පරම අණු නොහොත් පරමාණු – කෙටිකතාව

atomදුෂ්මන්ත සිටියේ තමන්ගේ අලුත් වීරයා දෙසට ඔලුව නවාගෙන. එහෙන් මෙහෙන් ගැජට් කෑලි ඉලිප්පුණු අඩි හයක් හෝ හතක් හෝ උසැති බම්බුවක් වගේ තමා මේ වීරයා දිස්වුනේ. බැලු බැල්මට නම් රොබෝවක් වගෙයි. ඒත් මේක රොබෝවක් නෙවේ වැඩි දියුණු කරලා හදපු මයික්රොස්කෝපයක්. එහි දකුණු පස ඇති කුඩා යකඩ දොරටුවෙන් ඉවතට ඇදිය හැකි ලාච්චුවක් තියෙනවා. පරික්ෂා කිරීමට ඇති පටක සාම්පලය ඒ ලාච්චුව මත ඇති විශේෂ වීදුරු රඳවනයක් මත තියෙනව . ඉන් පස්සේ ලාච්චුව ඇතුළට තල්ලු කර යකඩ දොරටුව වසනවා. දොරටුව ආසන්නයටම වෙන්න තියෙන ස්විචය දමා ආලෝකය ලබා දෙන ලාම්පුව දල්වනවා. ඒ ලාම්පුව පිටතට පේන්නේ නැහැ.

ඇස් දෙක ගාවම තියෙන්නේ අඟල් තුනක් හෝ හතරක් හෝ දිග කළු පැහැ යකඩ බම්බු දෙකක්. ඒ දෙකේ කෙලවර තියෙන්නේ කාච දෙකක්. කාච දෙකට ඇස් දෙක තියල ඇතුළට දමපු පටක සාම්පලයේ ක්ෂුද්ර විස්තර පරීක්ෂා කරතහැකි. ඒත් දුෂ්මන්ත ඒ පැරැණි ක්රමයට ආස වුණේ නෑ. පරීක්ෂා කිරීමට ඇති පටක සාම්පලයේ විස්තර සියල්ල මයික්රොස්කෝපයට ඉදිරියෙන් ඇති තිරයක් මතට ප්රක්ෂේපණය වන ක්රමයටයි ඔහු ආස වුණේ. එහෙත් දුෂ්මන්ත අන් මත ද ඉවසන බැවින් කාච වලට ඇස තබා පරීක්ෂා කිරීමේ ක්රමය ද මේ මයික්රොස්කෝපය නිර්මාණය කිරීමේ දී එකතු කළා .
‘මම දන්නව උඹ මට උදව් කරනවා කියල’ අකිල දුෂ්මන්තගේ ඇඳෙන් වාඩි වෙන ගමන් කිව්වා.

‘ඒත් මට සල්ලි වැදගත් නෑ ‘ දුෂ්මන්ත කීවේ මයික්රොස්කෝපය දිහා බලගෙනමයි.

‘උඹට සල්ලි වැදගත් නෑ .ඒක මම දන්නව . ඒක මම දන්නෙ පොඩි කාලෙ ඉඳන්මයි .උඹ දක්ෂයෙක් . උඹට ඕනේ ලෝකෙට දෙයක් දෙන්න. නිකම්ම දෙයක් නෙවෙයි. ලෝකේ වෙනස් කරන්න පුළුවන් දෙයක් දෙන්න. ඒක උඹ කවදහරිම කරනව .’

මෙතෙක් වේලා පැවති අන්ධකාරය බිඳිමින් කාමරයේ විදුලි බල්බය දැල්වූ දුෂ්මන්ත අකිල දෙස එක එල්ලේ බලා සිටියා . අකිල ඇඳෙන් නැගිට ගොස් දුෂ්මන්ත ගේ උරහිස් වලින් අල්ලාගෙන ඔහුගේ මුහුණට එබුනා.

‘කවදාහරි නෙවෙයි. උඹ දැනටමත් ඒක කරල. මේ වගේ දෙයක් මම කවදාවත් කොහෙදිවත් දැකල නෑ .උඹ දිනනව බං . ඒක මට ෂුවර්. උඹ දිනනව .උඹ සල්ලි ගහක්ම ලැබේවි.’

දුෂ්මන්ත අකිලගේ ග්රහණයෙන් මිදිල මයික්රොස්කෝපය දෙසට ගියා.

