Yagirala-සදා හරිත පාසැල

rain_map2

දේශීය දැනුම හා කුසලතාව යාවත්කාලීන කර ගනිමින් මෙරට ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවෙන් පෙළගැසීමේ කාලීන අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා මග කිවහැකි, අගනුවරටද ඉතා ආසන්න අපූරු අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව හැඳින්විය හැක.
යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ මූලික වස්තු බිජය හටගන්නේ වර්ෂ 1984 තරම් ඈත අතීතයේදීය. ඒ එම වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යගිරල වනාන්තරයේ අක්කර සියයක පමණ කොටසක් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනිමින් පවත්වාගෙන යාම ආරම්භ කිරීමත් සමගය. දැනට ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාලයක් මගින් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා තම භාරකාරීත්වය යටතේ පවත්වාගෙන යන මුල්ම හා එකම වනාන්තරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළමනාකරණය වන මෙම යගිරල වනපෙතයි.

පරිසරය  හදාරමින්
පරිසරය හදාරමින්

දිවයිනේ අගනුවර සිටද පහසුවෙන් ළඟාවිය හැකි ආකාරයෙන් ස්ථාපනය වී ඇති යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ කොළඹට කිලෝමීටර් අනූවක් පමණ දුරින් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශය තුළය. කොළඹ සිට හොරණ, මතුගම නගර ඔස්සේ හෝ කළුතර, බේරුවල ,දර්ගා නගරය ඔස්සේ මේ වෙත ළඟා විය හැක. ඝර්ම කලාපයට අයත් පහතරට තෙත් සදාහරිත වනාන්තරයක තුරු‍ලේ හිඳිමින් එහි නිහඬ නිස්කලංක හා සාමකාමී වටපිටාව අත්විඳින්නටත් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීමටත් යගිරල වනපෙතේ මෙම පරිසර තක්සලාව තෝතැන්නකි.

මුල්
මුල්

සමස්ත වපසරිය හෙක්ටයාර් 2004.9ක් වන යගිරල වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිපාලනය වන අතර සිංහරාජයට දකුණින් පිහිටා ඇති දැනට ශේෂව පවතින අතිශය ෙජෙව විවිධත්වයෙන් පරිපූර්ණ පහතරට තෙත් කලාපීය සදාහරිත වනාන්තර අතලොස්ස අතරින් එකකි. කාණ්ඩ හැට දෙකකට හා ගණ 120කට අයත් ශාක විශේෂ 152ක් මෙම වනාන්තරයෙන් හමුවේ. තවද යගිරල වනපෙතේ සිදුකර ඇති ෙජෙව විවිධත්ව අධ්‍යයනයන්ට අනුව එහි ක්ෂීරපායී විශේෂ 36ක්, උරග විශේෂ 19ක් හා උභයජීවී විශේෂ 10ක් මෙම වනාන්තරය නිවහන කරගනිමින්  ජීවත්වන බව අනාවරණය කරගෙන ඇත. එයින් ක්ෂීරපායී විශේෂ 4ක් දිවයිනට ආවේණික බව තහවුරු කරගෙන තිබේ. යගිරල වනරක්ෂිතයේ ජීවනාලිය වශයෙන් හැඳින්විය හැකි ඇතා වැටුණු වළ නමින් හැඳින්වෙන දර්ශනීය දොළ පහර ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසකගෙන්ද සමන්විත වේ. මෙම වනාන්තරය තුළින් ගලන දිය පහරවල්වලින් මේ දක්වා වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 22ක් පමණ වේ.

සුදු නයා
සුදු නයා

එසේම පක්ෂීන් නිරීක්ෂණයටද කදිම තෝතැන්නක් වන මෙම වන පියසේ මෑතකදී කරන ලද අධ්‍යයනයන්ට අනුව වාර්තා වී ඇති  පක්ෂි විශේෂ ගණන 94කි. ඒ අතුරින් 11 ක් ශ්‍රී ලංකාවට ආවේණික වන අතර 12ක් තර්ජනයට ලක්වූ විශේෂ වීම මෙම අගනා සොබා උරුමය රැක ගැනීමේ අවශ්‍යතාව මොනවට කියා පායි.

උභය ජීවීන්
උභය ජීවීන්

රක්ෂිතයේ ඉහළ කඳු පන්තියකින් ආරම්භ වී සිහින් දිය දහරාවක් ලෙස පහළට බසින මේ ඇතා වැටුණු දොළ වනපෙත මධ්‍යයේදී විශාල දොළ පහරක් බවට පත්වේ. පසුව මෙම දොළපහර උඩුගම දෙසට ගලා බසින අතර එහි නැවතුම සිදුවන්නේ බෙන්තර ගඟට එක්වීමෙන් අනතුරුවය. තවත් අපා දෙපා සිවුපා විහඟ ඈ සත්ව විශේෂ රැසකගේද නිජබිම වන යගිරල සංරක්ෂිත වනාන්තරයේ කටුකිතුලාන හා පෙමරගල වශයෙන් ගිරි හිස් දෙකකි. මෙම ඇතා වැටුණු වළ පිළිබඳ විමසන පුරාවෘත්ත වලට අනුව අතීතයේ දී මෙම වනාන්තරය අලි ඇතුන්ටද වාසභූමි සපයා ඇති අතර එසේ  ජීවත්වූ ඇතෙකු වරක් මෙම දිය දහරේ තිබූ ස්වාභාවික ගල් වළකට වැටීම නිසා මෙම දොළ පහර ඇතා වැටුණු වළ ලෙස හඳුන්වන බව කියති. මෙවැනි සොබාදහමේ  අපූර්ව නිර්මාණයක් බඳු යගිරල වන පෙත සෙවණේ හිඳිමින් වන හා පරිසර විද්‍යාවන් හැදෑරීමට ලැබේ නම් එය සැබෑ ලෙසම අසිරිමත් සිදුවීමක් බව නොකිවමනාය.

යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පරිසර අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගෙන් ලබාගත හැක.

සුපුන් ළහිරු ප්‍රකාශ්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.