National Government:තොවිලයට බැන අඬගැසීමේ තේරුමක් නැත.

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර කිරීමේ අවශ්‍යතාව එකට ගත් විට, එය වනාහී එක්තරා ආකාරයක සහන ක‍්‍රියාන්විතයක් විය. මෙවර එම සදාචාරමය හයිය ඇති කරගත යුතුව ඇත්තේ තරමක ආයාසයෙනි. එසේම, බලවත් ආන්දෝලනයක් මධ්‍යයේ ය.

ජනාධිපතිවරයා යටතේ, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක කඳවුරකට ගනිමින් ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමේ ආයාසය රට කරවන බලධාරීන්ගේ පැත්තෙන් දැන් මතු වී තිබේ. රටක් අර්බුදයට ලක්ව ඇති අවස්ථාවක ජාතික ආණ්ඩුවක් පිළිබඳ අදහස නැතිවම බැරි, ප‍්‍රශංසනීය අදහසක් වන්නේය. දැන් අප ඉදිරියේ ඇති වඩාත් හදිසි සහ වඩාත් වැදගත් අවශ්‍යතාව වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය මුලිනුපුටා දැමීමයි. ඒ වෙනස සඳහා වන සමාජ සවිඥානකත්වය ඇති කිරීමේ ප‍්‍රශංසාව ගරු මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජයම්පති වික‍්‍රමරත්න වැනි පිරිසකට හිමි වන්නේය. එම කාරණයත් දේශපාලඥයන්ටම කිරීමට භාර දී සිටියේ නම් අපට තවමත් දකින්ට ලැබෙනු ඇත්තේ, එම තනතුරට පත්වීම සඳහා දේශපාලඥයන් යෙදෙන සංගීත පුටු තරගයක දර්ශනයකි. වඩාත් උගත් සමාජ පංති, වෘත්තීයවේදීන් සහ ලේඛකයන් වැනි පිරිස් රැුඩිකල් වෙනසක අවශ්‍යතාව දුටහ. එසේ වැඩෙමින් පැවති ඉල්ලීම සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන නායකත්වය, ගරු සෝභිත හිමියන්ගේ ව්‍යාපාරයෙන් ලැබුණි.

 

 

devil

 

 

ආණ්ඩුක‍්‍රමය තුළ අරක්ගෙන සිටින මේ යක්ෂයාව දින 100 ක් ඇතුළත පළවා හැරීමට, පොදු අපේක්ෂකයාගේ නායකත්වය යටතේ පත්වෙන අළුත් ආණ්ඩුව කැප වන බවට, පසුගිය ජනාධිපතිවරණයේ දී පොරොන්දු වුණි. එදා ඒ යක්ෂාවේශය ගෙන සිටියේ මහින්ද රාජපක්ෂ වුවත්, ඔහු පරාජය කොට ඔහුගෙන් පසු එම තනතුරට පත්වෙන වෙනත් කෙනෙකු වුව එවැනි යක්ෂයෙකු බවට පත්විය හැකිය. යහපත් මිනිසුන් සහ ගැහැනුන් වුව, මේ ආණ්ඩුක‍්‍රමය යටතේ යක්ෂයන් බවට පරිවර්තනය විය හැකි බව එහි අරුතයි. එහි මූලය ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළම ය. ජනාධිපති පදවියට පත්වීමට පෙර මහින්ද රාජපක්ෂ නරක කෙනෙකු නොවුණි. එහෙත් අති විශාල බලයක් තමන්ගේ අතේ ගොනු වන විට ඔහු අර යක්ෂයා බවට පත්විය. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ එක් සුවිශේෂී සේවයක් කෙළේය: එනම් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ අපරූපී භයානකත්වය මහජන අවධානයට නිදැල්ලේ ලක්වන සේ කටයුතු කිරීමයි. එම ආණ්ඩුක‍්‍රමය බිහි කළ ජේ. ආර්. ජයවර්ධන යටතේත්, අනතුරුව ආර්. ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරණතුංග යටතේත් එහි අවදානම යම් ආකාරයකින් සමාජයට වැටහී තිබුණත්, මහින්ද රාජපක්ෂ කාලයේ තරම් එය සමාජ දේහයට කාවැදුණේ නැත. මහින්ද රාජපක්ෂ යටතේ ඒ අවදානම ඉස්මොල්ලේ ගියේය. එය, තාර්කික සමාප්තියකට පත්වන ග‍්‍රීක ඛේදාන්තයක් මෙන් විය.

