Profile:ගී ගයා මිල්ටන් කෑ කනේ පාර

 dowmillll

 

“සුමනසිරි“ ඉපදුණේ 1944 අප්‍රේල් 07 වැනිදා උදේ 9.30 ට මිරිහාන, පාගොඩ, ලංසියාවත්තේ අංක – 24 දරණ ගෙදර ය. සුමනසිරි යනු අන්වර්ථ නාමයකි. එය ඔහුට යොදන ලද්දේ ඔහුගේ මව (ඇග්නස් වික්‍රමආරච්චි) විසින් ය. ජීවත් වූ ගමේ සැවොම ඔහුව දැන හඳුනා ගෙන උන්නේ ඒ නමින් වුවත් උප්පැන්නයේ සඳහන් වූවේ මල්ලවආරච්චිගේ දොන් මිල්ටන් පෙරේරා යනුවෙන් ය. (ජේ. ඒ. මිල්ටන් පෙරේරා නොවේ.) අප දන්නා හඳුනන පරිදි ඔහු, මිල්ටන් මල්ලවආරච්චි ය.

මිල්ටන්ගේ 17 වැනි ගුණානුස්මරණය මාර්තු 10 වැනිදාට යෙදුණු හෙයින් සමරු සටහනක් ලියන්නට අදහස් කර අපි මිල්ටන්ගේ බුද්ධිමය දේපල පිළිබඳ ඇටෝර්නි බලකරු ෂෙල්ටන් වීරරත්න ඇමතුවෙමු. ප්‍රවීණ ගී පද රචකයෙකු මෙන්ම ලේඛකයෙකු ද වන ෂෙල්ටන් අපූර්ව කටයුත්තක මේ දිනවල නියැළී සිටියි. ඒ, අපගේ ආදරණීය ගායන ශිල්පියාණන්ගේ සත්‍ය ජීවිත කතාව (“සුමනසිරිගේ කතා වස්තුව“) ලිවීමෙහි ය.

“සුමනසිරි (මිල්ටන්) ගේ පියා එච්. ඩී. සුමනපාල වුවත් කවදාවත් ඔහු පියා පිළිබඳව සිහිපත් කළේ නැහැ. ඊට හේතුව වුණේ සුමනසිරි මව් කුසයේ සිටිද්දී ඔහුගේ පියා සුමනසිරිගේ මව සමඟ අමනාපව දියණියන් දෙදෙනා වූ අයිරාංගනී සහ මල්ලිකාව ද රැගෙන වෙන් වී ගොස් තිබීම ය.

එමනිසා සිය බාල කාලයේදී තමාටත් මවටත් ජීවිතයේ දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වූ බවයි සුමනසිරි සිතුවේ. කෙසේ හෝ මවගේ දෙවැනි විවාහයේ ස්වාමි පුරුෂයා වූ සංඝදාස වීරරත්න එනම් සුමනසිරිගේ බාප්පා පිළිබඳව ද සුමනසිරිගේ සිතේ වැඩි කැමැත්තක් නොවී ය. ඒ, දඟකාරයෙකුව සිටි සුමනසිරිට ඇතැම් විට බාප්පාගෙන් දඬුවම් විඳීමට සිදු වූ නිසා ය. විශේෂයෙන්ම සුමනසිරිට පාසල් කාලයේ සිටම හින්දි සින්දු ගායනා කිරීමේ උමතුවක් (ආසාවක්) තිබුණෙන් නොයෙක් විට විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දීමට සිදු විය.“

* සුමනසිරිව නිතරම පන්තියෙන් එළියට දැමූ ගණිත ගුරුවරයෙකු සිටියාලු නේද…?

“නිතරම කියන්නේ බොහෝ විට එඩ්වින් නමැති ඒ ගණිත ගුරුතුමා ඉගැන්වීමට පන්තියට පැමිණි විට සුමනසිරිව පන්තියෙන් එළියට දමන්න පුරුදු වී ඉඳලා තියෙනවා. මොකද සුමනසිරිගේ හින්දි සින්දු ගායනා කිරීමේ පිස්සුව හින්දා අනෙක් ළමයින්ගේ ඉගෙනීමට බාධා වෙයි කියා ඒ ගුරුතුමා අදහස් කළා. ඒ තරමට ගීත ගායනා කිරීමේ ආසාව වැඩිවීම නිසා ඉගෙනීමේ කටයුතු ගැන එතරම් සැළකිල්ලක් සුමනසිරිට තිබිලා නැහැ. සුමනසිරිට ඕනෑකම තිබුණේ නිතරම ගීත ගයන්නයි.“

* හැබැයි සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරයා නම් සුමනසිරිට දයාබර වුණා ලු.

