India’s Daughter-නිර්භයා වාරණය-චිත්‍රපටිය මෙතැනින්

 

 

 

නවදිල්ලි අගනගරයේ දී භෞත චිකිත්සක සිසුවියක් දූෂණයට ලක්ව මියයාම ඉන්දියාව තුළ කාන්තා හිංසනයට පමණක් නොව ‍පොදුවේ අපරාධවලට එරෙහිව සිවිල් සමාජයෙන් ප්‍රබල හඬක් නැග ඒමට තුඩුදුන් තීරණාත්මක සිදුවීමක් විය. පසුගිය සතියේ නිර්භයා පිළිබඳ මතකය යළිත් අවදි වූයේ එම ඛිෙදාන්තය පාදක කොට නිර්මාණය වූ ‘India’s daughter’  (භාරත දියණිය) නම් වාර්තා චිත්‍රපටයට ඉන්දීය රජය විසින් තහංචි පැනවීමත් සමගිනි. දුෂ්ට සමාජ, ආර්ථික බලවේග රැසක් විසින් පාදඩකරණයට ලක් වූ සමාජයක ඉපදීමේ වරදට ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. එතැන් සිට මේ දක්වා ඉන්දියාව තුළ ලිංගික අපරාධ අවප්‍රමාණය වී ඇත්ද? දේශපාලන අධිකාරියේ මගපෙන්වීමත්, නීතියේ මුර දේවතාවුන්ගේ උනන්දුවත් අපරාධ මැඬලීම සඳහා සැබෑ ලෙස යොමු වූයේ ද යන්න පිළිබඳ පසු විපරමක් කිරීමට මෙය හොඳම අවස්ථාවයි.

2012 දෙසැම්බර් 16 වැනි දා දකුණු නවදිල්ලියේ දී Life of pi   චිත්‍රපටයේ අවසන් දර්ශනය නරඹා නික්ම යමින් සිටි යුවළක් විය. රෑ බෝවී තිබූ නිසාවෙන් පාරවල් පාළුවට ගොස් තිබිණ. කෙසේ හෝ බසයකට ගොඩවීමට හැකි වූව ද යක්ෂයාගේ හෝරාව එළැඹෙමින් තිබිණ. පිටවීමේ දොරටුව වැසී බස්රිය අතුරු පාරකට පිවිසීමත් සමග ඔවුනට සැක පහල විය. රියැදුරා හැර තවත් පස්දෙනකු බසයේ සිටි අතර තරුණයාට පහරදී අඩපණ කළ ඔවුහු තරුණිය බිලිගන්නට සූදානම් වූහ. වරින් වර අතවර කළ උන් ඉන් නොනැවතී ඇයට දරුණු ශාරීරික වදහිංසා පැමිණවීය. අවසානයේ දෙදෙනාම මාර්ගයට ඇද දැමූ ඒ නරුමයන් යන්නට ගියහ.

වාර්තා චිත්‍රපටිය මෙතැනින්

Mukesh Singh, speaking in BBC documentary India's Daughter.

 

බස් රථයේ රියදුරු මුකේෂ් සිංග් කියා සිටියේ තරුණිය පොර බදන්නේ නැතුව දුෂණය විඳ දරා ගත්තේ නම් අයට බේරීමට ඉඩ තිබු බවයි.මේ ප්‍රකාශයට ඉන්දීය සමාජය තුලින් දැඩි විරෝධයක් පැන නැගී ඇත.

 

පැයකට පමණ පසු ඔවුන් දෙපළ හමු වූ අතර වහා රෝහල්ගත කෙරිණ. තරුණිය අසාධ්‍ය තත්ත්වයේ සිටි අතර සිදුවීම සම්බන්ධව මහජන කැලඹීම් ඇතිවත්ම රජයේ මැදිහත්වීමෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත පිටත්කර හැරිණ. දින කිහිපයක් ජීවිතය සමග ‍පොරබැදූ ඇය දෙසැම්බර් 29 දා මේ කුරිරු සමාජයෙන් සදහටම සමුගත්තාය. කිහිප විටක් දූෂණයට ලක්ව, යකඩ බටයකින් යටිබඩට පහරදී එය යෝනි මාර්ගයට ද ඇතුළු කිරීම නිසාවෙන් ඇගේ ගර්භාෂයට හා බඩවැල්වලට දරුණු ලෙස හානි වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. එහෙත් පිරිමින් දෙදෙනකු සමග මරණය පෙනි පෙනී  තනිව ‍පොරබදන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට තිබූ හෙයින් මාධ්‍ය විසින් නිර්භයා නමින් ඇයට නම් පටබැඳිණි. (ඇගේ පෞද්ගලිකත්වය සුරැකීම පිණිස කිසි විටෙක සැබෑ නම හෙළි නොකිරීමට ජනමාධ්‍ය වගබලාගෙන තිබිණ.)

