ලිංගිකත්වයේ කඩතුරාව – 28ට බය ඇයි?

28 sinhala movie28 චිත්‍රපටයට ඒ නම යොදන්නට ඇත්තේ ඇයි? එය සුද්දිගේ වයස නොවේ. ඇගේ වයස අවුරුදු 38ක් බව චිත්‍රපටයේ කියවේ. මේ 28 අන් කිසිවක් නොව, ගැහැනියකගේ ඔසප් චක්‍රයේ දින 28 ය. ගැහැනියගේ ඔසප් චක්‍රයේ දින ගණනත්, චන්ද්‍රයා පෘථිවිය වටා වරක් කැරකෙන්නට ගත වන දින ගණනත් එකකි. චන්ද්‍රයා තමා වටා වරක් භ්‍රමනය වන්නට ගත වන කාලයත්, පෘථිවිය වටා වරක් පරිභ්‍රමනය වන්නට ගත වන කාලයත් දෙක ම එක ය. ඒ කියන්නේ චන්ද්‍රයාගේ දවසක හා අවුරුද්දක කාලය එක සමාන ය. ඒ නිසා අපට චන්ද්‍රයාගේ මතුපිටින් හැමදාමත් දකින්නට ලැබෙන්නේ එකම පැත්තක් පමණි. අනෙක් පැත්ත දකින්නට නම් අප අභ්‍යවකාශයට යා යුතු ය.

මිනිස් ජීවිතයත් එවැනි ය. අප දකින මතුපිට ජීවිතයට වඩා වෙනස් කතා රැසක් මිනිසුන්ගේ මනෝ ලිංගික ජීවිතවල තිබේ. එය දකින්නට නම් කලාව නම් අභ්‍යවකාශ යානයේ නැගී පිට සක්වලට ගොස් ජීවිත දෙස බැලිය යුතු ය.

ලංකාවේ අලුත් සිනමාකරුවන් පිරිසක් බිහි වී තිබේ. ඔවුන් චිත්‍රපට කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවන් නොව සම්මාන වෙනුවෙනි. ඔවුන් ලංකාවේ නරඹන්නන් වෙනුවෙන් නිර්මානය කරන්නේ භාණ්ඩ විකුණන වෙළඳ දැන්වීම් ය. මේ කුහක ප්‍රබුද්ධත්වය වෙනුවෙන් එතරම් ම කුහක වූ විචාරක කුලකයක් බිහි වී තිබේ. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චිත්‍රපට කිරීම අසීරු ය. ප්‍රසන්න ජයකොඩි ඒ අභියෝගය භාර ගත් අරගලකරුවෙකි.

සිනමාකරුවා සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් ම දායක විය යුතු නැතැයි තර්ක කරන්නට පුළුවන්කම තිබේ. එහෙත්, ආත්ම ප්‍රකාශනය, රසවින්දනය සමග ම සමාජය ඥානනය කිරීම හා වෙනස් කිරීම සඳහා උර දීම සමාජවාදී සිනමා භාවිතාවක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.

(28 චිත්‍රපටයෙන්) ලාංකීය සමාජය තුළ තවමත් විවෘතව කතා නොකරන ප්‍රශ්නයක්‌ වන ලිංගිකත්වය කෙරෙහි පවතින විචිකිච්ඡාව බය හා පවතින අර්බුද කාන්තා හිංසනය හා ව්‍යාජත්වය අනාවරණය කරනවා. ලිංගිකත්වය පිළිබඳ අප විසින්ම හදාගත්ත සීමා මායිම් හේතුවෙන් අපි අතරම තියෙන අපිම කතා නොකරන ප්‍රශ්න ටික අපේම චරිත ඇසුරෙන් කතා කරන්න පුළුවන් තැනක ඉඳන් හැම කෙනෙක්‌ එක්‌කම ගනුදෙනුවක යෙදෙන්නයි මම මේ නිර්මාණය තුළින් වෑයම් කරන්නේ.

– ප්‍රසන්න ජයකොඩි (පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී.)

