රෙජී සිරිවර්ධන:මතකයකි පැහැසර

rp_regi_siriwardane.jpg

එක්දහස් නවසිය විසි දෙකේ මැයි මාසයේ පහළොස් වැනිදා උපන් රෙජී සිරිවර්ධන, තිස් පන් දහසකට නොඅඩු දූපත්වාසී ජනයා දයා විරහිත සුනාමී චණ්ඩ රළ පහරින් මැඩ හෙළා ඉන්දීය සාගර පත්ලට රැගෙන යන්නට  සතියකට පෙරාතුව දිවි හැර නික්ම ගියේය. ඒ වනවිටත් හෙතෙම 82 හැවිරිදි ‘තරුණයෙක්ව’ සිටියේය. රෙජී ‘සදාතන තරුණයෙකු’ වී යැයි කීම යුක්ති යුක්ත වන්නේ, සිය යෞවන වියේදී කැප වී සුරක්‍ෂා කළ සබුද්ධික හා සධාර්මික ලෝක දැක්ම කෙරෙහි වූ පක්‍ෂපාතීත්වය සිය මරණය තෙක්ම අචලව රකිමින්, වාර්ගික අගතියේත්, ආගමික ආධානග්‍රාහීත්වයේත්, සමාජ අයුක්තියේත්, දේශපාලන අවිචාරයේත් සම්මුති විරහිත පිළිමලෙකු වීමේ අරුතෙන් සළකන කල්හි ය.

රෙජීගේ මරණයෙන් පසු, කෘතහස්ත දෙමළ ලේඛකයෙකු හා බුද්ධිමතෙකු වූ ඒ ජේ කණගරත්නගේ සංස්කරණයෙන් පළ කළ රෙජී සිරිවර්ධන තෝරාගත් ලිපි සරණියට පූර්විකාවක් ලියමින් රධිකා කුමාරස්වාමි මෙසේ ලියයි:

“ඔහු ජීවත් වූ යුගයට අයත් මහා ජාතිකවාදී වීරයන් මෙන් රෙජී ද, ඔවුන්ගේ බටහිරකරණය වූ පියවරුන් විසින් සැකසූ සිතිජයත්, ඔවුන්ගේ පෙරදිග ආධ්‍යාත්මික මව්වරුන් කෙරෙහි වූ භාවාත්මක බැඳීමත් අතර සිරව සිටියේය. අති මහත් නිර්මාණශීලීත්වයක උල්පත වූයේ මෙම ආතතියයි. රෙජී වනාහී, ශේක්ස්පියර්ගේ මෙන්ම පරාක්‍රම කොඩිතුවක්කුගේත් කාව්‍යයන්ද සමව විඳීමට සමත් ද්වී භාෂික පරම්පරාවේ කොටස්කරුවෙකි. ඉංග්‍රීසි බසෙහි ඔවුන් සතු දැනුම විසින් ඔවුනට ලෝක සාහිත්‍යයටත්, මාක්ස්ටත්, අක්මතෝවාටත්, පබ්ලෝ නෙරූදාටත්, තෝල්ස්තෝයිටත් පිවිසුම් මං සම්පාදනය කර දුන්නේ ය. ඔවුන් තුළ සිංහල මව් බස කෙරෙහි වූ බන්ධනය විසින් ඔවුන් නූතන සිංහල ගද්‍යයෙහි සහ පද්‍යයෙහි පුරෝගාමීන් බවට පත්කරන ලදී. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, තිස්ස අබේසේකර සහ දකුණු ලංකාවේ වෙනත් විපුලතර සංස්කෘතික දැවැන්තයන් හා උතුරු ලංකාවේ මහාචාර්ය කෛලාසපති වැන්නන් තුළ පැවැතියා වූ මෙම නිර්මාණ ආතතිය, ශ්‍රී ලංකාව මේ තාක් දැක ඇති ප්‍රශස්තම සාහිත්‍යයික හා නිර්මාණ කෘති සමහරක් උත්පාදනයට ඉවහල් විය……කෙසේවතුදු, 40 සහ 50 ගණන්වල රෙජී ආවේශ කළා වූ ජාතිකවාදී සංස්කෘතික පුනරුදය, හැමවිටම මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදායයන්ගෙන් සම්භාවිත කොට පණ පොවා තිබුණි. සීමාව ඉක්ම වූ ජාතිකවාදී සහ වාර්ගික ස්වෝත්තමවාදයන්ට මං පාදන භාවාතිශය වාර්ගික බන්ධනයන් වෙනුවෙන් වැය කරන්නට කාලයක් රෙජීට නොතිබුණි. අධිරාජ්‍ය විරෝධී වූ හෙතෙම දිළින්දන් හා අවවරප්‍රසාදිතයන් වෙනුවෙන් කැපව සිටියේය.” (Regi Siriwardena: Returning to Ithaca of the heart. (2005). In A. Canagaratna (Ed.), Selected writings of Regi Siriwardena: Volume 1 Literature and the Arts. (pp. 2-3). Colombo: International Centre for Ethnic Studies.)

