර්ගයේ ‘හදිසි අනතුරකින්’ මිය ගිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාධරයෙකු වූ කැළණිය සරසවි ශිෂ්‍ය ජනක බණ්ඩාර ඒකනායකගේ පියා)

“ජනක, මගේ පුතා, මිය ගියා කියලා අපි කාටවත් හිතෙන්නේ නැහැ. ඇයි ඒ දරුවන්ව මරලා දැම්මේ? ඒ දරුවන්ව මරලා දැම්මා විතරක් නෙමෙයි, ඒ අපරාධයන් යට ගහන්න කළ හැකි සියල්ල තවමත් කරනවා. අපේ දරුවෝ විශ්ව විද්‍යාලය දක්වා ඉහළට ගියේ සියළු සැප පහසුකම් එක්ක ජීවත් වෙලා ලැබුණ අධ්‍යාපනයකින් නෙ‍වෙයි. අනන්ත දුක් කන්දරාවක් විඳිමින් තමයි අපේ දරුවො ඉහළට ඉගෙන ගත්තේ.

“මම රජයේ සේවකයෙක්. මාතලේ දිස්ත්‍රික්කයේ, නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තලාගොඩ කියන ගම්මානේ තමයි අපි පදිංචිව ඉන්නේ. පුතා ගමේ ඉතාම ජනප්‍රියයි. හැමෝම එයාටත් – එයා හැමෝටමත්, හැකි පමණින් උදව් උපකාර කෙරුවා. පොදු වැඩ වලට සහභාගි වුණා. මම හිතන්නේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාමත් ඒ පුරුද්ද දිගටම එයාට තිබුණා.  විශ්ව විද්‍යාලවල ළමයින්ට විඳින්න වෙලා තිබුණ දුක් ගැහට, කරදර ගැන පුතා හරියට කළකිරීමෙන් හිටියේ. ඒගොල්ලෝ සටන් කලේ හැම ළමයෙකුගේම අධ්‍යාපන අයිතිය වෙනුවෙන්.

“විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය අරගලවලට සම්බන්ධව පුතා කටයුතු කරපු නිසා ඇත්තටම අපිට බයක් නොදැනුනා නොවෙයි. එකක් එයාගේ අධ්‍යාපනය අඩපනවෙයි කියන බය. අනෙක් එක, එයාට යම් හිරිහැරයක් වෙයි කියන බය. අපි නිතරම පුතාට ආරක්‍ෂාව ගැන අවවාද කළත් ඇත්තටම අපිට හිතුනේ නැහැ පුතාට මෙහෙම අනතුරක් වෙයි, මේ විදිහට මහමග මරලා දායි කියලා.

“පුතාගේ මරණය ආරංචි වෙන කොට මම හිටියේ රාජකාරි වැඩකට සම්බන්ධව. මුලින්ම අපි හිතුවේ නැහැ පුතා මිය ගිහින් කියලා. එත් අපි ගම්පහ රෝහලට ගිහින් බලන කොට පුතා මිය ගිහින්. අපිට විශ්වාස කරන්න බැරිවුණා. එත් අපි දැක්කා ජනක පුතාගේ මළසිරුර. මගේ පුතාගේ මුහුන හොඳටම තැළිලා තිබුණේ. පොලිසියෙන් මට කිව්වේ මොටර් බයිසිකල් අනතුරක් නිසා මිය ගිහින් කියලා. එත් මම ඒක විශ්වාස කළේ නැහැ. අද විශ්වාස කරන්නෙත් නැහැ.

