World Cup:මැතිව්ස් විවේක ගැන්විය යුතුයි -කළමනාකාර මයිකල් ද සොයිසා

 

 

mathewsggg

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ නායක ඇන්ජලෝ මැතිව්ස් විවේක ගැන්වීමෙන් පසුව නැවත එළැඹෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ

පැවසීය.

ඇත්තටම මැතිව්ස්ට ස්කොට්ලන්ත තරගයේ පන්දු රකිමින් සිටියදී වම් පාදයේ වළලුකරේ යම් වේදනාවක් පැමිණියා. එයට හොඳම ප්‍රතිකාරය විවේක ගැනීමයි. මේ නිසා අප හදිසියේම ඔහුව ක්‍රීඩාගාරයට ගෙන්වා විවේකයට ඉඩ ලබාදුන්නා යැයි මයිකල් ද සොයිසා පැවසුවේ මැතිව්ස්ගේ නායකත්වය ඉදිරි තරගවලට වඩාත් වැදගත් බවද අවධාරණය කරමිනි.

මයිකල් සොයිසා
මයිකල් සොයිසා

ඇන්ජලෝට 18දා අර්ධ අවසන් පූර්ව තරගයට පෙර හොඳටම කාලය තියෙනවා විවේක ගෙන පුහුණුවීම් අරඹන්න. මෙවැනි ආබාධයකට හොඳම ප්‍රතිකාරය විවේකය බවයි වෛද්‍ය මතය වී තිබෙන්නේ. මේ තත්ත්වය තුළ අපට මැතිව්ස් ගැන බියක් වෙන්න ඕන නැහැ. මේ අතර කළමනාකාර මයිකල් ද සොයිසා පැවසුවේ පාදඟ පන්දු යවන රංගන හේරත්ද තමාගේ ඇඟිල්‍ලේ ආබාධයෙන් පසුව ඉදිරි දිනවලදී පුහුණුවීම්වලදී පන්දු යැවීමට නියමිත බවයි.

තවම රංගන පන්දු යැව්වේ නැහැ. ඔහුගේ වම් අතේ දබරැඟිල්ල තමයි (පන්දුව දඟ කැවීමට යොදාගන්නා ඇඟිල්ල) තුවාල වී මැහුම් 3ක් යොදා තිබුණේ. දැන් එය ගොඩක් සුවයි. අපි බලන්න ඕන ඔහුව ඉදිරියේදී පන්දු යවන ආකාරය. රංගන යථා තත්ත්වයට ආවොත් අපට ගැටලුවක් නැහැ. යම් හෙයකින් රංගනට එසේ නොහැකි වුවහොත් අතිරේක දඟ පන්දු යවන්නකුව සිට පැමිණ සිටින යොවුන් ක්‍රීඩක තරිඳු කෞශාල් සංචිතයට එක් කරනවා යැයි කළමනාකරු පැවසීය. දැනට කිතුරුවන් විතානගේද අතිරේක ක්‍රීඩකයකු ලෙසට සිටිනවා. කොහොම වුණත් ශ්‍රී ලංකා පි‍ලේ සෙසු ක්‍රීඩකයන් හොඳ කායික සුවතාවකින් පසුවන බව කළමනාකරු පවසයි.

මේ වනවිටත් ශ්‍රී ලංකා පි‍ලේ සිටි ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් ආබාධයන්ට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටී. මේ සඳහා දුෂ්මන්ත චමීර, සීක්කුගේ ප්‍රසන්න, උපුල් තරංග හා කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට අයි.සී.සී. තරගාවලි තාක්ෂණ කමිටුවේ අනුමැතිය ඇතිව එක්ව සිටී. පසුගිය 2011 ලෝක කුසලානයේදී ද මැතිව්ස්ට ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවිය. මේ අතර ශ්‍රී ලංකා පිල ඊයේ (12) හෝබාත් නුවර සිට ගුවන් මගින් නැවතත් සිඩ්නි නුවරට පැමිණි අතර අද සිට පුහුණුවීම් ඇරඹීමට නියමිතව ඇතැයි කළමනාකරු පවසයි. සිඩ්නි ක්‍රීඩාංගණයේ මීට පෙර ඔස්ට්‍රේලියා තරගයේදී ශ්‍රී ලංකා පිල පරාජයක් ලැබුවද හොඳ සටනක් දීම තුළ අර්ධ අවසන් පූර්ව තරගය ගැන ලොකු බලා‍පොරොත්තුවක් සැමගේ ඇත. බොහෝ විට මෙම තරගයේ ප්‍රතිවාදියා දකුණු අප්‍රිකානු පිල විය හැකි නිසා ශ්‍රී ලංකා පිල තම පන්දු යැවීමේ අංශය කෙරෙහි සැලකිලිමත් වන්නේ ඒ.බි. ඩිවිලියස්, හෂීම් අම්ලා වැනි පිතිකරුවන්ගේ දක්ෂතා හේතුවෙනි.
ධම්මික රත්නවීර ඔස්ට්‍රේලියාවේ සිට

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!