රෙජීගේ මරණයෙන් දෙසතියක් ඇවෑමෙන් , 2005 ජනවාරි 02 වැනිදා ‘හිරු’ පුවත්පතට මෙම ලිපිය ලියන ලද්දේ අජිත් සමරනායක විසිනි. රෙජී සිරිවර්ධන මෙන්ම,  2005දී පළ වූ ඔහුගේ ලිපි සරණිය සැකසූ ඒ ජේ කණගරත්නද, මෙහි පළවන ලිපිය සම්පාදනය කළ අජිත්  සමරනායක ද ඉන් අනතුරුව එළඹි වසර කිහිපය තුළ දී දිවි හැර ගියහ. ඔවුන් තිදෙනාම අයත් වූ අවසාන ද්වී භාෂික පරම්පරාවේ ප්‍රගාමී, සබුද්ධික හා ලෝකායතවාදී චින්තන සම්ප්‍රදායයන් බෙලහීන කොට මැඩලා යටත් කළ රටක, ඔවුන් වැන්නන් පිළිබඳ මතකය වෙනුවෙන් සටන් කිරීම චිරකාලීනව වැදගත්කමක් සහිත දේශපාලන කාර්යයකි. දශකයකට පෙර, රෙජී පිළිබඳ අජිත් ලියූ මෙම කෙටි ලිපිය නැවත පළ කිරීමට අප කල්පනා කළේ ඒ හෙයිනි.

රෙජී‍ සිරිවර්ධනගේ අනූ තුන් වැනි ජන්ම සංවත්සරය අදට යෙදී තිබීම ඊට එක් නිමිත්තක් වූවා පමණි.

(සේයා රුව වෙනුවෙන් කොළඹ, ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍ර‍යට ස්තූතියි.)

සංස්කාරක කමිටුව


රෙජී සිරිවර්ධන මහතාගේ අභාවය මෙරටෙහි අද්විතීය චින්තකයාගේ නික්ම යාම ලෙස දැකීම අතිශයෝක්තියකැයි මම නොසිතමි. මෙරටෙහි බොහෝ දේශපාලනඥයන්, ලේඛකයන් හා බුද්ධිමතුන් සිටියත් දේශපාලනය, සාහිත්‍ය, කලාව යන ක්‍ෂේත්‍රයන් තුළ තම ආධිපත්‍යය පැතිරවීමට සමත් ප්‍රාඥයන් සිටින්නේ කලාතුරකිනි. සිරිවර්ධන මහතා එබඳු කලාතුරකින් බිහිවන අග්‍ර ගණයේ බුද්ධිමතෙකි. මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙහි සැඳෑ සමය තුළ අධ්‍යාපනය ලැබූ සිරිවර්ධන මහතා, එම නිසාම සිය ඉගෙනීම් කටයුතුක කළේ ඉංග්‍රීසි බසෙනි. එම බසෙහි හසළ දැනුමක් ලබාගෙන එවකට තිබූ යුනිවර්සිටි කොලීජියෙන් ගෞරව උපාධියක් දිනාගැනීමට ඔහු සමත් විය. මේ ඓතිහාසික අහම්බය නිසා ඔහු ඉංග්‍රීසි උගත් බමුණු කුලයේ බල කණුවක් ලෙස හංවඩු ගැසීමට සමහරු පෙළඹුණහ.

එහෙත් මේ අහම්බය සොයාගෙන මෙරටෙහි නැගී ආ සිංහල සාහිත්‍ය හා කලා පුනරුදය ග්‍රහණය කරගෙන එය ඉංග්‍රීසි පාඨකයා වෙත ගෙනයාමේදී සිරිවර්ධන මහතා ඉටු කළේ සුළු පටු කාර්යයක් නොවේ. මෙය ඉතා වැදගත් වූයේ මෙරටට නාමික නිදහස ලැබී තිබුණද, රට තවමත් පාලනය කළේ මේ ඉංග්‍රීසි උගත් පැළැන්තිය නිසා ය. එම පන්තියට අයත් වුවද නැගී ගෙන ආ ජාතික පුනරුදය පමණක් නොව, නව ලොවක් ප්‍රාර්ථනා කරන තරුණ පරපුරෙහි අභිලාෂයන්ද ග්‍රහණය කර ගැනීමට සිරිවර්ධන මහතා එක සේ සමත් විය. නිදසුනක් ලෙස සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය පිළිබඳ පළමු ඉංග්‍රීසි විචාරය ලියුවේ ඔහු ය. මෙය ඔහු විසින් කරන ලද්දේ සිංහල විචාරකයන් එක්කෝ මේ නාට්‍යය පරිහාසයෙන් බැහැර කරද්දී ය. නැත්නම් එය තේරුම් ගැනීමට අපහසු කෘතියක් ලෙස ද සළකද්දී ය.

