Governance:දුෂිතයින් රැකීම යහපලනයද?

. යහ පාලනය කියන්නෙ මේක නෙමෙයි

– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

 

වර්තමානයේ අපේ රටේ පවතින ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කර මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත්, පසුගිය ආණ්‌ඩුවේ දූෂිතයන්ට දඬුවම් දී රට තුළ යහපාලනයක්‌ ඇතිකිරීමටත් ජනතාවට ප්‍රතිඥා දෙමින් මෙම ආණ්‌ඩුව හඳුන්වා දුන් දින සියයෙන් දැන් දින පනහකටත් වැඩි ගණනක්‌ ගෙවී අවසානය. ආණ්‌ඩුවේ එම ක්‍රියාදාමය පිළිබඳ දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතකු කරන විග්‍රහයකි මේ.

Image result for governance

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන වැඩපිළිවෙළ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

 

මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන බවට පොරොන්දු දුන්නත් ඒක කරන්නෙ කොහොමද? වෙනස්‌ කරල ගේන්නෙ මොන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවද කියල මේ අයට අවබෝධයක්‌ තිබුණෙ නෑ. මේ අය මේ ආණ්‌ඩු ක්‍රම හඳුන්වන විදිහෙන්ම එය පැහැදිලියි. විධායක ජනාධිපති ක්‍රමය කියලවත් විධායක අගමැති ක්‍රමය කියලවත් ආණ්‌ඩු ක්‍රමයක්‌ මේ ලෝකෙ නෑ.

 

ආණ්‌ඩු ක්‍රමයක්‌ හඳුන්වන එක ක්‍රමයක්‌ වන්නේ විධායක බලය හසුරුවන පුද්ගලයා කවුරුද කියන කාරණය. විධායක බලතල හසුරුවන්නේ අගමැති ප්‍රධාන කැබිනට්‌ මණ්‌ඩලයක්‌ විසින් නම් ඒ ආණ්‌ඩු ක්‍රමය හඳුන්වන්නේ කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයක්‌ නැතහොත් පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමයක්‌ විදිහටයි. එහි අගමැතිවරයා කිසිම අවස්‌ථාවක විධායක අගමැතිවරයෙක්‌ ලෙස හඳුන්වන්නේ නෑ. විධායක බලය හසුරුවන්නේ ජනාධිපතිවරයෙක්‌ නම් ඒ ආණ්‌ඩු ක්‍රමය හඳුන්වන්නෙ ජනාධිපති ආණ්‌ඩු ක්‍රමය විදිහටයි. විධායක නොවන ජනාධිපතිවරු ලෝකෙ නැති හින්ද විධායක ජනාධිපති ක්‍රමය කියල ක්‍රමයකුත් නෑ.

 

ඒ නිසා මේ ආණ්‌ඩු ක්‍රම හඳුන්වන විදිහෙන්ම පෙනෙන්නෙ මේ ආණ්‌ඩු ක්‍රම සම්පාදනය සඳහා සහභාගි වී සිටින විශේෂඥයින්ටවත් ඔය කතාකරන මැති ඇමැතිවරුන්ටවත් ආණ්‌ඩු ක්‍රම ගැන නිසි අවබෝධයක්‌ නැති බවයි.

නමුත් අපේ රටේ අද පවතින මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ යුතු බවට දැන් දැඩි මතයක්‌ ඇති වී තිබෙනවා. මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාදාමය කුමක්‌ද?

 

මේ සඳහා තිබෙන්නෙ විකල්ප දෙකයි. මේ පවතින ආණ්‌ඩු ක්‍රමය සංශෝධනයට ලක්‌කරල ජනාධිපතිවරයා සතු මේ බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳ සංවරණයක්‌ ඇතිකිරීම එක විකල්පයක්‌. එම සංවරණය ව්‍යවස්‌ථාදායකය හරහා සහ අධිකරණය හරහා යන දෙයාකාරයටම ඇතිකරන්න පුළුවන්. දෙවැනි විකල්පය කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයකට යැම. ඒ සඳහා ජනාධිපති තනතුර නාමික තනතුරක්‌ බවට පත්කරන්න ඕන.

