කවියට කෙටිකතාවට මහනුවරදී රජතසම්මාන

booksමෙතෙක් වසරේ හොඳම නවකතාව වෙනුවෙන් ‘ස්වර්ණ පුස්තක සම්මානය’ පිරිනැමූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ වසරේ සිට වසරේ හොඳම කාව්‍ය කෘතිය සහ වසරේ හොඳම කෙටිකතාව සඳහා ‘රජත සම්මාන’ පිරිනැමීමට තීරණය කර ඇත.

මෙම තීන්දුව කලක් තිස්සේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක්වුණු මාතෘකාවක් ක්‍රියාවට නැංවීමකි.

ස්වර්ණ පුස්තක සම්මාන ක්‍රියාවලිය කොළඹදී පැවැත්වෙන ජාත්‍යාන්තර පොත් සල්පිලට සමගාමීව 2007 වසරේ සිට ඇරඹුණකි.

කෙටිකතාව සහ කාව්‍ය ඇගැයීමට ලක්වෙන ‘රජත සම්මාන ක්‍රියාවලිය’ පැවැත්වීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීන්දු කර ඇත්තේ වාර්ෂිකව මහනුවර පැවැත්වෙන ඔවුන්ගේ පොත් සල්පිලට සමගාමීව ය.

 

තේරීම් ක්‍රමවේදය

මේ අනුව ‘දිගු ලැයිස්තුව’ සඳහා කෙටිකතා හා කාව්‍ය කෘති ‘නවය’ බැගින් තෝරා ගැනීමට නියමිත අතර අවසන් නිර්දේශය සඳහා තෝරා ගැනෙන්නේ ඉන් කෘති ‘හතර’ බැගිනි. මෙසේ තෝරා ගැනෙන අවසන් කෘති අට සඳහා රුපියන් විසිපන්දහස බැගින් මුදල් ප්‍රදානයක් සිදු කෙරෙන අතර රජත සම්මාන දිනා ගන්නා ජයග්‍රාහි කෘති ද්විත්වය සඳහා රුපියල් ලක්ෂ දෙක හමාර බැගින් මුදල් ත්‍යාගයක්ද පිරි නැමීමට සංවිධායක මණ්ඩයල තීරණය කර ඇත.

ලියාපදිංචි ප්‍රකාශන ආයතනයක් හරහා මෙම කෘති මුද්‍රණය වී තිබිය යුතු අතර ජාතික ලේඛනාගාරයේ ලියාපදිංචිව තිබිය යුතු බව සංගමය පවසයි. ස්වර්ණ පුස්තක සම්මාන ක්‍රියාවලියේදී නවකතාව පුවත්පත් මාධ්‍යයක පළවී තිබීමෙන් තරග කොන්දේසි උල්ලංඝනය වූ බවට විශාල ආන්දෝලනයක් ඇති වුණු බැවින් සංවිධායකයන් විශේෂයෙන් පවසන්නේ කෙටිකතා සහ කාව්‍ය ක්ෂේත්‍ර සඳහා මෙම තරග කොන්දේසිය බල නොපාන බවයි. නමුත් හොඳම නවකතාව තෝරා ගැනෙන ස්වර්ණ පුස්තක ක්‍රියාවලියට තව දුරටත් එම තරග කොන්දේසිය අදාල බව සංගමය පවසයි.

2017 වසරේ ජුනි මාසයේදී මහනුවර පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රථම වරට මෙම රජත සම්මාන පිරිනැමීමට ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු යොදා ඇති අතර ස්වර්ණ පුස්තක ක්‍රියාවලිය ඇරඹී හරියටම දස වසරක ඇවෑමෙන් කෙටි කතා සහ කාව්‍ය සමීක්ෂණය ඇරඹීම විශේෂත්වයක් වෙයි. වසරේ හොඳම නවකතාව පමණක් තෝරා ගැනුණු ‍ ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින්  මෙම තීරණයට එළැඹ ඇත්තේ, කෙටිකතා හා කාව්‍ය නිර්මාණ ඉහළ ප්‍රමිතියකට පත් කිරීමටත්, එවන් නිර්මාණ කිරීමට  ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීමටත් බව එම සංගමය නිවේදනය කරයි.

රජත සම්මානය සඳහා සමීක්ෂණය පිණිස,  2016 වසර තුළ ප්‍රකාශයට පත්කෙරුණු කෙටිකතා හා කාව්‍ය කෘතීන් ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට යොමුකරන ලෙස  සංගමය සියලු ප්‍රකාශකයන්ගෙන් ඉල්ලා සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!