Rajitha:පවුලම උසාවියට-පුතා ගේ පෙම්වතිය රඳවා ගැනීමේ චෝදනා

RajithaFamily1_600px_15_03_20 (2)

සිය වැඩිමහල් පුතු වන එක්‌සත් සේනාරත්න විසින් පාසල නිම වී නිවස බලා යමින් සිටි ගැහැනු ළමයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්‌ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සිව්දෙනා ඇතුළු 14 දෙනකුට ලබන අප්‍රේල් 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (20 දා ) නියෝග කළේය.

 

පැහැර ගැනීමට ලක්‌ වී ඇති දිනිති ආලේකා රණසිංහ මෙනවියගේ මවුපියන් වන පොල්හේන්ගොඩ ලයනල් එදිරිසිංහ මාවත පදිංචි ගාමිණී රණසිංහ මහතා හා දමිනි  රොද්‍රිගෝ මහත්මිය ඉල්ලීමක්‌ කරමින් ගොනු කරනු ලැබූ  පැමිණිල්ලක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් විනිසුරුවරයා එලෙස නියෝග කළේය.

 

වෛද්‍ය රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න, ඔවුන්ගේ පුතුන් වන එක්‌සත් සේනාරත්න හා චතුර සේනාරත්න ඇතුළු පුද්ගලයන් 14 දෙනකුත් නීතිපතිවරයා සහ පොලිස්‌පතිවරයාත් වගඋත්තරකරුවන් කරමින් මෙහි පැමිණිල්ල ගොනු කර ඇත.

 

පැහැර ගැනීමට ලක්‌ වී ඇති සිය දියණියව අධිකරණය හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටින පැමිණිලිකාර යුවළ ඇය පැහැරගෙන ගිය අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝග කරන ලෙස ද සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටී.

 

ඇමැති සේනාරත්න මහතාගේ පුත් එක්‌සත් සේනාරත්න ඉකුත් වසරේ පෙබරවාරි 24 දා පාසල නිම වී නිවස බලා එමින් සිටි දිනිති ආලේකා දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය මාදිවෙල ළමා රක්‍ෂණ අධිකාරිය භාරයට පත් කළ බවත් කියා සිටින පැමිණිලිකරුවන් පසුව දියණිය ඇගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී නැවත පැහැර ගෙන ගොස්‌ ඇති බවත් කියා සිටී.

 

සිය දියණිය දෙවැනි වර පැහැර ගැනීමට ලක්‌ වූ පසුගිය වසරේ අප්‍රේල් 06 වැනිදා ඒ පිළිබඳව පිළියන්දල පොලිසියට පැමිණිලි කළ ද ඔවුන් නීතිය ක්‍රියාත්මක නොකළ බව ද පවසන පැමිණිලිකරුවන් පැහැර ගෙන යැම පිළිබඳව කාන්තා හා ළමා කාර්යාංශයට මෙන්ම පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කළත් මේ වන තෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බව ද දන්වා සිටී.

 

දියණියගේ පැහැරගෙන යැමෙන් තමන් දැඩි මානසික හා කායික පීඩාවට ලක්‌ව ඇති බව ද දේශපාලන බලපෑම් හේතුවෙන් නීතිය සාධාරණ අයුරින් ක්‍රියාත්මක නොවූ බව ද පෙන්වා දෙන පැමිණිලිකරුවන් දියණියව අධිකරණය හමුවට ගෙන්වා ඇය පැහැර ගෙන ගිය අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝගයක්‌ නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පවසයි.

 

චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න-පවුලේ රහස ගැන කරන හෙළිදරව්ව-හඬ පටය 

දැරියක්‌ පැහැරගෙන රඳවාගෙන සිටින බවට තම පවුල වෙත එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (19 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

තමා හඳුනන පුද්ගලයකුගේ දියණියක සමග තම පුතණුවන් මිත්‍රකමක්‌ තිබී ඇති බවත් ඇය තම දෙමාපියන්ගේ කරදර ඉවසාගත නොහැකිව නිවසින් පිටව ගිය බවට එම දැරිය ළමාරක්‍ෂක අධිකාරියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වන බව ඇමැතිවරයා කීය.

මුලින්ම දැරිය තම වැඩිමහල් පුතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ ඇයව කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත් ඇයට යළි නිවසට යැමට නොහැකි බව පැවසූ නිසා තම නිවසට පැමිණි බවත් ඇමැතිවරයා කීය.

දැරියගේ පියා ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට මගෙන් සහය ලබාගන්නැයි දැරියට බලපෑම් කර ඇති බවට කට උත්තරයේ සඳහන් වී තිබෙනවා යෑයි ද ඇමැතිවරයා කීය. එයට අකමැති වූ නිසා දැරියට දෙමාපියන් බලපෑම් කර තිබෙනවා යෑයි ද ඇමැතිවරයා කීය.

මගේ පුතාට තරුණියක්‌ පැහැර ගැනීමට කිසිම උවමනාවක්‌ නැහැ. අහිංසක දැරියක්‌ නිසයි අප ඇයට කන් දුන්නේ යෑයි ඇමැතිවරයා පැවසීය.

මේ සිද්ධිය පිටුපස සිටින්නේ කවුද යන්න තමා හොඳින් දන්නා බවද ජාවාරම්කරුවන්ට එරෙහිව තමා හඬනගන නිසා තම කට වැසීමට මෙවැනි පහත් ක්‍රියාවන් සිදුකරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ සිද්ධි වලින් තමා කිසි විටකත් පසු නොබසින බවත් මේ පුද්ගලයන් මෙහෙයවන ඊට මුදල් වියදම් කරන පිරිස්‌ ගැන ඉදිරියේදී හෙළිදරව් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසිය.

තම දෙවැනි පුතු ගැහැණු දරුවකු පැහැරගෙන ගොස් සඟවාගෙන ඇතැයි මාධ්‍ය මඟින් සිදු කරන අවිනීත අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳ සහ එමඟින් තමනට බොරු මඩ ප්‍රචාර එල්ල කරන මාධ්‍ය සම්බන්ධව අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් තමන් සිදු කරන බව ද කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම මාධ්‍ය හමුවෙදී වැඩිදුරටත් පැවැසීය

 

 

 

 

RajithaFamily1_600px_15_03_20 (2)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!