 

අද හුඟදෙනෙක්‌ හිතාගෙන ඉන්නෙ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය නීතිඥයන්ගේ කාර්යභාරයක්‌ පමණයි කියල. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කියන්නෙ රටක පාලන බලය හිමිවිය යුත්තේ කාටද, ඔහුට තිබෙන බලතල මොනවද, ඒ බලතල සංවරණය කරන්නෙ කොහොමද කියන කරුණු ටික විතරක්‌ නෙමෙයි. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට ව්‍යවස්‌ථානු දර්ශනයක්‌ තිබිය යුතුයි. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය නීතිඥවරුන්ගේ කාර්යභාරයක්‌ නොවන්නේ ඒ නිසයි.

 

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව යනු රටක මූලික නීතිය. හැඟීම් සහ ආවේගවලට අනුව රටක මූලික නීතිය හදන්න බෑ. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදනව කියන එකත් ඒක වෙනස්‌ කරන එකත් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. දින සියයක්‌ ඇතුළත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරනව කියන්නෙ මෝඩ තකතීරු වැඩක්‌. දැන් ඒ කියපු දින සීයෙනුත් සෑහෙන දවසක්‌ ගෙවිල. ඔය කියන සංශෝධන කොහොමද කරන්නෙ කියල මූලික අදහසක්‌වත් තවම ඉදිරිපත් වෙලා නෑ.

 

ලෝක ඉතිහාසෙ ප්‍රංශ විප්ලවයෙන් පස්‌සෙ ඩිගෝල් ව්‍යවස්‌ථාව දක්‌වා ප්‍රංශෙ ව්‍යවස්‌ථා පහක්‌ හැදුවා. මම දන්නා දේශපාලන විද්‍යාවට අනුව ප්‍රංශෙට පස්‌සෙ තමුන්ගෙ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් සමග සෙල්ලම් කරන එකම රට මේ ශ්‍රී ලංකාවයි. 1948 නිදහසින් පස්‌සේ අවුරුදු 65 කට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා තුනක්‌ හැදුවා. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් තමයි රටකට ආර්ථික, දේශපාලන හා සමාජ දර්ශනයක්‌ ලැබෙන්නෙ. ඒ රටට දේශපාලන ස්‌ථාවරභාවයක්‌ ලැබෙන්නෙ. ඒ කිසිවක්‌ ගැන හිතන්නෙ නැතුව මහින්ද රාජපක්‌ෂ ආඥාදායකයකු ලෙස කටයුතු කළා කියල ඒ ආඥාදායකත්වයට විරෝධය දක්‌වන්න පමණක්‌ මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න තීරණය කරනව නම් එයින් වෙන්නෙ අපේ රට තවත් ප්‍රපාතයට වැටීම පමණයි.

ජනාධිපති ක්‍රමය සමග මේ මැතිවරණ ක්‍රමයත් වෙනස්‌ විය යුතු බවට මතයක්‌ ඇතිවී තිබෙනවා. මැතිවරණ ක්‍රමය කඩිනමින් වෙනස්‌ කළ නොහැකියි යන මතය දරන පිරිසකුත් ඉන්නවා?

 

මේ මැතිවරණ ක්‍රමය යටතේම මැතිවරණයකට ගියොත් කිසිම දේශපාලන පක්‌ෂයකට ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගන්න හැකිවෙන්නේ නෑ. පසුගිය දිනවල ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවාගැනීමට සමහරු කතා කළා. ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට අවශ්‍ය තත්ත්වයක්‌ අද අපේ රටේ නෑ. රටට ජාතික වශයෙන් යම් තර්ජනයක්‌ එල්ලවෙන අවස්‌ථාවකදි හෝ රට ආර්ථික වශයෙන් ඇදවැටීමට යන අවස්‌ථාවකදී තමයි හැමෝම එකතුවෙලා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවාගෙන ඒ අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුත්තේ. නමුත් අද තියෙන්නෙ එහෙම තත්ත්වයක්‌ නෙමෙයි. ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට රටේ සියලු පක්‌ෂවල එකඟතාවක්‌ ඇතිවෙලා තිබුණේත් නැහැ. ඒ නිසා මම නම් දකින්නෙ අද තියෙන්නෙ සියලූ දේ පටලවාගත්තු තත්ත්වයක්‌.