නොසිඳුණු තාරුණ්‍යය

එදා මෙදා තුර නව සාහිත්‍ය නිර්මාණ පමණක් නොව, නව දේශපාලන ව්‍යාපාරයන් ද තේරුම් ගැනීමට තමන්ට හැකි වූ බව සිරිවර්ධන මහතා මනාව ඔප්පු කළේ ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ හා ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ වැනි චිත්‍රපට ගැන ලියන ලද විචාර තුළින් සහ 1971 තරුණ කැරැල්ලට පසු සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පිහිටුවීමට උපස්ථම්භක වෙමිනි. මේ හැම දෙයින්ම ස්ඵූට වූයේ ඔහුගේ නොසිඳුණු තාරුණ්‍යයයි.

සිරිවර්ධන මහතාගේ රචනයන් හි තිබූ විශිෂ්ට ලක්‍ෂණය වූයේ ඔහු දේශපාලනික දෘෂ්ටිය සහ රසඥතාව ඒකාබද්ධ කළ රමණීය විලාසයයි. ලංකා සම සමාජ පක්‍ෂයෙන් මාක්ස්වාදය ඉගෙනගත් ඔහු පක්‍ෂය තහනම් කර තිබූ දෙවන ලෝක යුද්ධ සමයෙහි දී පක්‍ෂයේ රහසිගත ව්‍යාපාරයෙහි සාමාජිකයෙකු විය. මාක්ස් – ලෙනින්වාදය, ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය පිළිබඳ ගැඹුරු දැනුමක් ඔහුට තිබුණ ද, ඔහු කිසි දා මාක්ස්වාදය සුරුවමක් ලෙස සැළකුවේවත්, එය සිය දේශපාලන – සාහිත්‍ය රචනාවල දී යාන්ත්‍රිකව භාවිතා කිරීමට පෙළඹුණේවත් නැත. පසුකාලීනව සෝවියට් දේශයෙහි ඇති වූ උග්‍ර වෙනස්වීම් ඉතා උවමනාවෙන් අධ්‍යයනය කළ ඔහු ගොර්බචෙව් ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද වෙනස්කම් නිසා එරටෙහි ඇති වූ කැළඹිලි අර්ථ කථනය කිරීමේ කාර්යයෙහි ලාංකීය විද්වතා බවට පත් විය. ට්‍රොට්ස්කි පිළිබඳව අද්විතීය චරිතාපදානයක් ලියූ විශිෂ්ට ලේඛකයෙකු වූ අයිසැක් ඩොයිෂ්චර්,1950ගණන්වල ලන්ඩනයෙහි දී හමු වී භාග්‍යය ලබා තිබූ සිරිවර්ධන මහතා මාක්ස්වාදය දෙස බැලුවේ නිතරම නිර්මාණාත්මක ඇසකිනි. එය පොතේගුරුවාදයක්වත්, ලබ්ධියක්වත් නොව, ඓතිහාසික ප්‍රපංචයන්ට අනුව වෙනස්වන දෘෂ්ටියක් බවත්, ක්‍රියාකාරීත්වයන්ට යතුරක් බවත් ඔහු මනාව වටහාගෙන තිබිණි.

ශේක්ස්පියර් වෙනුවට බොබ් ඩිලන්

සිය දේශපාලන දෘෂ්ටිය සිරිවර්ධන මහතා මාක්ස්වාදයෙන් ලබා ත්තා නම්, ඔහු සිය රසඥතාව ලබාගත්තේ සම්භාව්‍ය බටහිර සංස්කෘතියෙනි. ඇරිස්ටෝටල්ගේ සිට එෆ් ආර් ලීවිස් දක්වා බටහිර ශාස්ත්‍රඥයන්ගේ සාහිත්‍යයික කලා න්‍යයයන් පිළිබඳ පෘථුල අවබෝධයක් ඔහු සතු විය. එහෙත් මෙහිදීද ඔහු මේ රසවාදී න්‍යායයන් භාවිතා කළේ පටු රාමුවක් තුළ නොවේ. කලා කෘතියක දේශපාලන හ සාමාජික සමූදයාර්ථය හා නිර්මාපකයා විසින් උපයෝගී කරගත් විධික්‍රම යන ද්විත්වයම මනා ලෙස ග්‍රහණය කරගෙන සිය විචාරකරණයෙහි යෙදීමෙහි කුසලතාව සිරිවර්ධන මහතාට නොමඳව තිබුණි.