‘මේක පිටින් බැලුවම නිකන්ම නිකන් මයික්රොස්කෝපයක්. මේකෙන් කරන්න පුළුවන් දේයි මට මේකෙන් කරන්න ඕන දේයි විතරයි වැදගත් කමක් තියෙන්නෙ .’ දුෂ්මන්ත කිව්වා .

‘මට ඕවා තේරෙන්නේ නෑ . මම උඹ තරම් ඉගෙන ගෙනත් නෑ . මම දන්නේ මෙච්චරයි. මට සල්ලි ඕනේ . නැත්නම් උන් මාව මරයි. මාව බේරගනින් . උඹට විතරයි ඒක කරන්න පුළුවන්. මාව බේරගනින් ‘

අකිල දුෂ්මන්තව බදාගෙන වැලපෙන්න පටන් ගත්ත. ඒත් දුෂ්මන්ත ලේසියෙන් හැගීම්බර වෙන කෙනෙක් නොවෙයි. අකිලගේ දෑස් වලින් රූ රා වැටෙන කඳුළු බිඳු දුෂ්මන්ත හැඳ සිටි කමිසයේ විවරය තුළින් පපුව දිගේ බේරෙන්න පටන් ගත්ත. පපුවේ වූ රෝම මත දැවටුණු ඒ කඳුළු, මාර්ගය අවහිර වීම නිසා රෝම මතම වියලුනා .

අකිල එක්වරම සිහිසුන් වුණා . කපා හෙලන කෙහෙල් කඳක් මෙන් අප්රාණික වූ ඔහුගේ දේහය බිම ඇද වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී දුෂ්මන්ත විසින් අල්ලා ගනු ලැබුවා .

‘අකිල..අකිල..මොකද වුණේ ?’

දුෂ්මන්ත අකිලව වත්තන් කරගෙන ගොස් ඇඳ මත හාන්සි කෙරෙව්වා .

‘අකිල..අකිල..’ දුෂ්මන්ත අකිලගේ කම්මුල් වලට සෙමින් තට්ටු කරමින් කතා කළා .

‘කලන්තේ දාන්න තරම් මොකක්ද බන් උඹට තියෙන ප්රශ්නේ.’
අකිල අමාරුවෙන් දෑස් හැරියා .

‘මනුස්සයෙක් කලන්තේ දැම්මම වතුර උගුරක් දෙන්න දන්නේ නැති එකාට මිනිස්සු කලන්තෙ දාන්නෙ මොන වගේ ප්රශ්න වලටද කියල තේරෙනවද බන් ‘
අකිල ඇසුවේ අප්රසාදයෙන් සහ කේන්තියෙන්.

‘කලන්තේ දාන හැම එකාටම වතුර දෙන්න හොඳ නැහැ බන්. දුෂ්මන්ත පැවසුවේ හැගීම් විරහිතවයි. අකිල එක්වරම නැඟිට ඇඳේ වාඩි වුණේ කිසිදු අපහසුවක් නොතිබුණු ගානට.

‘ඔව්. උඹ තමා ඔක්කොම දන්නේ. උඹට තමා ඔක්කොම තේරෙන්නේ. මයික්රොස්කෝප් මඟුලක් ගැන කොච්චර දැනගත්තත් මනුස්සකම මොකක්ද කියල උඹ දන්නෙ නෑ යකෝ. යාළුකම කියන්නෙ මොකක්ද කියල උඹට වැලි කැටයක් තරම්වත් තේරුමක් නෑ .’

‘උඹ මිනිස්සුන්ට කෝටි ගාණක් ණයයි කියල මට මොකක් කරන්න කියලද කියන්නෙ . ඒවා ගත්තේ උඹ .උඹ ඒවා ගත්තෙ උඹේ නාස්තිකාර ජීවිතේ අතෝරක් නැතුව පිස්සු නටන්න මිසක වැඩකට ඇති දේකට නෙවේ. ඒ ණය ගෙවන්න උඹම සල්ලි හොයාගනින්. මම මගේ දක්ෂතාවය සල්ලි වලට පාවල දෙන්නෙ නෑ ‘

අකිලගේ මුහුණ රත් පැහැ වුණා .අත් දෙක වෙවුලන්නට පටන් ගත්ත. එක්වරම හිතට ආ ආවේගයට දුෂ්මන්ත වෙත අතුල් පහරක් එල්ල කරන්නට සූදානම් වුවත් ඔහු ඒ හැගීම වහා යටපත් කරගත්ත.