මෙය ඉන්දියාව තුළ කාන්තාවන් ලිංගික අතවරයට ලක් වූ පළමු අවස්ථාව නොවූව ද සිදුවීමෙහි සංවේදී බව අනපේක්ෂිත මහජන කැලඹීමකට මග පෑදීය. මාධ්‍ය ඔස්සේ මෙය වාර්තා වීමත් සමග ස්ත්‍රීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට බලධාරීන් අ‍පොහොසත් වූ බවට චෝදනා නගමින් දහස් ගණන් ජනතාව නවදිල්ලි අගනුවර වීදි ආක්‍රමණය කළහ. දින කිහිපයක ඇවෑමෙන් කොල්කටා හා මුම්බායි ආදී නගරවල ද උද්ඝෝෂණ දියත් විණ. එය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමත් සමග කැරලි මර්දන ‍පොලිසිය ද කැඳවීමට සිදුවිය. නිර්භයාගේ මරණය සැලවීමත් සමග ඉන්දියාවේ අනිකුත් නගර කරා ද විරෝධතා ව්‍යාප්ත විය. හිටපු ඉන්දීය හමුදාපති ජෙනරාල් Vijay Kumar Singh  හා ජනප්‍රිය යෝග ගුරු Baba Ramdev ආදී ප්‍රකට චරිත පවා කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ ජනතාව හා එකපෙළට හිඳ හඬ නැගීම විශේෂ විය.

 

 

 

විරාට් කෝලිගේ හයේ පහරවල් හා දීපිකා පදුකෝන්ගේ නැලවෙන ඉඟසුඟට හුරේ දමන්නට පමණක් පුරුදුව සිටි ජාතියක් එක්වරම නින්දෙන් නැගිට සිවිල් අයිතීන් වෙනුවෙන් බලමුළු ගැනීම අතිශය සාධනීය ලක්ෂණයක් විය. නිර්භයා සිද්ධිය කෙතරම් අප්‍රසන්න වුව ද කළු වලා අතරින් මතු වූ රිදී රේඛාව වූයේ එය සමාජය තුළ ඇති කළ බරපතළ කම්පනය කාම අපරාධවලට එරෙහි සිවිල් බලවේගයන් ලෙසින් ඉස්මතු වීමය. මේ ප්‍රබල මහජන හඬ හමුවේ තවදුරටත් අඳ ගොළු බිහිරි වී සිටීමට ඉන්දීය රජයට නොහැකි විය. ඉන්දියාව තුළ දිනෙන් දින උත්සන්න වන ලිංගික ප්‍රචණ්ඩත්වය මැඩලීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කොමිසමක් පත් කෙරුණ අතර ඒ සඳහා මහජන අදහස් විමසීමක් ද සිදු කෙරිණ. එම නිර්දේශ අනුව 2013 වසරේ ඉන්දීය අපරාධ නීතියට සංශෝධන කිහිපයක් ගෙන එනු ලැබිණ. ස්ත්‍රී හිංසනයන් පිළිබඳ නඩු යුහුසුලුව පසිඳලනු වස් විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමත්, වරදකරුවන්ට  දැඩි හා ඉක්මන් දඬුවම් ලබාදීමට අවශ්‍ය විධිවිධානත් ඒ අතර විය.

මීට අමතරව ඉන්දියාවේ වාණිජ සමාගම් රැසක් සිය ප්‍රජා වගකීම් (CSR) ව්‍යාපෘති ලෙස ස්ත්‍රී හිංසනයට එරෙහිව විවිධ ක්‍රියාන්විතයන් දියත්කිරීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. තවද මාධ්‍ය ආයතන ලිංගික අපරාධ හෙළා දකින ප්‍රචාරක පට හා දැන්වීම් වැඩි වශයෙන් පළකිරීමට පටන්ගත් අතර ජංගම දුරකථන සමාගම් ස්ත්‍රීන් සඳහා සුරක්ෂිතතාව ඇතිකරනු වස් විවිධ දුරකථන භාවිතාවන් (Mobile Apps) හඳුන්වා දුනි. මේ ආකාරයෙන් හුදෙක් රජය හා අධිකරණ පද්ධතිය පමණක් නොව සිවිල් සමාජය, වාණිජ ආයතන හා මාධ්‍ය ආදී වශයෙන් සෑම පාර්ශ්වයක්ම තවත් නිර්භයා ඛිෙදාන්තයක් ඇතිවීම වළකාලීම පිණිස තම තමන්ගේ යුතුකම් කොටස ඉටුකිරීමට පෙළගැසීම ප්‍රශංසනීය විය.

නිර්භයා පිළිබඳ මතකය පසුගිය දා යළි අවදි වූයේ ඇගේ ශෝචනීය කථාව පාදක කොටගෙන ඉන්දියාව තුළ ස්ත්‍රීත්වයට එරෙහිව සිදුවන ලජ්ජාසහගත ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවරණය කරමින් ලෙස්ලි උද්වින් විසින් නිර්මාණය කළ India’s Daughter වාර්තා චිත්‍රපටය එළිදැක්වීමය. බි.බි.සී. ආයතනයේ නිෂ්පාදනයක් වන මෙය පසුගිය මාර්තු 04 දා බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත නිකුත් විය. එහෙත් ඉන්දීය රජය ‘භාරත දියණිය’ සතුටු සිතින් පිළිගත්තේ නැත. මෙහි අන්තර්ගතය ඉන්දියාවට අවමානයක් ගෙනෙන බවට පවසමින් එය ඉන්දියාව තුළ වාරණය කෙරිණ. ඒ සමග මේ වාර්තා චිත්‍රපටයේ ජනප්‍රියත්වය තවත් වැඩි වූ අතර බටහිර මාධ්‍ය සමග සාකච්ඡාවකට එක් වූ නිර්භයාගේ පියා තම දියණියට වූ ඉරණම පිළිබඳ ගැඹුරු විශ්‍ලේෂණයක යෙදෙන භාරතීය දියණිය සම්බන්ධයෙන් සිය පවු‍ලේ අහිතක් නැති බව ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.

 

india’s daughter an eye opener

වාර්තා චිත්‍රපටිය මෙතැනින්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.