ඉංග්‍රීසි ලේඛකයෙකු හා විචාරකයෙකු ලෙස ඔහුගේ නිරන්තර උත්සාහය වූයේ ඉංග්‍රීසී භාෂාව හා සාහිත්‍යය මෙරට සමාජ, ‌දේශපාලනික හා සංස්කෘතික යථාර්ථයන්ට බද්ධ කිරීමයි. එහෙත් ඔහු මේ ව්‍යායාමයෙහි යෙදුණේ හුදු ජාති මාමක සහ ජාතික චින්තන දෘෂ්ටි කෝණයකින් නොවේ. මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය කිසියම් සම්භාව්‍ය රාමුවක සිරගතව සිටින බව ඔහු දුටුවේය. එම අධ්‍යාපනය මේ රාමුවෙන් මුදාගෙන පළල් ලෝකය වෙත ගෙනයාම ඔහුගේ අරමුණ විය.1970 ගණන්වල උසස් පෙළ ඉංග්‍රීසි පාඨමාලාව සංස්කරණය කිරීමේ කමිටුවේ සාමාජිකයෙකු වූ ඔහු, ජරාජීර්ණ ඉංග්‍රීසි බමුණු කුලයෙහි සදාතනික සතුරෙකු බවට පත් වූයේ ශේක්ස්පියර්ගේ කවි වෙනුවට බොබ් ඩිලන්ගේ ගීතවල පද මාලාවන් පාඨමාලාවට ඇතුළු කළ යුතු යැයි යෝජනා කළ නිසා ය. එහෙත් මෙයින්ද හෙළිදරව් වූයේ නව ප්‍රවණතාවන්ට විවෘත වූ ඔහුගේ මනසයි.

‘තුප්පහියන්’

රෙජී සිරිවර්ධන මහතා මෙරට ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව කියා සිටියා පමණක් නොව, මෙරටෙහි ඉතිහාසය පිළිබඳ ඇතැම් ජාතික මාමක ශාස්ත්‍රඥයන් හා කපටි කථිකයන් විසින් ප්‍රචලිත කරන ලද මිත්‍ථ්‍යාවන් හි වෙස් මුහුණු ගැළවීමේ කාර්යයෙහිද නිරත විය. එමෙන්ම පිරිසිදු සිංහල ජාතියක් පිළිබඳ ප්‍රචාරාත්මක අඬහැරය ප්‍රතික්‍ෂේප කළ ඔහු ‘The Lost Leuore’ නම් කෙටි නවකතාවක් ලියමින් කියා සිටියේ ‘අපි හැම දෙනාම තුප්පහියෝ වෙමු’යි යන්න ය.

සිරිවර්ධන මහතාගේ ශාස්ත්‍රීය හා ලේඛණ ජීවිතයෙහි මුල් ලකුණ වූයේ ඔහු කිසිදු ක්‍ෂේත්‍රයක සිරකරුවෙකු නොවීමයි. දේශපාලන විචාරය, සාහිත්‍යය, කලාව යන මේ හැම පෙදෙසකම රිසි සේ හැසිරුණු ඔහු වචනයෙහි නියමාර්ථයෙන්ම ශාස්ත්‍රඥයෙකු විය. කිසියම් අංශයකට සීමා වන විද්‍යර්ථීන් සිටින වත්මන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙවැන්නෝ විරල ය. එමතු ද නොව, ඔහු ඉතා ශූර ඉංග්‍රීසි ලේඛයෙකු විය. සිය පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කර කවදාවත් පාඨකයා මුසපත් නොකළ ඔහු, මහත් සංකීර්ණ සංකල්පයන් සරල බසෙන් කීමේ සමතෙක් විය.

ඉතා චාම් ජීවිතයක් ගත කළ මානව හිතවාදියෙකු වූ රෙජී සිරිවර්ධනගේ වියෝවෙන් මෙරට බුද්ධිමය ඉතිහාසයෙහි ඓතිහාසික යුගයක් අවසන් විය.☐

අජිත් සමරනායක

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.