මයික්රොස්කෝපයේ දකුණු ඇස් කාචය බහාලු කළු පැහැ යකඩ බම්බුවේ අපරිණත ලෙස ‘දුෂ්මන්ත’ ලෙස තීන්ත හුරා තිබු සළකුණක් තිබුණ. එය දුටු අකිල තම දෑස් ඒ දෙසට ලංකර ඒ කුඩා කළ තමන් විසින්ම කෙටුවක් යයි ප්රත්යක්ෂ කොට ගත්ත.
‘පර බල්ලා . උඹ පාහරය. මේ මගේ අත් අකුරු. උඹට කොයින් ද මේ යකඩ කෑල්ල මේකට දාන්ඩ අයිතියක් ආවේ ? මේක මගේ. දීපන් ඒක මට. දැන්ම දීපන්.’

‘අකිල උඹට පිස්සු හැදිලද?’ දුෂ්මන්ත ඇහුවේ වැඩි කලබලයක් නැතුවයි.
‘ඔව්. මට පිස්සු තමා. ගලවල දීපන්. උඹට මාව බේරගන්ඩ මෙච්චර අවස්ථාව තිබිලත් උඹ ඒක කරන්නෙ නැත්නම් මගේ කිසිම දෙයක් මේකෙ තියෙන්ඩ බෑ.’

‘මේක මළ වදයක් ඕයි.’ දුෂ්මන්ත පළමු වතාවට උස් ස්වරයකින් කතා කළා.
‘අන්න මරු ..උඹත් කෑ ගැහුවා ..’

කිසිවකට කලබල නොවන සුළු චරිතයකින් හෙබි දුෂ්මන්ත, කලබල වී කෑ ගැසීම ඔහුගේ ජීවිත කාලය තුළ සිදු වේ යයි නොසිතිය හැකි තරම්. තමන් විසින් ඔහුව ඒ විරල සංසිධ්දියට ඇද හෙලනු ලැබීම ගැන අකිලට ඇති වුණේ ආඩම්බරයක්. ලෙහෙසියෙන් හැගීම්බර නොවන්නකු හැගීම්බර වූ විට එදිනෙදා හැගීම්බර වන්නකුට වඩා හැගීම්බර වන බව අකිල අත්දැකීමෙන්ම දනී . එවැනි ප්රායෝගික අත්දැකීම් වලින් අකිල දුෂ්මන්ත ට වඩා ඉදිරියෙන් සිටී. මනුෂ්යයකු හැසිරෙන්නේ කෙසේද මනුෂ්යයකු තමන් වෙතට නම්මවාගන්නේ කෙසේද යන්න ඔහු ඉවෙන් මෙන් දනී.
‘හරි. දැන් මට කියපන් උඹට මොනවද මගෙන් ඕනේ.’

අකිල දුෂ්මන්තගේ මයික්රොස්කෝප් වීරයා දෙසට සෙමින් සෙමින් ගියා. ඔහුගේ මුහුණේ තිබුණේ කපටි සිනහවක්. ඔහු මයික්රොස්කෝපය මෘදුව පිරිමැද්ද.

‘මට ඕනේ සල්ලි විතරයි. උඹ උඹේ මේ අසහාය නිර්මාණය ඒ මිනිස්සුන්ට පෙන්නලා තරඟයෙන් දින්නට පස්සෙ ලැබෙන සල්ලි මට දීපන්. උඹ කිව්වනේ උඹට සල්ලි වැඩක් නෑ කියල. ඒ නිසා උඹට තෑග්ග විදියට ලැබෙන සල්ලි එපා කියන්නෙ නැතුව අරගෙන මට දීපන්.’

‘මේක අසහාය නිර්මාණයක් නෙවෙයි. මේ වගේ ඒවා ලෝකේ තව තියෙනවා කියල උඹ දැකල නෑ . ඒ නිසයි උඹ මේකට අසහාය නිර්මානයක් කියල කියන්නෙ.’

‘එහෙනම් මොන ලබ්බකටද යකෝ ලොකු ලොකු පොරවල් ඇවිත් ඉංග්රීසියෙන් සට පට ගාන්නෙ ? මේක අත ගගා ඉඳල යන්නෙ? උඹව බදා ගන්නෙ? සුබ පතන්නේ? උඹමයි කිවේ උන් විද්යාඥයෝ කියල. මොන හත්තිලව්වක් ද එතකොට ඒක. උන්ට ද පිස්සු උඹට ද පිස්සු නැත්නම් මට ද?

‘උඹට පිස්සුත් නෑ . ඒ අයට පිස්සුත් නෑ .’

