Mahinda:මගේ ආරක්ෂාව අඩු කරලා ත්‍රස්තවාදීන් නිදහස් කරනවා

පොළොන්නරු දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (19) හිටපු ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම අදහස් දැක්වීය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. 1991න් පසුව අපි තරග කළේ සන්ධානයක් ලෙස. මම දේශපාලන තීන්දුවක් ගත්තොත් ගන්නේ ඒ සන්ධානය තුළිනුයි. දැනට මම විවේකීව ඉන්නවා.

ප්‍රශ්නය: මහින්ද අමරවීර මහතා කිව්වා ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන්න අවස්ථාව දෙනවා කියා. 
පිළිතුර: එයා ‍නෙවෙයිනේ පක්ෂේ තීරණ ගන්නේ. මහින්ද අමරවීර කියන්නේ පක්ෂය නොවෙයි.

 

ප්‍රශ්නය: අද පළාත් පාලන නියෝජිතයන් හමුවී මොනවගේ සාකච්ඡාවක්ද කෙළේ.
පිළිතුර: මේ මන්ත්‍රීවරු මාව හමුවෙන්න ඕන කියා තිබුණා. ඒ අය අද ඇවිත් එයාලගේ අදහස් මට ප්‍රකාශ කළා.
ප්‍රශ්නය: ඔබ තුමාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව කතා වුණාද?

පිළිතුර: නෑ මගේ දේශපාලනය ‍නෙවෙයි ඒ මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය ගැන කතා වුණා. එම මන්ත්‍රීවරු විඳින ප්‍රශ්න කරදර කතා කළා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ රැකියාවල් අද නැතිවෙලා. සංවර්ධන ව්‍යාපෘති නතර කර තිබෙන නිසා වැඩකරන ජනතාවගේ රැකියා අහිමි වෙලා. පාරවල්, ගොඩනැගිලි හදන එක මේ සියල්ල අද නතර වෙලා.

 

ඉදිකරගෙන යන හමුදා මූලස්ථානය හදන එක නැවැත්තුවම දහස් ගණනක් රැකියා නැතිවෙලා. මේසන් බාස්ගේ සිට, වඩුබාස්ගේ සිට සියලු දෙනාගේ රැකියා අහිමි වෙලා. මං හිතනවා මේ ගැන වහාම යම් පියවරක් ගත යුතුව තිබෙනවා. සියලු සංවර්ධන වැඩ ඇන හිටලා. ඒ සමගම මහා පරිමාණ ලෙස රැකියාවලින් සේවකයන් ඉවත් කරනවා. සංස්ථාවල වැඩකළ අය ඉවත් කරලා. සමහරු තවමත් උපවාස කරනවා. ඒ අය ගැන බලන්න කවුරුවත් නෑ. මේ තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගත යුතුයි.

ඊළඟට මේ දවස් සීය තුළ වෙන දෙයක් නොකර හැමෝම අල්ලස් කොමසාරිස් ළඟටයි, ‍පොලිසියටයි, සී.අයි.ඩීයටයි අරගෙන යනවා. විශේෂ කොමිසමකුත් දාලලු. මේ හැම එකටම ගෙන ගිහින් සාක්ෂි ගන්නවා. ගාමිණී සෙනරත් කියන මං ළඟ සිටි අතිරේක ‍ලේකම්තුමාගෙන් බැංකුවේ සභාපති ලෙස අහල තියෙනවා ජනාධිපති ‍ලේකම් කාර්යාලයට වාහන ගන්න ලීසිං දුන්න කියා.

මේකෙ තියෙන වරද මොකක්ද? භාණඩාගාරයෙන් ගෙවනවනේ. ලීසිං කියන්නේ ව්‍යාපාරයක්නේ. මට පේන්නෙ කිසි වරදක් නෑ. ඒකට සභාපතිලා, අධ්‍යක්ෂකලා හිරේ දාන්න පුළුවන්ද? අද සිවිල් වරද අපරාධ වරදක් කරගන්න හදනවා. මේක මහා අපරාධයක්. මේක මිනිසුන්ව පීඩනයට පත් කරන දෙයක්. මෙය පළිගැනීමක්. කෙටිම වචනය පළිගැනීමයි.