New Cabinet 22 marchමෛත‍්‍රිපාල සිරිසේනගේ ජයග‍්‍රහණයත් සමගම, දින 100 වැඩ සටහනට සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සඳහාත් සහයෝගය දීමට සියලූ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රොක් වුණි. එහෙත්, වෙන දා මෙන් මාස ගණනින් නොව, දින ගණනින් කාලය ගතවෙද්දී මේ උද්‍යෝගය දියාරු වන්නට විය. පරණ වේදිකා ඇඳුම් ආයිත්තම්වලින්ම සැරසී මහින්ද රාජපක්ෂ නැවතත් කරළියට ඒමේ ශක්‍යතාව හැබෑවටම මතුවන්නට වුණි. අළුත් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන ජාතික හෙළ උරුමය පවා, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් කිසි දවසක තමන්ට අවශ්‍ය නොකළ බවත්, එහි ‘අත්තනෝමතික බලතල’ පමණක් ඉවත් කර ගැනීම තම අභිලාෂය වූ බවත් කියන්ට විය. එහෙත් ඇත්ත වශයෙන්ම, මේ ව්‍යවස්ථාවෙන් ලැබී තිබු අවම බලයෙන් සෑහීමට පත්වීමට මහින්ද රාජපක්ෂ මුලින් ලැහැස්ති වී සිටි බව ජාතික හෙළ උරුමය අමතක කරයි. එහෙත් එම ක‍්‍රමයේම තවත් පැත්තකින් විවර වන වෙනත් අවකාශයක් ඔස්සේ එම බලය වඩාත් පුළුල් කර ගැනීමට හැකියාව ඇති බව දුටු විට ඔහු නතර වුණේ අත්තනෝමතික රාජත්වයකිනි. ඒ පරම ජනාධිපතිත්වය තුළ, එක රැුයකින් අපරාධකරුවෙකු අහිංසකයෙකු කිරීමටත්, අහිංසකයෙකු අපරාධකරුවෙකු කිරීමටත් ඔහුට හැකි වූ බව අපි දනිමු.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරගන්නේ නැතිව සම්මත කර ගැනීම සඳහා මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවට යම් අතරමැද තැනකට යාමට සිදුවුණි. එසේ නොවුණොත් සිදුවන්නේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරවම ඊළඟ මැතිවරණයකට යාමට වීමයි. එසේ වුවහොත් ඕනෑම අවස්ථාවක තවත් යක්ෂයෙකුට එම පුටුවේ වාඩි වීමට ඉඩකඩ ඉතිරි කෙරේ. මෛත‍්‍රීපාල සිරිසේන එම යක්ෂයා බවට පත්නොවන්නට පුලූවන. එහෙත්, ඔහුගෙන් පසු බලයට පත්විය හැකි කෙනෙකු ගැන අපට එවැනි විශ්වාසයක් තැබිය හැකිද? උදාහරණයක් වශයෙන්, විමල් වීරවංශ වැනි කෙනෙකු එම පුටුවේ වාඩි වුවහොත්? කතාවට කියන්නා සේ, ආණ්ඩුව මෙහිදී මුහුණදී සිටින්නේ, ‘මග සිටියොත් අඹු නසී, ගෙදර ගියොත් තෝ නසී’ වැනි තත්වයකටයි.

යක්ෂයාගේ තොවිලයම

මේ නිසා, අපිත් යක්ෂයාගේ තොවිලයම නටමු යන්න, මෛත‍්‍රී-රනිල් දෙබෑයන්ගේ කල්පනාව වන්නට ඇත. ඔවුන් කෙළේ, හිටපු ජනාධිපතිවරයාගේම පොතෙන් පිටුවක් ඉරා ගැනීමයි. මෙහිදී පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන ඡන්ද ප‍්‍රමාණය සඳහා ගෙවන කප්පම, එක්තරා ‘තත්වයකට’ වැඩි දෙයක් නොවේ. එමගින් ඉස්සර මෙන් යමක් හරිහම්බ කර ගැනීමේ හෝ එම බලය අයථා සේ පරිහරණය කිරීමේ හැකියාවක් හෝ නැත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ කරණම්කාරයන් දර්ශන තලයට එන්නේ එයාකාරයෙනි. එයින් එක් ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකුට, ඔහුට ගැළපෙන පරිදිම පිරිනමා ඇති අමාත්‍යාංශය වන්නේ, ‘ආපදා කළමනාකරණයයි’. කෙසේ වෙතත්, තවත් ජ්‍යෙෂ්ඨ ජඩයෙකුට, උගේ පරණ තිප්පොල නොදී තිබීම වැදගත් ය. අළුත් තනතුර හරහා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගව හෙළුවෙන් ඇවිද්දවීමට ඔහුට හැකියාව ලැබෙන්නේ නැත.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ, ඇමතිවරයෙකු වීම අපේ දේශපාලඥයන් මොන තරම් ලොකු දෙයක් වශයෙන් සළකන්නේ ද යන්නයි. මා ජීවත් වන ඔස්ටේ‍්‍රලියාව වැනි රටක නම් දේශපාලඥයන් ඇමති තනතුරු පස්සේ මෙසේ දුවන්නේ නැත. එසේ වන්නේ, රටක ආර්ථිකයේ ස්වභාවය නිසා යැයි මම සිතමි. සුදුසුකම් ඇති මිනිසුන්ට සහ ගැහැනුන්ට හොඳ රැුකියා අවස්ථා ද, ව්‍යාපාරික කටයුතු සඳහා හොඳ අවකාශයක්ද ලංකාවේ තිබේ. එසේම අනිත් පැත්තෙන්, මැති ඇමති තනතුරු හරහා එක රැුයින් ධන කුවේරයන් වීමේ අවස්ථාවද තිබේ.

ඒ කෙසේ වෙතත්, ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සම්මාදම් කර ගැනීම නරක සහ යම් තාක් දුර්ගන්ධය දනවන ක‍්‍රියාකාරීත්වයක් වන්නේ, අදාළ පුළුල් සන්දර්භයෙන් එය වියෝ කොට සළකතොත් ය. උතුම් පරමාර්ථයක් සඳහා යොදාගන්නා මාර්ගය ඒ පරමාර්ථයට අනුරූපිව තේරුම්ගත යුතුව ඇති අතර, එවැනි මාර්ගයක් ගැනීම තාවකාලික පියවරක් බවද අමතක නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම මේ තොවිලය හරහා යක්ෂයා පළවා හැරිය හැකි නම්, තොවිලයට බැන අඬගැසීමේ තේරුමක් නැත.

*2015 මාර්තු 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Playing The Devil’s Game To Exorcise The Devil නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.