‘එහෙනම් මොකක්ද උඹ කියන හතර බීරි කතාව? ‘

‘උඹ දැක්කේ ඒ මිනිස්සු මේක අත ගාන එක විතරයි. අත ගෑවේ මොකටද කියල දැක්කෙ නෑ . උඹ පරමාණුව ගැන දන්නෙ නෑ. ඒකයි ප්රශ්නේ.
දුෂ්මන්ත කිවූ දේ ඇසුණු අකිල මහා හයියෙන් සිනහ වෙන්නට පටන් ගත්ත. සිනහව කොච්චර ප්රබල වුනා ද කියතොත් තමන්ගේ බඩ ගැලවිලා විසිවෙලා යන්නට තරමේ වේදනාවක් අකිලට දැනුණා . ඔහු දිග හුස්මක් ගෙන නැවතත් සිනහ වෙන්නට පටන් ගත්ත. බිම පෙරලුනා . කාමරයේ බිම පුරා එහෙට මෙහෙට පෙරළි පෙරළි සිනහ වෙන්නට වුණා .

අවඥාව සිනහවෙන් ලාබ කොට පළ කර හමාර වූ තැන අකිල තම සිනහව මඳින් මඳ නවතා ඇස් දෙක පියාගෙන හති දමන්නට පටන් ගත්ත. පියාගත් ඇහි පියෙහි වූ රුධිරයෙන් පෝෂිත පටක රත් පැහැ ගැන්වී ඇස් බෝල තුළට දර්ශණය වුණා. ඒ කාමරයේ දැල්වුණු විදුලි බුබුලේ ආලෝකයෙන්. එහෙත් එක්වරම ඒ ඇහි පිය රත් පැහැය ද කළු වී අඳුරු වූයේ දුෂ්මන්ත විසින් කාමරයේ විදුලි බල්බය නිවා දමනු ලැබූ නිසයි. එක්වරම ඇහි පිය අඳුරු වූයේ ඇයි දැයි යන අනපේක්ෂිත සිතුවිල්ලකින් මනස පුරවා ගත් අකිල දෑස් හැර බැලුවා .

මුළු කාමරය පුරාම තිබ්බෙ එකම කළුවරක් . දුෂ්මන්තවත් මයික්රොස්කෝපයවත් කාමරයේ තිබූ වෙනත් කිසිවකුත් වෙන් කර හඳුනාගත නොහැකි තරමේ ඝන කළුවරක් මුළු කාමරයම වෙලා ගෙන තිබ්බා .

‘මොකද්ද වුණේ ? දුෂ්මන්ත කෝ උඹ? ‘ අකිල ඇසුවේ මුළු ලෝකයම තමා තනිකර දමා අතුරුදන් වූවාක් මෙන් හැඟවෙන දැඩි භීතියකින්.
එක්වරම කාමරයේ බිත්තිය ආලෝකමත් වුණා. මයික්රොස්කෝපය අසල සිටගෙන සිටින දුෂ්මන්තගේ ඡායාව ඒ ආලෝකයෙන් පැහැදිලිව පෙනුණා . අකිල සැනසුම් සුසුමන් හෙලුවේ ඒ දර්ශනය දුටුවායින් පසුවයි.

‘මොකද වුණේ ? කරන්ට් ගියාද ? ‘ අකිල ඇසුවා .
දුෂ්මන්ත කිසිවක් කිවුවේ නැහැ. ඔහු මයික්රොස්කෝපය ක්රියාත්මක කරවමින් හිටියේ. මයික්රොස්කෝපයේ මැද හරියේ වූ හතරැස් පෙට්ටියේ වම් පැත්තේ කුඩා රෝදයක් තිබ්බා. දුෂ්මන්ත ඒක කැරකෙව්වා. ඒත් එක්කම බිත්තිය මත ප්රක්ෂේපණය වුණේ සෛල සමුහයක දර්ශණයක් .
‘මොකක්ද ඔය?’ අකිල ඇහුවා .

‘මගේ ලේ ..’ දුෂ්මන්ත කිව්වා .

‘ඔය ලේ නෙවෙයිනේ. සෛල ගොඩක්.’

දුෂ්මන්ත කට කොනකින් සිනහවක් පා අකිල දෙස බැලුව.

‘ලේ වල සෛල තියෙනවා කියලත් උඹ දන්නව ඇතිනේ. ඒවා තමයි මේ ‘

‘හරි. හරි. දැන් මොකද්ද ඔය කරන්න යන්නේ?’