“ඇතැම් විට එහෙම සමහර ගුරුවරුන්ගේ ආදරේ සුමනසිරිට ලැබිලා තියෙනවා. ඒ අතරින් සාහිත්‍ය ඉගැන් වූ චන්ද්‍රපාල ගුරුතුමාගේ ආදරය සම්බන්ධව අපූර්ව සිදුවීමකුත් ඒ කාලේ වෙලා තියෙනවා. දවසක් එතුමා ‘කුමාරොදය“ පොත පෙරළලා එහි විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ ‘වලස් දඩයම‘ කවිය ගායනා කරන්න සුමනසිරි ඇතුළු පන්තියේ ළමයින්ට කියලා තියෙනවා. එවකට එම පන්තියේ සුමනසිරිගේ යහළුවන් වූ මහින්ද මාකලන්ද සහ එච්. ඩී. ධනපාල (පසුව මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාආරච්චි) සිසුන් ද උන්නා. ඔවුන්ටත් ගී ගැයීමේ උනන්දුව තිබුණා.සුමනසිරිට කවිය ගායනා කරන්න අවස්ථාව ලැබුණාම ඔහු ආලවට්ටම් දාලා එය ගායනා කළා. පන්තියේ ළමයි පමණක් නෙමේ ගුරුතුමාත් වශී වෙලා වගේ බලා උන්නා, සුමනසිරිගේ ගායනයේ මිහිරියාව නිසා.“

පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමඟ කඩියා කැට වළ අස්සේ
අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඬ සඳ පළුව වනරොද මුදුනට ඉස්සේ
milton mallawarathchi-152x229* ඉතින් ඊට පස්සේ මොකද වුණේ….?
“සුමනසිරිගේ ගායනයෙන් පස්සේ ගුරුතුමා ඇහැව්වා – ‘කවියේ ඉන්න පිරිස කවුද…?‘ කියලා ප්‍රශ්නයක්. පිළිතුර දුන්නේ ධනපාලයි. ඔහුගේ පිළිතුර – ‘සර්, හතර දෙනයි. ඒ – පූලයි මිල්ටයි සයිමයි කඩියයි යනුවෙන්වුණා. ගුරුතුමා ඇහැව්වා – ‘ඒ කොහොමද මිල්ටත් වුණේ…?‘ කියලා.

එවිට ධනපාලගේ පිළිතුර වුණේ ‘ඇයි සර්, එයානේ කවි පන්තිය කිව්වේ‘ යන්නයි. සුමනසිරිගේ කවි ගායනයෙන් වගේම රසයක් ධනපාලගේ කතාවෙනුත් එදා හැමෝම ලැබුවා. එවැනි උජාරු විහිළු තහළු වලට සුමනසිරිලට ආදරේ කරපු ගුරුතුමන්ලාත් උන්නා. සුමනසිරි බොහොම රසට කවි ගායනා කිරීම නිසා ඔහුගේ හැකියාව කවුරුත් දැන ගත්තා. ඉතින් සුමනසිරිගේ සින්දු කීමට සමහරු විරුද්ධ වුණත් තවත් සමහරු ඔහුට ආදරෙත් වුණා. ඔවුන් සුමනසිරි ගීත ගයනවාට එරෙහි වුණෙත් නැහැ.“

* සුමනසිරිට ගායකයෙකු වීමේ අධිෂ්ඨානයක් ඇති වුණේ ගුරුවරයෙකුගේ අගය කිරීමක් හේතුවෙන් කියා පවසන්නේ ඇත්තක් ද…?

“ඇත්ත තමයි. ඒ සම්බන්ධව 1961 දී පමණ සිද්ධ වෙච්ච පුංචි සිද්ධියකුත් තියෙනවා. එවකට ආනන්ද ශාස්ත්‍රාලයේ විද්‍යා ගුරු මහින්ද රණවීර. දිනක් එතුමා පන්තියට එද්දී සුමනසිරි ගුරු මහතාගේ ආසනයේ ඉඳගෙන හින්දි ගීතයක් ගය ගයා උන්නා. පන්තියේ උන්නු හැමෝම විශ්මයෙන් අත්පුඩි ගහනවා. දැන් රණවීර ගුරුතුමා ආ බව පන්තියේ උන්නු ළමයින්ට පෙනුණාට අපේ මිල්ටන්ට (සුමනසිරිට) පෙනෙන්නේ නැහැ, ඔහු පසුපසින්