28 sinhala movieප්‍රසන්නගේ තේමාවන් අතර ප්‍රධාන ම තේමාවන් දෙක වන්නේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයේ ගැටලුව හා ලංගික කුහකත්වයයි.
මීට දශක ගණනාවකට පෙර පවුල් සංවිධාන සංගමය විසින් නිෂ්පාදනය කරන ලද, අමරනාත් ජයතිලකගේ යුවතිපති චිත්‍රපටයේ තේමාව වූයේ ද මෙය ම ය.

එහෙත්, දශක ගණනාවකට පසු ද, තවමත් තත්වයෙහි වෙනසක් සිදු වී තිබේ ද? සුද්දිගේ මුවට නංවා තිබෙන පහත දැක්වෙන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රකාශ වන්නේ එයයි.

“අලුත් අච්චු පොත් හම්බ වුණාම අපි ඉස්සර වෙලාම පෙරලලා බැලුවෙ විද්‍යාව පොතේ අගට තිබුණු ප්‍රජනනය පාඩම. දැන් මට අවුරුදු 38ක්. තාමත් ඒ පාඩම මට උගන්වලා නැහැ.”

ලංකාවේ ගැහැනුන්ගේ මෙන් ම පිරිමින්ගේ ද ජීවිත කාලකණ්ණි වෙන්නට මූලික හේතුවක් වන්නේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයක් නැතිකම හා කුහක සදාචාරය බව ප්‍රසන්න ජයකොඩි සිනමාත්මකව සටහන් කරන්නේ නරඹන්නා ඒ ගැන ගැඹුරින් සිතන්නට පොළඹවමිනි.

මේ හේතු මත වැඩිපුර ම පීඩාවට පත් වන්නේ ගැහැනුන් ය. ලාංකීය සිනමාකරුවන් අත හරස්පද ප්‍රහේලිකා බවට පත් වී තිබෙන අධි යථාර්ථවාදී රීතිය ප්‍රසන්න ජයකොඩි සරල ලෙස මෙන් ම ඉතා නාට්‍යානුසාරීව ද ඉදිරිපත් කරයි. මෝචරියේ මිනී දමන ලාච්චු ඇතුළෙන් නාගරික බෝඩිං කාමරවල නවාතැන් ගෙන සිටින වැඩ කරන පංතියේ ගැහැනු ළමයින්ගේ හඬ එවැනි එක් නිදර්ශනයකි.

මිය ගිය සුද්දි මෝචරිය, මිනී පෙට්ටිය වැටුණු ඔය ඉවුර, මිනී පෙට්ටිය වැනි තැන්වල සිට අපට ඇගේ කතාව කියයි. එහෙත්, ඒ කතාවේ නො කියූ තැන් බොහෝ ය. ඒ කතා වැරහැල්ලේ හිදැස් එළලා ගැනීම ඔහු නරඹන්නාට පවරයි.

සුද්දි නො කියන කතාව ප්‍රසන්න අපගේ හදවත පාරනා ලෙස ඇසෙන්නට සලස්වන්නේ අැගේ නීත්‍යානුකූල සැමියා වන අබසිරිගේ පසුබිමින් ඇසෙන එක් වේදනාකාරී විලාපයක හා හිංසනයේ ශබ්ද ඔස්සේ ය. එය ඉතා උසස් සිනමාත්මක ශ්‍රව්‍ය භාවිතාවකි.

“අපි දෙන්න හනිමූන් එක ගත කළේ මහගෙදර ඉස්සරහ කාමරේ පොලු ඇඳේ. ලාම්පුව නිවලා, මෙට්ටෙ බිමට දාලා, අපි දෙන්න රඟපාන්න පටන් ගන්නකොට එළි වෙලා.”

ජනප්‍රිය ස්ත්‍රීවාදයේ සීමාවන් තුළ සිර නොවී මේ ඛෙදවාචකයේ පිරිමි පාර්ශ්වයේ හඬ වෙත ද සංවේදී වන්නට සමත් වීම ප්‍රසන්න ජයකොඩිගේ විශිෂ්ටත්වයයි.

“අබසිරි පළවෙනි වතාවට මගේ හෙලුව දැක්කෙ අවුරුදු 15කට පස්සෙ. ඒකත් මෝචරියෙ මිනී ලෑල්ල උඩදි.”

