දික්කසාදය

divorceඇස් දෙක වගේ නුඹ රැක ගන්නම් කියලා
නෑදෑ සනුහරේ මැද පෝරුවේ තියලා
කැන්දාගෙන ඇවිත් කරකාරෙට බැඳලා
උන්නා නොවේද සත් වසරක් මගෙම වෙලා

පොඩි පුතු නුඹ වගේමයි නෑ කිසි වෙනසක්
දෝණිගේ ලෝකයේ නම් නුඹ වෙයි රජිඳෙක්
මේ ලොව නොවේ ඔබ හා සම වන සැමියෙක්
කුලගෙය රජ ගෙයක් විය එහි නෑ සැකයක්

මා පිසු බත් පතේ රස අඩු වුනාදෝ
කාලය සමග ආලය ගිලිහුනාදෝ
ඈ සතු කවර ගුණයට රැවටුනාදෝ
කුලගෙය ගිනි තබා කොහි ඉගිලුනාදෝ

දින සති මාස ඔබ ළඟ නැතිවම ගෙවුනා
ඔබ කොහි වේද දරුවන් නිරතුරු තැවුනා
අඟ හිඟ තැවුල් ඇවිදින් ගෙය වෙත එබුනා
කණකර එකින් එක උගසට ගොස් තැබුණා

ඉන්නා තැනක් දැන ගත් හැටි අහම්බයක්
දැම්මේ නඩුව ගනු පිණිසයි නඩත්තුවක්
නොපැමිණි නිසා අර ගත්තේ වරෙන්තුවක්
දරුවන් නමිනි මා දැම්මේ මාන්චුවක්

කෙස් පැලෙනා තර්ක දැම්මත් දෙපැත්තම
එක්කරලන්න හැකි වේවිද බිඳුණු පෙම
කුසගිනි නිවන්නට කිරි නැත වැරුණු ලැම
දරුවන් හඬන විට රහසෙම හඬමි මම

දරුවන් නමින් දෙන රුපියල් පන් දහස
ගන්නට උසාවිය වෙත යමි වී වෙහෙස
ගෙවුනත් එකින් එක දින, සති හා මාස
මුදලින් ඔබේ අඩු පුරවන්නේ කෙලෙස ……….

 

නීතීඥ ගයනි දික්කුඹුර ගේ පබැඳුමක්

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී.)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.