ජෝති නැතුව ගෙවුණු තිස් වසර

H. R. Jothipalaජෝති සැබෑ ලෙසින්ම ජීවමාන වන්නට පටන් ගත්තේ ඔහුගේ මරණයෙන් ඉක්බිතිව යැයි මම සිතමි ජෝති රටට දැනෙන්නට ජීවත් වූ මිනිසෙකි. ඔහු මිය ගියේ ද කිසිදා අමතක නොවන දිනයක. (අසූ හතේ හතයි හත – 1987 ජූලි 7).

මෙරට සංගීතයෙහි එකල මෙන් මෙකලද විවිධ සංගීත සම්ප්‍රදායන්හි බලපෑම් දැක්ක හැකිය. කතෝලික පල්ලිය කේන්ද්‍ර කොටගත් ගායන සම්ප්‍රදාය ඉන් එකකි.

ඉන්දිය ශාස්තී‍්‍රය සංගීතයට නැකම් කී සින්දු කාමර සම්ප්‍රදාය අනෙක වේ. මෙම සංගීත සම්ප්‍රදාය එකල මරදාන කේන්ද්‍ර කොටගෙන ගොඩනැඟී තිබිණ.

ළාබාල වියෙහි සිටම ජෝති මෙම සංගීත සාජ්ජවල ගීත ගැයුවේය. ගායකයකු වීමට තිබූ දැඩි ඇල්ම නිසා ම මිතුරකුගේ මාර්ගයෙන් වසන්තා සන්දනායකගේ ගීතයකට සහාය වීමට ජෝති හට අවස්ථාව ලැබිණ. ‘බයිජු බව්රා’ (Baiju Bawra) හින්දි චිත්‍රපටයේ ගීතයක තනුවකට අනුව 1952 දී වසන්තා ගැයූ ‘මහවැලි නදියේ’ ගීතයේ ‘තොටියෝ’ යන පදය පමණක් ගැයීම වුවත් ඔහුට සොම්නස ගෙන දෙන්නක් විය.

සිනමා ක්ෂේත්‍රය අතින් බැලූ විට ‘රේඛාව’ බිහිවීම මතු නොව බොහෝ විචාරකයින්ගේ අවධානය යොමු නොවූ තවත් සුවිශේෂී සිදුවීම් ත්‍රිත්වයක් 1956 දී සිදු වූ බැව් පෙනේ. මගේ පර්යේෂණයකට අනුකූලව ලාංකික සිනමාවට පමණක් නොව මුළු මහත් ආසියාවට යථාර්ථවාදී රූපණවේදය හඳුන්වාදුන් ගාමිණි ෆොන්සේකා සහ අයිරාංගනී සේරසිංහ දෙපළගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවන්නේ ද 1956 ‘රේඛාව’ චිත්‍රපටයෙනි. අනෙක් කරුණ එම වසරේ තිරගත වූ ‘සුරතලී’ චිත්‍රපටයෙන් එච්. ආර්. ජෝතිපාල නම් වූ ශ්‍රේෂ්ඨ චිත්‍රපට පසුබිම් ගායකයා සිනමාවට ප්‍රවිෂ්ට වීමය.

එහි පසුබිම ද මෙහි දී හෙළි කරනු වටී. චිත්‍රපට ත්‍රිත්වයක පසුබිම් ගීත ගැයීමේ අවස්ථාව මග හැරුණු ජෝතිට, සිරිල් පී. අබේරත්න හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. සිරිල් පී. අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වූ ‘සුරතලී’ චිත්‍රපටයේ ගීතයක් ගැයීමේ අවස්ථාව ජෝතිට ලබාදීමට ඔහු එකඟ වේ. එසේ වුවත් එහි නිෂ්පාදක ජබීර් ඒ. කාදර් මේ සඳහා අනුමැතිය ලබාදිය යුතු හෙයින් ගීතයක් පටිගත කරගෙන විත් භාරදෙන ලෙස සිරිල් පී. ජෝතිට දැන්වූයේ ය. ගීතයක් පටිගත කිරීමට තරම් මුදලක් එවකට ජෝති අත නොතිබූ හෙයින් මෙහි දී පිහිටට ආවේ ස්ටැන්ලි ඕමාර් සංගීතවේදියා ය.

jothipalaඔහුගේ උපකාරයෙන් ජෝතිගේ සිහිනය සැබෑ විය. ‘සුරතලී’ චිත්‍රපටය උදෙසා ජෝති ගීත කිහිපයක් ගැයුවේය.

