Temple:මෝදි මරදානට ගියේ ඇයි?

 

modhiඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර මරදානේ අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට ද පැමිණියේය.

 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහාබෝධි විහාරයට සම්ප්‍රාප්ත වන්නේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ආරාධනාවෙනි.

 

ඉන්දීය අගමැති මෝදි මහතා සහ තමන් වහන්සේ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මත බානගල නායක හිමියන් මෙම ආරාධනය කර ඇත්තේ දැනට මාස කිහිපයකට පෙරදීය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය කරන අතරම මහාබෝධි විහාරයට පැමිණීමේ අවස්ථාව ද යොදාගැනීමට තීරණය කළ මෝදි මහතා මහාබෝධි විහාරස්ථානයට පැමිණීමට අවස්ථාව උදා කරගෙන ඇත.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බානගල උපතිස්ස නායක හිමියෝ “මම කුඩා කල සිටම හැදුණේ වැඩුණේ ඉන්දියාවේ. වයස අවුරුදු 11 සිට ඉගෙනගත්තෙත් ඉන්දියාවෙයි. ප්‍රාථමික අධ්‍යාපනය වගේම මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෙත් ඉන්දියාවෙයි. ඒක නිසා මට හොඳට හින්දි භාෂාව කතා කරන්නත් පුළුවන්.” යැයි කීය.

 

ඉන්දියාවේ පරිසරය, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ඒ නිසා මට හොඳට හුරුයි. ඉන්දීය සමාජය තුළ සිටිද්දී කාට හෝ කිව්වොත් මිස මම ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන්නෙ නැහැ යැයි ද බානගල හිමියෝ කීය.

 

ඉතින් හාමුදුරුවනේ කොහොමද මෝදි අගමැතිතුමා සමග සම්බන්ධයක් ඇතිවුණේ? මම බානගල හිමියන් වෙත ප්‍රශ්නයක් යොමු කළෙමි.

 

ඒ කා‍ලේ එතුමා අගමැති ‍නෙවෙයි. අගමැති වෙන්න හිතලත් නැහැ. ඒ වෙනකොට එතුමා ගුජරාට ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැතිතුමා.

ඔය දවස්වල ගුජරාටයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සූදානම් කර තිබුණා. එයට දේශනයක් සඳහා මටත් ආරාධනයක් තිබුණා. මහ ඇමැති මෝදි මහතාත්, දලයි ලාමාතුමාත් පැමිණියා. සම්මන්ත්‍රණයේ ‍පොල්තෙල් පහන දැල්වූවෙත් අපි.

 

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් නිසා මම ඉංග්‍රීසි භාෂාවෙන් දේශනය කරන්නයි සූදානම් වී ගියේ. මම දේශනය ආරම්භ කරලා ටිකක් වෙලා යනවිට මට පෙනුණා එතන විදේශිකයන්ට වඩා සිටින්නේ ඉන්දියානුවන් විත්තිය. විශේෂයෙන්ම හින්දුවරුන්.

 

මම සභාවෙන් ඇසුවා ඉංග්‍රීසියෙන් කතාව කරනවාට කැමැතිද? නැත්නම් හින්දි භාෂාවෙන් කතා කරනවට කැමැතිද කියලා.

හින්දි භාෂාවෙන් කතා කරන්නැයි සභාවේ සිටි වැඩි දෙනා ඉල්ලා සිටියා.

 

මගේ කතාවෙන් පසුවත් මෝදි මහතා සෑහෙන වෙලා මා සමග කතා කළා. එසේ කතා කරන්නට පුළුවන් වුණේ මම හින්දි භාෂාව දැන සිටිය නිසයි. භාෂාවේ හාස්කමයි ඒ.

 

එතුමාත් මාත් අතර දැඩි මිත්‍රත්වයක පාලම වූයේ හින්දි භාෂාවයි. මතෛන්ට මෝදි අගමැතිතුමා පැමිණීමට පදනම වැටෙන්නේත් ඒ තුළින් ඇති වූ බැඳීමයි.

 

ඔබ වහන්සේ මෝදි මහතාව දකින්නේ කුමන ආකාරයේ කෙනෙක් විදියට ද?