 

ව්‍යවස්‌ථා සංශෝධනය කල් දමන ලෙස විපක්‌ෂ නායකවරයා ඉල්ලීමක්‌ කර තිබෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස්‌කිරීම පිළිබඳවත් තවම නිරවුල් මතයක්‌ නෑ?

 

මේ ආණ්‌ඩුව මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌කරන්න, මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, යහ පාලනයක්‌ ගේන්න, දූෂිතයන්ට දඬුවම් දෙන්න ජනතාවට පොරොන්දු වුණේ නිමල් සිරිපාලලගෙන් අහල නෙමෙයි. එමනිසා ජනතාවට දුන්නු ඒ පොරොන්දු ඉටුකරන්න නිමල් සිරිපාලලගෙන් අහන එකත් වැරදියි. නමුත් අහන්න සිද්ධවෙලා තියෙන්නෙ මේ පොරොන්දු ඉටුකරන්න ශ්‍රීලනිපයේ සහයෝගය අවශ්‍ය නිසා. නමුත් විපක්‌ෂය හදන්නෙ සහයෝගය දෙන්න නෙමෙයි, මේ ආණ්‌ඩුව බිත්තියට හේත්තු කරන්නයි. සම්මුතියකින් වැඩකරන්න ගිහින් කේවල් කිරීමේ තත්ත්වයකට අද පත්වෙලා තියෙනව. මේ ආණ්‌ඩුව පොරොන්දු දීල තියෙන්නෙ ශ්‍රීලනිපයටවත් නිමල් සිරිපාලලටවත් නෙමෙයි ජනතාවට. ජනතාවට දුන්නු ඒ පොරොන්දු ඉටු කරන්න ආණ්‌ඩුව බැඳිල ඉන්නව.

 

නමුත් යහපාලනය නම් කියන්නෙ මේක නෙමෙයි. යහපාලනය සම්බන්ධ මූලික කරුණ නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ වෙනත් ආධාර කරන රටවලින් කවර ආධාර ලබාදුන්නත් තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ පවතින ගැටලුව මොකක්‌ද? මේ රටවල ආර්ථිකය එකතැන පල්වෙන්නෙ ඇයි? කියන කාරණය ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කළ පර්යේෂණයකදී හෙළි වූ මූලික කරුණ නම් මේ දෙන ආධාර පාලකයෝ මංකොල්ල කෑමයි. එම නිසා රටක යහපාලනය කියන්නේ ආණ්‌ඩු ක්‍රම ක්‍රියාත්මක වීමේදී විවෘත භාවයක්‌ තිබීම, සමාජ විගණනයක්‌ තිබීම, ජනතාවට එම තොරතුරු දැනගැනීමේ අයිතිය, පාලකයන් වගකිවයුතුවීම සහ ජනතාවගේ සහභාගිත්වයක්‌ තිබියයුතු වීම වැනි කරුණු අටකින් සමන්විත ක්‍රියාදාමයක්‌.

 

අපේ රටේ අද තිබෙන පාලනය යහපාලනයේ එම මූලික කොන්දේසි සමග කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක ගැටලුවක්‌. යහපාලනයේ නාමයෙන් දූෂණ කළ අය රැකගන්න උත්සාහ කරනව නම් එතන යහපාලනයක්‌ ඇතිවෙන්නේ නෑ.

 

සාකච්ඡා කළේ පාලිත සේනානායක

 

Safeguarding the corrupt is not good governance

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!