‘වටිනකම පෙන්නන්න යන්නේ.’
‘මොකක්ද වටිනාකම?’
අකිල සිටියේ කාමරයේ බිම වැඩි වෙලාමයි. ඔහු බිත්තියේ ප්රක්ෂේපණය වන දර්ශණ දෙස බලාගෙන සිටියා . දුෂ්මන්ත සෙමින් මයික්රොස්කෝපයේ රෝදය කැරකෙව්වා . එය මඳින් මඳ වාමාවර්තව කැරකෙත්ම මයික්රොස්කෝපය තුළ බහා ඇති පටක නියැදියේ සෛල වල විස්තර මඳින් මඳ විශාලව දර්ශණය වෙන්නට පටන් ගත්තා .

පටකයේ සෛලයක් වෙතට ගමන් කළ දර්ශණය ඒ සෛලයේ ඇතුළට රිංගා ගත්තා . ඉන්පසු එහෙ මෙහෙ කැරකි කැරකී රිංගා ගන්නට තවත් තැනක් සොයා මාන බැලුව .

‘න්යෂ්ටිය ද මයිටෝකොන්ඩ්රියාව ද? ‘ එක ළඟ න්යෂ්ටියක් ද මයිටෝකොන්ඩ්රියාවක් ද හසු වූ දර්ශණයක් පෙනුණු කළ දුෂ්මන්ත ඇහුවා .
‘ඕන මඟුලක්’

දුෂ්මන්ත න්යෂ්ටිය තුළට දර්ශණ පථය යොමු කෙරෙව්වා. න්යෂ්ටිය තුළට රිංගා ගත් දර්ශණය එකිනෙක මිශ්ර වී පැටලී නූල් බෝලයක් මෙන් ලිහා ගත නොහැකිව ඒ මේ අත පැද්දෙන වර්ණ දේහ දෙසට ගමන් කළා. දුෂ්මන්ත හිතු මනාපේ වර්ණ දේහයක් යයි සිතිය හැකි යමක් විශාල කළා . ඩී එන් ඒ අණුවක් දක්වාම විශාල කළා.

‘මොකක්ද ඔය ගුලිය?’
‘ඩී එන් ඒ ‘

‘යකෝ ඒක හරියට මනුස්සයෙකුගේ ඔලුවක් වගේනේ. හරියටම කියනවනම් පැට්රික් අයියගේ කඩේ ඉන්න කළු ඇන්ටිගේ ඔලුවේ හැඩේමයි තියෙන්නෙ.’ අකිල හිනා වුණා .

දුෂ්මන්ත තව තවත් ඩී එන් ඒ අණුව තුළට යන්නට පටන් ගත්තා. එවේලේ දර්ශණයට හසු වුණේ ඩී එන් ඒ අණුවක තිබ්බ සීනි අණුවක්. සීනි අණුව හැදිල තිබ්බ අණු ඔක්කොම අතරෙ එහෙ මෙහෙ සැරි සැරූ දර්ශණය ඉන් පස්සෙ සීනි අණුවේ තිබ්බ එක පරමාණුවක් අල්ල ගත්ත. ඉන් පස්සේ පරමාණුව ඇතුළේ සැරිසරන්න පටන් ගත්තා .

අකිල කටත් ඇරගෙන බලාගෙන හිටිය. ඔහු කවදාවත් දැකපු නැති දෙයක් තමයි එතැන ඔහු දැක්කේ . ඒත් අකිල දැක්කේ ගුලි ගොඩක් විතරයි. ගුලි අතරේ එහෙට මෙහෙට යන වලාකුළු වගේ දේවල් ටිකක් විතරයි. පරමාණුව මොකක්ද ප්රෝටෝනය මොකක්ද නියුට්රෝනය මොකක්ද කියල හඳුනාගන්න අකිලට හැකියාවක් තිබ්බේ නෑ .අකිලගේ කට ඇරිලා තිබ්බේ දර්ශණය එහෙට මෙහෙට දුව දුව කරන වික්රමය දැකීම නිසා මිසක් වෙන කිසිවක් නිසා නොවෙයි.

