Kodikara:පසන් නිහඬ වේ

 

pasan

 

පසන් අද උදේ නැතිවුණා

සිත මොහොතකට නතරවේ .අපේ සුහදයා ගේ ඒ  සැහැල්ලු සුන්දර සිනහව යළිත් නොඇසෙනු ඇත.

ඒ උණුසුම් වැඩ විවාද හදේ  කෙළවරක siraහුරා වනු ඇත.

මිනිහෝ අයි උඹ මේ තරම් ඉක්මනින් යන්න ගියේ යැයි කෑ ගසා අස්න්නට සිතේ .

 

පසන්.. අර්බාත් දරුවෝ,මාස්ටර් සහ මාගරීටා, ඩාවින් ගේ The Orgin of Species කෘතිය (සත්ත්ව හා ශාක විශේෂයන් ගේ සම්භවය) වැනි.ලෝකයේ විශිෂ්ටතම කෘති ගනනාවක්ම සිංහලයට පරිවර්තනය කරද්දී දැරූ අපමණ වෙහෙස සිත තුල බැතියත්,තුතියත් එකවර දනවයි.

හොරණ ශ්‍රි පාලියේ දෙසුම් වලට ගිය තැන සිසු සිසුවියන් ඔහු වටා රොද බැඳ ගත්තේ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නටයි.

අන්තරජාලය හරහා යද්දී  අපේ හිතවතා ගැන සටහනක් හමුවේ -බොහෝ දේ මේ වැකි අතර ලියවී ඇත.

නිශ්චිත ආකෘතියකට සිර නොවුණු පසන්ගේ ජීවිතයේ, සැරිසරන සැම තැනම සංවාද මණ්ඩප බවට පත් විය. ඉගැන්වුම්හල් බවට පත් විය.රුසියානු සම්භාව්‍ය සාහිත්‍ය මෙන් ම දේශපාලනය ද ගුරු කොට තැනුණු ඔහුගේ දැක්ම වෙනුවෙන් පෙනී සිටිමේ  පිපාසයෙන් යුතු පසන්, යස ඉසිරු වෙනුවට හුරු කරගත් කටුක ජීවිතයේම එල්බ සිටින්නට ප්‍රිය කළේ ය.ජීවිතයෙන් මතු නැවත ඉපදීමක් ගැන නොතැකූ හෝ නොපැතූ ස්වීය දර්ශනයට අනුව ජීවත්ව සිටින කාලය තුළ, ලෝකය යහපත් කිරීම වෙනුවෙන් කැප විය යුතු බව තදින් විශ්වාස කළ පසන්, සමුගෙන යන දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.

 

313492_2545879890690_1695510356_n (1)

ඔහු ජේෂ්ඨ් මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු වන  සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයකු වුයේ නමට පමණක් නොවේ. ඇත්ත පත්තරේ බල කණුවක් වූ  සිරිලාල් කොඩිකාරයන් ගේ සරල සුන්දර ජීවිතය ඔහු මැනවින් ග්‍රහණය කර ගත්තේය.

අක්මාවේ අසනීප තත්ත්වයක් හේතුවෙන්  රෝහල්ගතව සිටියදීත් පසන් ගේ මනසේ උද්දීප්තිය අඩු නොවීය.

පසන් ගියේ අප හැමදෙනාම යන ගමනක්ය.එහෙත් ඒ ගමන යාමට පෙර ගතවූ 52 වසර ඔහු කළ  කී දේ   අප වැඩි දෙනෙකුට කිරීමට බැරි බව සහතිකය.

පසන් ගැන සර්පයා තැබූ සටහනක්

 

 

පසන් නික්ම ගොසිනි. හෙට මට ඔහුගේ නිසල දේහය බලන්නට යන්නට සිදුවී ඇත. දෛවය එතරම් කුරිරුය. ධම්ම ජාගොඩගෙන් පසු ආටෝනියානු කුරිරු රංගයේ ප්‍රාමාණික න්‍යායාචාර්යවරයා වූ ඒ සුපසන් මිතුරා නික්ම ගොසිනි.

මාස හයහතකට පෙර මත්තේගොඩ හර්ෂගේත් මගේත් නවාතැනේ මධුලෝලී රාත්‍රියකින් පසු පෙරඹර එළිය වැටෙද්දී ඔහු අපගේ ඒ අවසන් හමුවෙන් නික්ම ගියේය. පඩිපෙළ බැසයමින් ආපිට හැරුණු ඔහු මෙසේ කීවේය.

අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු.

එහෙත් අප ආයිත් මුණ ගැසුණේ නැත.
එහෙත් හෙට ඔහු මට මුණ ගැසෙයි.

ඔව්, පසන් උඹත් මාත් හෙට මුණ ගැසෙමු. නියෙට්ෂේගේ කෲරත්වයේ මානවීයත්වය ගැන උඹ කිවූ දැයින් සවිය ගෙන උඹ බලන්නට එන්නට මම උත්සාහ කරමි. එහෙත් මා නොදනිමි. එතරම් සවියක් එළඹ ගන්නට මට හැකි දැයි මම නොදනිමි.

වසර කිහිපයකට පෙර සෑම මසකම අවසානයේ, ඊළඟ මාසය එළඹෙන්නට පෙර අප වසර ගණනාවක්ම මුණ ගැසීමු. ඒ ගොඩගේ මහත්මාගේ පොත් සාප්පුවේදීය. සයිමනුත්, උඹත් මමත් සැමදා මාසයේ වියදම ගන්නට එසේ මුණ ගැසීමු. අප දෙදෙනා දුටු හැමවිටම ගොඩගේ මහතා සැමදාමත් කීවේ එකම එක වාක්‍යයකි.

‘අයියයි මල්ලියි දෙන්නම ඇවිල්ලා. ‘

ඔව්, අයියයි මල්ලියි දෙන්නම හැමදාමත් එසේ සල්ලි ගන්නට ගියේය. ඒ අතරට එක්වූ තවෙකෙක් සිටියේය. ඒ සයිමන්ය.

මගේ දුව උපන් පසු මා රාවයට ලිවූ කවක මෙසේ සඳහන් විය.

ඉතින් චූටි දුවේ මං යනකොට කඩාගෙන
හම්බවුනා මාමා කෙනෙක්
‘මොකද පසන් මේ ටිකේ කරන්නෙ?’
මං ඇහුවා
‘ණය ගෙවනවා බං’
‘ඒ කිව්වෙ’
‘පොත් ලියනවා’(ප්‍රකාශකයන්ගෙ ණය ගෙවන්න)
පයදෝර් දොස්තයෙව්ස්කිගේ
වී. ඩී. ද. ලැනරෝල්ගේ පරපුර
පියවරක් ඉදිරියට
රස්කොල්නිකොව් ඉවසාපන් පොඞ්ඩක්
DEATH OF THE AUTHOR OR
DEATH OF THE PUBLISHER

මධුමත ඉහවහා ගිය පසු ඔහු ඇතැම් විට ඇතැමුන් හා වාත වුනද ඔහු කිසිවිටෙකවත් මා සමග අරෝවක් සදාගෙන නැත.

මගේ සර්පයකු හා සටන්වැද ගැන එය පළවී කිහිප දිනකින් ඇත්තට ලියන විට ඔහු පාසල් සිසුවෙක් විය. එහෙත් අප මුණ ගැසුනේ විභවියේ ඔහු ආටෝනියානු කුරිරු රංගයත් ග්‍රොටොව්ස්කිගේ දිළිඳු වේදිකාවත් ගැන කළ සාරගර්භ දේශනයේදීය. එහිදී මම ඔහුට එසඳ මම බලාසිටියෙමි පිටපතක් පිරිනැමුවෙමි.

පසුකලෙක මා සංහිඳ ප්‍රකාශන සාහිත්‍ය නියෝජිත හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරද්දී ඔහුගේ අර්බාත් දරුවෝ උපුල්ට හඳුන්වා දුනිමි. අන්තිමේ අප, මා තවත් පරිවර්තන කාර්යයක් සඳහාත්, ඔහු අර්බාත් දරුවෝ නිම කිරීමටත් කොළඹින් නික්ම ගියෙමු. ඒ උපුල්ගේ ඥාතියකු වූ වතු අධිකාරීවරයකුගේ නිවසක නවාතැන් ගන්නටය.