ප්‍රශ්නය: මේ ආණ්ඩුව පත්වී දින 60 ගණනක් වෙනවා. මේ කෙටි කාලය තුළ මහ බැංකුවේ මූල්‍ය වංචාවක් ගැන වාර්තා වෙනවා.
පිළිතුර: මේ ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණයට ඒ පිළිබඳව අවබෝධයක් තියෙන අය තමයි දාන්න ඕන. බැඳුම්කර ගැන අවබෝධයක් තිබෙන අය මේ පරීක්ෂණයට දැමිය යුතුයි.

 

නීතිඥයන්ම පමණක් දාලා හරියන්නේ නෑ. ගණකාධිකාරීවරු බැඳුම්කර ගැන අවබෝධයක් තිබෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් යුත් පිරිසක් මේ ගැන සෙයා බැලිය යුතුයි. ඒක පරීක්ෂණයක් නිසා ඊට වඩා මං වෙනත් යමක් කියන්නේ නෑ. මම කාටවත් පෞද්ගලිකව චෝදනා කරන්නේ නෑ. එය ඔප්පු වුණොත් ඊට පසුව පියවර ගත යුතුයි. මාධ්‍යවලින් ලොකුවට ලස්සනට පාඨක සිත් දිනාගන්න දාන ශීර්ෂපාට මං ගහලා වැඩක් නෑ. එහෙම කරන්න බෑ. මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයක් තියෙනවා. ඕනෑම නිලධාරියෙකුටත් එහෙමයි. යම් කිසි චෝදනාවක් ඉදිරිපත් කළ පලියට ඔහු වරදකරුවකු නමෛයි. පරීක්ෂණයකින් අනතුරුව අධිකරණයකින් ඔප්පු වෙන්න ඕන. ඒනිසා මෙය පරීක්ෂා කොට අධිකරණයට දාලා අධිකරණයකින් විසඳුමක් දෙන්න ඕන.

 

‍පොඩි ‍පොඩි ප්‍රශ්නවලට අද පාක්ෂිකයන් හිරේ දාලා තියෙනවා. රතිඤ්ඤා පත්තු කළාම බෝම්බ ගැහුවා කියනවා. මේක මහා විහිලුවක්නේ. මේ පිළිබඳව පක්ෂග්‍රාහී නොවී ‍පොලිසියත් යම් අවබෝධයකින් වැඩ කරන්න ඕන කියලයි මම හිතන්නේ.
ප්‍රශ්නය: ඔබතුමාගේ ආරක්ෂාව අඩු කරලා තියෙනවා නේද?
පිළිතුර: ආරක්ෂාව සඳහා තිබෙන වාහනවලට දෙන ඉන්ධන අඩු කරලා. වාහන ටික ගෙන්න ගෙන තිබෙනවා. මට වාහන කීපයක් දීල තිබෙනවා. අරක්ෂකයොත් අඩු කරාවිද නැද්ද දන්නෙ නෑ. අපි ඉදිරියේදී බලමු. කොටි අරහෙන් නිදහස් කරනවා. ත්‍රස්ත්‍රවාදියෝ නිදහස් කරනවා. මෙහෙන් මගේ ආරක්ෂාව අඩු කරනවා. ඉතිං බොහොම හොදයි.

 

ප්‍රශ්නය: ජාතික ගීය දෙමළ බසින් කීම ගැන ඔබගේ අදහස මොකක්ද?
පිළිතුර: මගේ අදහස මම මුල සිටම කියා තිබෙනවා. අද නොවෙයි එදා සිටම කිව්වා.
මංජුල ප්‍රදීප් වීරසූරිය – රිවිර පුවත්පත

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!