එතුමා හොඳ කඩවසම් කෙනෙක්. තේජස් වී ගති ඇති එහෙත් නිහතමානී කෙනෙක්. බුද්ධිමත්. ආඩම්බරකම් නැහැ. හොඳ ගතිගුණ ඇති මිත්‍රශීලී අයෙක්.

 

එතුමා ඉහළ පවුල්වල හෝ ප්‍රභූ පන්තියේ කෙනෙක් නොවෙයි. එතුමා ඉපදී ඇත්තේ අතීතයේ බෞද්ධ ප්‍රබෝධයක් තිබූ ගුජරාටය ප්‍රදේශයේයි. හින්දු භක්තිකයෙක් වුවත් බුදු දහමේ චිරස්ථිතියට උදව් කරනවා. විවිධ අවස්ථාවල අපි හමු වුණා. වැදගත් අදහස් හුවමාරු කර ගත්තා. ඒ තුළින් අප අතර මිත්‍රත්වය වැඩිදියුණු වුණා යැයි ද කීය.

 

ගුජරාට ප්‍රදේශයේ බෞද්ධ විහාරයක් හැදීමටත් එතුමාට අවශ්‍ය වුණා.

 

දැනට එය පටන්ගෙන තිබෙනවාද හාමුදුරුවනේ?

නැහැ. ඒ සඳහා කටයුතු කරගෙන යනවා. ‍පොදු ජනතාව අතරින් බිහිවුණු සාමාන්‍ය පන්තියේ කෙනෙක් හැටියට නායකත්වයට පැමිණුණු මෝදි අගමැතිතුමා ලංකාවට ඒමට සූදානම් වූ විට එදා මා කළ ආරාධනාවත් ඉෂ්ට කරන්නට පියවර ගෙන තිබෙනවා.

අනගාරික ධර්මපාලතුමාගේ විශිෂ්ට බෞද්ධ ප්‍රචාරක සේවාව ඇරඹූ මූලස්ථානය වශයෙන් මහාබෝධි විහාරස්ථානයට එතුමාගේ පැමිණීම තුළින් බෞද්ධයන්ගේ ගෞරවය එතුමාට හිමි වෙනවා.

 

විශේෂයෙන්ම අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම ජයන්තිය යෙදෙන වකවානුවෙයි එතුමා මේ විහාරස්ථානයට පැමිණෙන්නේ. පසුගිය දා පාප් වහන්සේත් මේ විහාරස්ථානයට පැමිණියා. අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම ජයන්තියේ මේ සිදුවීම් වීමත් ඓතිහාසිකයි.

 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද (13) මහාබෝධි මන්දිරයට පැමිණි විට ඒ මහතා වෙනුවෙන් විශේෂ අගසව් පූජාවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ගුජරාට් මහ ඇමැති අවධියේ සිටම බානගල උපතිස්ස නාහිමියන් හා මිත්‍රත්වය තවත් තහවුරුවීමට හේතුවක් ලෙස නාහිමියෝ පෙන්වා දෙන්නේ මෝදි අගමැතිවරයා ගුරුදේව ස්වාමි දයානන්ද සරස්වතීතුමන් හා බානගල උපතිස්ස හිමියන් අතර වූ දීර්ඝකාලීන මිත්‍රත්වයයි.

 

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සමග සමීපව කටයුතු කිරීමේ සම්ප්‍රදායයත් දීර්ඝ කාලයක සිට ඉන්දීය රාජ්‍ය නායකයන් සහ නිලධාරීන් විසින් සුහද ඇසුරක් පවත්වන අතර පසුගිය කාලය පුරාම අනගාරික ධර්මපාල සමරු දෙසුම පවත්වා ඇත්තේද ඉන්දීය දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් වීමද විශේෂත්වයකි.

 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගුජරාට් ප්‍රාන්ත මහ ඇමැති ලෙස කටයුතු කරන සමයේ බානගල නාහිමියන් ප්‍රමුඛව මහාබෝධි සමාගමේ නියෝජිත පිරිසකට සම්මේලනයකට ආරාධනාවක් කර ඇත. එදා පටන් මහාබෝධිය හා මෝදි මැතිතුමන් අතර සම්බන්ධයද අද දක්වා නොවෙනස්ව පවතී. -දයා සෝමසිරි

Modhi visits temple in Maradhana

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!