සංගීතඥයා ගීතයක අදාළ තනුව එක්වරක් කියා දුන් කල්හි ස්වකීය දෙසවනෙන් අසා තනුව හොඳින් ග්‍රහණය කර ගැනීමේ සහජ ඥානය ඔහු සතුව තිබිණ. සහජ ප්‍රතිභාව නොමැති නම් සංගීතය කෙතරම් ගැඹුරු ලෙස හැදෑරුවද කිසිවකුට ශ්‍රේෂ්්ඨ ගායකයකු විය නොහැකිය. ජෝතිට එම ජන්ම ප්‍රතිභාව තිබූ නිසා ශාස්ත්‍රීය සංගීතය යම් පමණකට හෝ හදාරන්නට තිබුණේ යැයි විටෙක මට සිතෙන්නේ ඔහු එබඳු දැනුමක් නොමැතිව ඇතැම් ශාස්ත්‍රීය ගීත ගැයූ විස්මයජනක ආකාරය සිහිපත් වන කල්හිය.

සිනමා ක්ෂේත්‍රය තුළ නිතරඟයෙන් ජෝති අත්පත් කරගත් ආධිපත්‍යය මර්දනය කරනු රිසි වූ ඇතැම් ඊනියා විචාරකයෝ ඔහුගේ ගායන ප්‍රතිභාව ගැන වචනයක් සඳහන් නොකොට හේ අනුකාරක, ඕලාරික, බොළඳ, හරසුන්, ග්‍රාම්‍ය අප්‍රබුද්ධ ගී ගයන ගායකයකැයි කියා හංවඩු ගැසුහ. මෙම හංවඩුව කෙතරම් දුර ගියේද යත් ජෝතිට ප්‍රබුද්ධ ශාස්ත්‍රීය ගීත ගායනා කළ හැකිද? යන පැනය 70 දශකය වන විට මතු වි තිබිණ. ජී. එස්. බී. රාණි පෙරේරා ගුවන් විදුලියට නිෂ්පාදනය කළ ‘පුබුද්ධ ගී’ වැඩසටහනේ ගීත ගැයීම සඳහා ජෝති තෝරා ගත් අවස්ථාවේ ඔහුට එබඳු ගීත ගැයීමට හැකිදැයි එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ද, ස්වරණමය යුගයක් එහි ගොඩනැගුවා වූද රිජ්වේ තිලකරත්න මහතා ඇසුවේය. පසුව එම වැඩසටහනට ජෝති ගැයූ ගී ඇසූ රිජ්වේ විස්මයට පත් වෙමින් ඔහුගේ ප්‍රතිභාව අගය කළේය.

jothipalaඔහු ගැයු චිත්‍රපට ගීත සංඛ්‍යාව දහසකට අධිකය. කැසට් පට 102 ක් සඳහා ජෝති ගීත 1222 ක් පමණ ගයා ඇත. ‘ජෝතිට ලංකාව කුඩා වැඩියි. ඔහු ඉපදෙන්නට තිබුණේ භාරතයේ’ යැයි 1980 දී මෙරටට පැමිණ ජෝතිගේ ගීත ඇසූ මොහොමඩ් රාෆි පැවසුවේය. එදා මෙදා වැඩිම ලාංකික චිත්‍රපට ගණනක ගීත ගයා ඇත්තේ ජෝතිය. මවිසින් 2005 දී පළ කරන ලද ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ කෘතියට ඇතුළත් කරනු සඳහා ඔහු ගී ගැයූ සම්පූර්ණ චිත්‍රපට නාමාවලිය මම සකස් කළෙමි.පැරැණි මුලාශ්‍ර යළි යළිත් පරිශීලනය කරමින් ඒවායේ නිවැරැදිභාවය වඩාත් තහවුරු කර ගනිමින් වසර දහයක කාලයක් පුරා මෙම නාමාවලිය නිවැරැදිව සකස් කිරීමට මම වෑයම් කළෙමි. ඒ අනුව චිත්‍රපට 330 ක ජෝතිපාලයන්ගේ පසුබිම් ගායනා ඇතුළත් විය.

ජෝතිගේ නාමයෙහි එච්.ආර්. යනු හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ්ය. එහෙත් මට සිතෙන්නේ එයින් අර්ථවත් වනුයේ හැමදා රැව්දෙන ජෝතිපාල යන්නය.

නුවන් නයනජිත් කුමාර

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!