ජීවිතයේ පළමු වරට වෙලාවට තේ එක, වෙලාවට කෑමවේල සහිතව මා ලිවූ එකම කාල පරිච්ඡේදය ඒ මාස එකහමාරය. උදේ හයට තේ එක බී අපි ලියන්නට ගතිමු. හතහමාර වන විට කෑම කෑවෙමු. නැවත ලියන්නට ගතිමු. දහයාමාරට තේ බීවෙමු. හවස ඇවිදින්නට ගියෙමු.

කොළඹදී මා දුටු විට පුංචි උන් හැංගෙති. එහෙත් දෙනියායේදී ඔහු දුටු විට පොඩි උන් අම්මලා පිටිපස්සේ හැංගුනෝය. ඒ පසු කර යන ගමන් ඔහු මෙසේ කීවේය.

මචං අපිව මෙහෙට පොඩ්ඩක් අවුට් වගේ නේද?

යළි මද විරාමයකින්

‘කොහොමත් අපිව එහෙටත් අවුට්නෙ’ කීවේය.

එහා වංගුවේ බල්ලන් තිදෙනෙක් එමින් සිටී. අප්පට හුඩු බල්ලො තුන්දෙනෙක් කියා ඔහු කන්දකට ගොඩ විය. එහෙත් ඒ වංගුව වූයේ කිලෝමීටර් ගණනකට ඈතිනි. බසයක් එන විටද ඒ එසේම විය.

නිවසේදී ඩොස්ටොව්ස්කි වූ ඔහු සැන්දෑ සක්මනේදී බල්සාක් විය. මා තෝරා ගත්තේ ලෝරන්ස්ගේ චරිතයයි. අපි එසේ අපට නම් දමා ගතිමු.

‘දැන් ප්ලෙඛානොව් මොනවා කරනවා ඇද්ද?’ ඔහු අසයි. ඒ සුනිල් විජේසිරිවර්ධන ගැනය.

කෙසේ හෝ නුඹ සොඳුරු මිතුරකු විය. අප ඒ මාස එකහමාරට හෝ කිසිදා එකිනෙකාගේ සිත් බිඳෙන වදනකුදු දොඩා නැත.
යළි ලියන්නට අරඹන අප රාත්‍රී කෑමට පෙර දියෝනිසස් මුණ ගැසුනෙමු. මගේ බීම කවදත් මූඩියෙන් එකකි. අප ෙකාළඹ එන්නට දින දෙකතුනකට පෙර සල්ලි ඉවරවූ විට යළි කොළඹ විත් ඔහු සල්ලි(මධු) හොයාගෙන ආවේය. රුසියාව ගැන මා බොහෝ ඉගෙන ගත්තේ ඔහුගෙනි.ගෝර්කිට වසදීම ගැන, සෙවලෝද් මේයර්හෝල්ඩ් මරාදැමීම ගැන, බුල්ගාකොවේ ගැන, සොල්සිනෙට්සින් හා පැස්ටර්නැක්ට ආ වාරණයන් , ෂොලහෝව්, තුර්ගනීප් වැන්නන් ඇතැම් ලේඛකයන්ගේ ප්‍රතිභාවෙන් සැලී ඔවුන්ව පරිවර්තකයන් ආදීන් බවට තල්ලු කළ ආකාරය, නිලධාරිවාදය විසින් රුසියාව තුළ කලාවට කළ අපරාධ ඔහු මුවින් ගලා අවේය.

රුසියාවේ ගැහැණු දාර්ශනිකයන් ගැන මා ඇසූ විට වේදිකාවේ එහා කෙලවරට මට පිටුපා යමින් සිටි නුඹ මී විතත් සමග හැරී මෙසේ ඇසුවේය.

‘දාර්ශනිකයො ගෑනු? ….. ගෑනු? …..ඔය කවි ලියපු, චිත්‍ර ඇඳපු, එන්ජී ඕ ජාතියෙ ගෑනු නං ඉන්නවා. දාර්ශනිකයො?…. ගෑනු?’