චිත්‍රපටය ආරම්භ වන්නේ පතලක වැඩ කරමින් සිටින අබසිරිට ඇසෙන්නට ඔහුගේ හවුල්කාර තරුණයා ස්ත්‍රියගේ හැට හතර මායං ගැන පොතක් බලාගෙන කරන විස්තරයකිනි. සමාජය මෙවැනි ගතානුගතික මිථ්‍යා භාර ගන්නේ හුදු සාහිත්‍යයක් ලෙස ම නො වේ.

අබසිරි යනු ජීවිතය විනිවිද දැකිය හැකි, අභියෝගවලට ද නො බියව මුහුණ දෙන වීර චරිතයකි.

“සුද්දිට අගෞරව කරන්නට හොඳ නැහැ,” යි ඔහු පුන පුනා කියන්නේ ඒ නිසා ය. එහෙත්, සුද්දිට පමණක් නොව, සමස්ත ස්ත්‍රී වර්ගයාට ම අගෞරව කිරීම, සිනා වීම, හූ කීම, නාන තැන්වලදී අඟ පසඟ දෙස බැලීම, එසේ බලා අසු වූ පසු ගැහැනියට ම වරද පැටවීම පමණක් නොව සමලිංගිකත්වය වැනි පිළි නොගත් ලිංගික චර්යාවන් වැනි දේ ද ගැමි සමාජයේ පමණක් නොව නාගරික සමාජයේ ද සුලබ ය.

“අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මිනිහෙකුට නම් බැහැ. මම මේ ඇත්තමයි කියන්නෙ.”
එසේ කියන්නේ සුද්දි වුව ද ඒ හඬ සිනමාකරුවාගේ ය.

සුද්දිගේ මිනිය ගෙදරට ගෙන එන විට මාමණ්ඩි එයට පිටුපා නාන කාමරය අසල සිටගෙන සිටින රූපරාමුව අති ප්‍රබල ප්‍රකාශනයකි. සුද්දිට ගෙදරින් යන්නට සිදු වන්නේ නාන කාමරයේ කවුළුවෙන් මාමණ්ඩි එබී බලා අසු වූ පසු ය. අපට ද ඒ කවුළුව තුළින් නානකාමරයේ වතුර මල පෙනේ. එහෙත්, එයට වැරදිකාරිය වන්නේ නාන කාමරයේ දොර වසාගෙන නිරුවතින් නෑ සුද්දි ය. නාන කාමර පමණක් නොව, නාන කාමර තුළ වුව නිරුවතින් නෑම අසභ්‍ය යයි සලකන සමාජ පවා ලංකාවේ තවමත් තිබේ.

ඊනියා නාගරික ශිෂ්ටත්වය හා මතුපිට සුන්දරත්වය යටින් තිබෙන්නේ අඳුරු මුළුවල තාප්ප, බිත්තිවලට මුත්‍රා කරන, ගංජා උරන, කසිප්පු බොන, ගණිකා වෘත්තියේ යෙදෙන අශිෂ්ට කාලකණ්ණිකමයි. චිත්‍රපටය පුරාම රූප රාමුවෙන් රාමුවට කලාත්මක අයුරින් චිත්‍රණය වන්නේ ඒ දිළිඳු සමාජයන්ගේ කාලකණ්ණිකමයි. චිත්‍රපටයේ සංගීතය මේ කාලකණ්ණිකමට යටින් ඉරක් ඇඳ පෙන්වයි.

චාරිත්‍රානුකූලව, අවසන් කටයුතුවලට පෙර මිනිය තනි කරන්නට දොරවල් වසන්නට තිබෙන නිසා දැන් යන්නැයි අබසිරි නරඹන්නාට කියයි. එහෙත්, චිත්‍රපටය එතැනින් අවසන් නො වේ. සුද්දි අපට වැදගත් පණිවුඩයක් දෙයි. එය කුමක් ද? ගැලවෙන්නට කලින් 28 අනිවාර්යයෙන් ම බලන්න. එය සුන්දර සිනමා කාව්‍යයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.