තමයි ගුරුවරයා පැමිණ සිටින්නේ. සුමනසිරි දිගටම ගීතය ගයනවා. පසුව ගුරුතුමාව දැක වහා නැඟිට සිටියත් සුමනසිරිට තදබල කණේ පහර දෙකක් ගුරුතුමාගෙන් ලැබුණා. පන්තිය අවසන් වුණාට පසු ගුරුතුමා සුමනසිරිට කතා කරලා – ‘දන්නවද මං ගැහැව්වේ මොකටද කියලා. ගුරුතුමාගේ ආසනයේ වාඩි වුණාටයි ගැහැව්වේ, සින්දු කිව්වට නෙමේ. කවදා හරි ලෝක පූජිත ගායකයෙක් වෙන්න පුළුවන් ඔය හැකියාවෙන්. හැබැයි අනුන්ගේ සින්දු කියලා බැබළෙන්න හිතන්න එපා. තමන්ගෙම සින්දු කිව්වොත් කවදා හරි ඔය ළමයා ජනකාන්ත ගායකයෙක් වෙනවා‘ යයි පැවසුවා. එදා ඉඳලා තමයි සුමනසිරි අධිෂ්ඨාන කරගෙන තියෙන්නේ ගායකයෙක් වෙන්න. 1969 දී ‘ගෞරි‘ සමාගමේ තැටියකට සිය මුල්ම ගීතය ලෙස ‘ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ‘ ගීතය ගයමින් ඔහු තම අධිෂ්ඨානය සැබෑ කර ගත්තා.“

ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ
තොටියෙකි මා මෙහි සීතල වතුරේ… …
පායා එන්න සඳේ – මට දී ආලෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ…!
(පද – කරැණාරත්න අබේසේකර)
(සංගීතය – මොහොමඩ් සාලි)
* එච්. ආර්. ජෝතිපාලයන් ජීවිතයේ පළමු වරට මුණගැසීමත් මිල්ටන්ට රසබර අත්දැකීමක් වුණා නේද..?

“මෙහෙමයි. 1961 මාර්තු, අප්‍රේල් අතර කාලයේ දවසකදී තමයි මිල්ටන් මේ අත්දැකීමට මුහුණ දුන්නේ. වර්තමාන ගමනාගමන අමාත්‍ය ආර්. එම්. මද්දුම බණ්ඩාර මහතාගේ පියා වූ ආර්. එම්. රත්නායක බණ්ඩාර බිබිල ආසනය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වී තිබුණු නිසා ඔහුට සහය දීමට ගිය පිරිසක් සමඟ මිල්ටනුත් ගිහිල්ලා බණ්ඩාරවෙල තානායමේ සිටිද්දී ආරංචියක් ඇවිල්ලා ගීත රසිකාවියකගේ සාදයකට ජෝති බණ්ඩාරවෙල ඇයගේ නි‍ෙවසට පැමිණ සිටින බව. ඉන්පසු මිල්ටන් ඇතුළු පිරිස අනවසරයෙන්ම නිවෙසට යනවා. ඒ යනවිට ජෝති ඉංග්‍රීසි ගීතයක් ගායනා කරමිනුයි ඉඳලා තියෙන්නේ.“

* ඒ වනවිට මිල්ටන් ගායකයෙකු වශයෙන් කිසිවෙකු හඳුනා ගෙන සිටියේ නැහැ.

“ඔව්. එකට උන්නු හිතවතුන් දැනගෙන හිටියා හොඳට සින්දු කියන්න පුළුවන් කියන දේ. ජෝති සින්දු කියනවා දැක්කාම මිල්ටන්ටත් සින්දුවක් කියන්න ඕනෑ වුණා. ‘මාත් සින්දුවක් කියන්නද‘ කියලා මිල්ටන් හිතවතුන්ගෙන් අහනවා ජෝතිට ඇහිලා – ‘මල්ලි එන්න. කියන්න සින්දුවක්‘ කියලා අවස්ථාව ලබා දුන්නා. මිල්ටන් ගායනා කළේ ජිම් රිව්ස්ගේ ‘distant drums’ ගීතය. ජෝති අහගෙන ඉඳලා මිල්ටන්ව වැළඳ ගෙන ‘නියමයි මල්ලී‘ කියලා අගය කිරීමක් කළා. එදා ඉඳලා මිල්ටන් ජෝතිට ආදරේ කළා. ජෝතිගේ නිරහංකාර ගතිගුණ බෙහෙවින්ම අගය කළා වගේම ගායකයෙකු ලෙසත් ලොකු ගරුත්වයක් ජෝතිට දැක්වූවා. අනුන්ගේ ගීත ගායනා කරන්න කිසිදාක කැමැත්තක් නොතිබුණත් ජෝති ගායනා කළ ‘ආනන්ද සාගරේ‘ ගීතය නිතර ගායනා කිරීමේ පුරුද්දක් මිල්ටන්ගේ තිබුණා. ඒ ජෝතිට තිබුණු ගෞරවය හා ආදරය නිසා වගේම එම ගී තනුව ඇතුළත් මුල් හින්දි ගීතය වන ‘සෝ සහල් පෙහෙලේ‘ ගීතය මිල්ටන් වැඩිපුරම ගායනා කළ ගීතයක් වීම නිසාත්.“

ජෝජ් රොබ්සන් ද සිල්වා

profile of a singer

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.