“මට තේරුනා මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙන බව. ඒත් එක්කම පොලිසිය අපිව රවටන බවත් මට වැටහුනා. මරණ පරීක්‍ෂණය පැවැත්වෙන අවස්ථාවේදී පොලිසිය නොයෙක් විදිහේ බලපෑම් කරමින් අපෙන් ප්‍රකාශයක් ගන්න උත්සහ කළා ‘මේක රිය අනතුරකින් සිදුවු මරණයක්’ කියලා අපි විශ්වාස කරන බව පෙන්වන්න. මගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න විට දිගින් දිගටම කවුරු හෝ අයෙක් පොලිසියට දුරකතන ඇමතුම් දෙමින් කුමක් හෝ විමසුවා මට මතකයි. ඒ සෑම අවස්ථාවකදීම ප්‍රකාශය සටහන් කරගත් නිළධාරියා කළේ මම එතෙක් කළ ප්‍රකාශය ඉරා දමමින් නැවත ලිවීමයි. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ හැම දෙයක් නිසාම පුතාගේ මරණය ගැන සැකය තීව්‍ර වුණා. ඒත් අපි වගේ සමාන්‍ය මිනිස්සු කොහොමද මෙහෙම තත්ත්වයකට විරුද්ධව නැගී හිටින්නේ. හැම අවස්ථාවකදීම සිදුවුණේ අපව නොසලකා හරිමින් මේ ඝාතනය යටපත් කරන්න දරන උත්සාහය දිහා බලා ඉන්නයි. මිනී කාමරයේ ඉඳන් අධිකරණය දක්වා ඒ තත්ත්වය දිගටම පැවතුනා. තවමත් එහෙමයි.

“ඇත්තෙන්ම සාමාන්‍ය මිනිසුන් විදිහට දැන් අපි ගොඩක් වෙහෙසට පත්වෙලා ඉන්නේ. අපිට අවශ්‍යතාවය තිබුණට හැකියාවක්, බලයක් නැහැ මේ බලවත් ඝාතකයෝ එක්ක සටන් කරන්න. මේ වගේ සැළසුම් සහගත ඝාතනයක් කරන්න පුලුවන් ඒ සම්බන්ධව පළපුරුද්දක් තියෙන කෙනෙකුට විතරයි. ඒ වගේම එවැනි පුද්ගලයන්ට මොනයම් හෝ බලවත් පාර්ශවයක් රැකවරණය, ආරක්ෂාව ලැබෙන බවත් අපි දන්නවා. ඒ නිසාම තමයි නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය වැනි ආයතන නීතියට පිටස්තරව කටයුතු කරන්නේ. අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට හිරිහැරවෙන විදිහට ක්‍රියාත්මක වෙන්නෙ. මම හිතන්නේ මේක අපිට විතරක් සිද්ධ වුණු දෙයක් නොවෙයි. රටේ පොදු තත්ත්වයක්. අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ පුද්ගල තරාතිරම බලලා. රටේ බලවත් පුද්ගලයන්ට එක් නීතියකුත් අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒක එහෙම නොවෙයි නම් අපේ  දරුවෝ මහ මග මරලා දාපු ඝාතකයෝ අල්ලන්න නීතියට පුලුවන් වෙන්න ඕනි.

“මේ අය බලවත් ඝාතකයෝ වෙන්න පුලුවන්. ඒත් අපි අපේ දරුවන්ව මරලා දපු අයව නීතිය ඉදිරියට ගෙන්න කරන සටන මැරෙනකම් නතර කරන්නේ නැහැ. නතර කරන්නත් බැහැ. මැරුණේ අපි අමාරුවෙන් උස් මහත් කරලා, මහන්සි වෙලා උගන්වා ගත්ත දරුවෙක්. අපි ඒක නතර කර දැම්මොත් මුලු රටේම දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන අනෙක් දරුවොත් හෙට මහමග මරලා දාන්න පුලුවන්. මගේ පුතා මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරලා දාපු පළමු ශිෂ්‍යයා නොවෙයි. ඇතැම් විට අවසන් ශිෂ්‍යයාත් නොවෙන්න පුලුවන්. මේ රටේ ඇත්ත තත්ත්වය ඒකයි.”

සිව්වැනි සාක්‍ෂිය: ඒ ආර් එල් බදුර්දීර්

 

 

(බොදු බල සේනාවන්ගේ වෛරී ප්‍රකාශයන් මුල් කොටගෙන 2014 ජූනි 15 වැනිදා අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල අැවිළ ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් දිවි ගළවාගත් මුස්ලිම් ජාතිකයෙක්)