දුෂ්මන්ත පරමාණුක න්යෂ්ටිය වෙතට දර්ශණය ගෙනිච්චා. මීදුමෙන් පිරිච්ච දවසක එහා මෙහාවත් නොපෙනෙන ලෝකාන්තයේ කඳු ගැට්ට මත සෙමින් සෙමින් පය තබා ගමන් කරන්නාක් මෙන් දර්ශණය පරමාණුක න්යෂ්ටිය තුළට ගමන් කළා .ලෝකාන්ත කඳු ගැට්ට කෙළවරට එක්වරම එළඹ මුළු සිරුරම පොළවෙන් නිදහස්ව වායුගෝලයට වැටුණාක් මෙන් නිදහස් වූ දර්ශණයේ එක්වරම කිසිත් නැතුව ගියා .
‘කෝ ?’ අකිල ඇහුව.

‘මේ තමයි අන්තිම.’ දුෂ්මන්ත කිව්වා.
‘අන්තිම ඕක නම් උඹට මොන ඉටිගෙඩියක් වත් ලැබෙන්නේ නෑ.’ අකිල කිව්වේ තරහවත් සිනහවත් එකට කැටි කරගනිමින්.
‘ඒකට කමක් නෑ ‘ දුෂ්මන්ත කිව්වා.
‘ප්රයිස් එකක් ලැබෙන්න නම් අන්තිමට දෙයක් තියෙන තැනින් නවත්තපන්’
‘මොකක්?’ දුෂ්මන්තගේ ඇස් උඩ ගියා.

‘ඔව් . මෙතන කිසි දෙයක් නැතුව හිස් බිත්තියකට මයික්රොස්කෝප් එකේ ලයිට් එක හතරැස් වෙලා වැදිලා තියෙනවා බලන්ඩ කවුද යකෝ ප්රයිස් දෙන්නේ?’ අකිල කීවේ මයික්රොස්කෝපයත් බිත්තියේ ප්රක්ෂේපිත හතරැස් ආලෝකයත් දෙස මාරුවෙන් මාරුවට බලමින්.
‘ඒත් කමක් නෑ. මට මේක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්නෙත් නෑ .’

‘උඹට බැරි නම් මම වෙනස් කරන්නම් . කෝ පෙන්නපන් මැග්නිෆයි කරන රෝදේ.’ අකිල කිව්වේ පොළවෙන් නැගිටින ගමන්. ‘අන්තිම පොඩිම පොඩිම පොඩිම අංශුව පෙන්නන තැනින් ඔය රෝදේ නවතින විදියට හදන්න ඕනේ. එතනින් පස්සෙත් කරකැවුනොත් වැඩේ කෙළ වෙනව. දීපං .’
‘අත තියන්ඩ එපා ඕකට. ඕක මමයි හැදුවේ. මටයි අයිති. උඹ වැඩක් බලාගෙන පලයන් ‘

‘මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවද නැද්ද කියන එක රැඳිලා තියෙන්නේ රෝදේ කැරකෙන තැන මත. ඉඩ දීපන්.’

අකිල රෝදය මත අත තිබ්බා. එවිටම දුෂ්මන්ත අකිලගේ උරහිසින් ඇද තල්ලු කළා. තල්ලු කළ වේගයට අකිල පසෙකට විසි වී බිම ඇදගෙන වැටුන . තරහින් ඇස් දෙක රතු වූ අකිල වහා නැගිට දුෂ්මන්තගේ කමිස කොලරයෙන් අල්ලාගෙන බඩට පා පහරක් එල්ල කළා. දුෂ්මන්ත අමාරුවෙන් බඩ අල්ලාගෙන බිමට පාත් වුණා. ඒත් එක්කම අකිලගේ පය අනපේක්ෂිතව මයික්රොස්කෝපයේ පතුලේ වැදුණා. සමබරතාවට බාධා පැමිණුනු මයික්රොස්කෝපය යහළුවන් දෙදෙනා මතට පාත් වෙන්නට පටන් ගත්තා. යකඩ වලින් සැදුණු මහත් බරක් ඇති එම මයික්රොස්කෝපය පළමුව අකිලවත් දෙවනුව දුෂ්මන්තවත් ලෙස දෙදෙනාම යට කරමින් බිමට පතිත වුණා.

සිහිසුන් වූ දෙදෙනාම මඳ වෙලාවක් හුස්ම ගත්ත. අකිලගේ හුස්ම පළමුවත් දුෂ්මන්තගේ හුස්ම දෙවැනිවත් නතර වුණා. දෙදෙනාගේම හුස්ම නතර වූ පසු මයික්රොස්කෝපයේ ප්රක්ෂේපණ ලාම්පුවත් නිවී මුළු කාමරයම අන්ධකාරයේ ගිල්ව ගත්තා.
නිමි
ලිව්වේ
ඉසුරු අංජුල පෙරේරා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.