එහෙත් නුඹ කිසිවිටෙකවත් ජීවිතයේදී ගැහැණුන් සම්බන්ධව එසේ සිතුවේ නැත. මා මෙන් ගැහැණුන්ව දාර්ශනිකාවියන් කළේ නැතත් අප දෙදෙනාගේම අස්වැන්න එක වාගේ විය.
දෙනියාය හේස් වත්තේදී නුඹ අර්බාත් දරුවෝ පරිවර්තනය කළද, මම ගිය වැඩය පසෙක දමා ජනේලයෙන් පෙනෙන රෝසමල් දෙස බලාගෙන ටෙලිපෝන් කම්බි උඩ ඉන්නා පොල්කිච්චන්, රෝසපඳුරු මත සිටින බට්ටිච්චන් දෙස බලාගෙන කවි ලීවෙමි. ඒ දිනවල මා ප්‍රේමාතුරව සිටි ගැහැණියට කවි දෙසිය ගණනක් ලීවෙමි. අවසන් වරට හමුවූ විටත් නුඹ ඒ ගැන කියා විහිලු කළේය.
නුඹේ සම්ප්‍රදානනයන් අතර වේදිකා සඟරාව අතිශය තීරණාත්මක මැදිහත්වීමක් විය. එහෙත් නුඹේ දැනුමේ හෝ ප්‍රතිභාවේ ඵල නෙලා ගන්නට මේ රට වාසනාවන්ත නොවීය. රස්සා කට්ටක් සොයා ගන්නට දුවද්දී වැරදී විශ්ව විද්‍යාලවලට ආ සිසුකැළතට නුඹේ දැනුම සැබැවින්ම අවැසි නොවිණි. ඔවුන් අතර ඉතිරි වූයේ නුඹ කෙරේ වන ගරුත්වය පමණි.

ඔව්, පසන් ගරුත්වය පමණක් කොට්ටෙට තියාගෙන නිදියෑම අපේ උරුමයයි. මා මෙන්ම නුඹත් ඒ ගරුත්වයන් බලුමැක්කෙක් තරමටවත් ගණන් ගත්තේ නැතත් ඒ හැටිය.

අප කොතරම් දේ කරන්නට සිහින මැව්වෙමුද? ඒ සිහිනත් සමග නුඹ නික්ම ගොස් ඇත.

මා ගැන මෙන්ම නුඹ ගැන මොන මොනවා කිව්වත් නුඹ එක්ස් කණ්ඩායම ගැන ලිවුවේ ‘ඒ මතවාදී බෝම්බයට මං ආසයි’ යනුවෙනි. ඔව් නුඹ අපේ සනුහරේ අපේම කෙනෙකු විය.

රුසියාවට නුඹ පා තබන විට ඒ වසර තිහකින් පසු දරුණුතම ශීත කාලයක් බැව් නුඹ කීයේය. සියල්ලන් නුඹට අනුකම්පා කළේ හෙට මැරෙයි හෙට මැරෙයි කියා බැව්ද ඒ සමගම නුඹ කීවේය. ආරෝහ පරිනාහ දේහසම්පන්නයන් මිය ගියත් නුඹ නිරුපද්‍රිතව හුන්නේය.
එහෙත් පාසලේ කොල්ලන් කොස් ඇට මීයා යැයි විහිලු කළ, මැණික් කටුවෙන් ඇල්ලූ විට පුංචි ළමයෙකුගේ මෙන් වූ සිහින් වූ මිතුර….. නුඹ, නුඹ උපන් රටේදීම මේ ඝෝර හිමපතනයට හසුව මිය ගියේය.
කෙසේ හෝ හෙට මට නුඹේ නිසල කය බලන්නට එන්නට සිදුව ඇත. මට එයට සවියක් ඇති දැයි මම නොදනිමි. නාවොත් ආදරණීය පසන් අපි නැවත හමුවෙමු.

නුඹ ආධානග්‍රාහී භෞතිකවාදියෙක්ද නොවීය. අපගේ අවසන් දාර්ශනික සාකච්ඡාවේදී අපි පුනරුත්පත්තිය ගැන කතා කළෙමු. රුසියාවේ පාරමානසික පර්යේෂණයන් ගැන කතා කළෙමු. එහෙත් පුනරුත්පත්තියක් තිබුණත් නැතත්, ඒ දැනගත්තත් නැතත් නුඹට වගේ වගක් තිබුණේ නැත.

එහෙත් වැරදීමකින් හෝ එවැන්නක් තිබුනොත් මේ දහදුරා කොදෙව්වේ නැවත නුඹ නොඉපදේවායි පතමි. නුඹ වෙනුවෙන් මට කළ හැකි එකම දෙය එපමණය.

මා හා කී නුඹේ අවසන් වදන්ම පෙරලා මම අද මෙසේ නුඹට කියමි.

අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු.

-සර්පයා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!