“බේරුවල මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් පසුගිය අවුරුද්දේ ජූනි 15 වැනිදා ඇති වු සිද්ධිය හිටි අඩියේ සිද්ධවුණ දෙයක් නෙවෙයි.  යම් කණ්ඩායමක් විසින් සැළසුම් සහගතව ක්‍රියාත්මක කරපු දෙයක්. ඒ වගේම ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් පසුගිය වසර කිහිපයේ නොයෙක් ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්, හිංසනයන් සිදුවු බව කිව යුතුයි. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන, ව්‍යාපාරික කටයුතුවල නිරතවන ප්‍රදේශවලත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් වාර්තා වුණා. ඇතැම් සිදුවීම් සිදුවුනේ ඉතාම ප්‍රසිද්ධියේ. බේරුවලත් ඒකට එක උදාහරණයක්. සමතයකට පත්කර ගතහැකි සුලු සිදුවීමක් දේශපාලන බලය සහිත පුද්ගල කණ්ඩායම් විසින් බරපතල සිදු වීමක් බවට පත් කළා. ඒකෙන් මහා විනාශයක් සිද්ධ වුණා. මිනිස් ජීවිත කිහිපයක්ම නැතිවුණා. මිලියන ගණනක දේපල නිවාස ව්‍යාපාරික ස්ථාන වැනසුනා. ඇතැම් ඒවා ගිනිතබා විනාශ කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙන‍කොට. පොලිසිය බොදුබල සේනා වගේ සංවිධානවල ඉල්ලීමවලට කන්දෙමින් මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට ගත්තා. එහෙම කරලත් ඔවුන් සෑහීමකට පත්වුණේ නැහැ.

“මේක වෙනත් ආගමක් අදහන වෙනස් ජන වර්ගයක් විදියට අපි මුහුණ දෙන බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. සෑම ආණ්ඩුවක් යටතේම මුස්ලිම් අමාත්‍යවරු කටයුතු කරනවා. නමුත් මේ හිංසනයන් වෙනස් කරන්න ඒ කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. ඒකට හේතුව, මෙවැනි කටයුතු කරන පාර්ශවයන් හුදකලාවේ ක්‍රියාත්මක වෙන කණ්ඩායම් නොවීමයි. ඒ අයට කිසියම් බලවත් පාර්ශවයකගේ රැකවරණය, ආශිර්වාදය හැමදාම ලැබෙනවා.

“මීට අවුරුදු කිහිපයකට කලින් මාවනැල්ල නගරයේත් මේ වගේම ප්‍රහාරයක් එල්ල වුණා. ඒකෙත් ඉලක්කය වුණේ මුස්ලිම් ජාතිකයන්ගේ වෙළඳ සහ ව්‍යාපාරික ස්ථාන. ලංකාව කියන්නේ ජාතීන් වශයෙන්, ආගමික වශයෙන් ගොඩාක් ගැටුම්කාරි තත්ත්වයන් ඇති වූ, ලේ වැගිරීම් සිද්ධ වුණු රටක්. මම සිතන්නේ දැන්වත් මේවා නවත්වන්න ඕනි.

“රටක් විදියටඅපි නිදහස ලබලා අඩ සියවසකුත් ගතවෙලා ගිහින්. නමුත් අපිට තවමත් හැකියාවක් ලැබිලා නැහැ ජාතීන් සහ ආගමිකයන් විදියට වෙනස්කම් තියෙද්දිත් පොදු  අනන්‍යතාවයිකන් පෙනී සිටින්න. මම හිතන්නේ මේ සියලු අර්බුදවලට එක ප්‍රධාන හේතුවක් වෙන්නේත් ඒකයි. සුළු ජාතීන් හෝ ආගමිකයන් කියමින් සිදුකෙරෙන හිරිහැර, හිංසනයන් නතරවීමක් නොවෙනවා නම් රටක් ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන්ද? වරදකරුවන්ට දඬුවම් නොදී හිංසාවට, පීඩාවට පත්වන පාර්ශවයන්ට වන්දි විතරක් ලබා දීමෙන් ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ.  ඒ මගින් සිද්ධ වෙන්නේ තව තවත් එවැනි ක්‍රියාවන් සිදුවීමට අනුබල සැපයීමක් විතරයි. අයුක්ති සහගත විදියට ජීවිත අහිමිවුණු අයගේ පවුල්වල අයට දැනෙන වේදනාව මුදල් හෝ වෙන මොනයම් හෝ පරිත්‍යාගයකින් සමනය කරන්න පුලුවන්ද?”☐

සාකච්ඡා සටහන්: කිත්සිරි විජේසිංහ

© JDS

Is freedom any where near?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!