පිරිමින්ට අහු නොවන ගැහැණු ලෝකය

girlසාම්ප්‍රදායික මංගල ඇඳුමකින් සැරසෙන තරුණියක්ව මහලු ගැහැණියක් විසින් ඒ සඳහා සූදානම් කරවන්නේ, මංගල ආභරණ පැළඳවීමේ අර්ථයද එකින් එක පැහැදිලි කරමින්ය. ඒවායේ අර්ථයන් හරහා තරුණිය තම පැරණි පෙම්වතුන් සමඟ තිබූ සම්භන්ධතාවයන් වල ස්වාභාවය, ඒවා ඇගේ ජීවිතයට කල බලපෑම් සිහිකරයි. අවසානයේ ඇය සැබෑ ලෙසම යා යුතුව ඇත්තේ ඇගේ මංගල ගමන නොවේ.

සංවාදය අගෝස්තු දෙවෙනිදා ජාතික පුස්තකාලයේදී
ලංකා බණ්ඩාරනායකගේ ‘සම්ප්‍රදාය’ කෙටි චිත්‍රපටිය ඇමෙරිකාව, ඔස්ටි්‍රයාව, ඉන්දියාව සහ ප්‍රංශයේ කෑන්ස් කෝනර්
ඇතුළු ලෝකයේ විවිධ සම්මාන උළෙල නියෝජනය කළ අතර ‘කෑන්ස් කෝනර්’ නියෝජනය කළ ලංකාවේ පළමු
අධ්‍යක්ෂිකාව ලංකා බණ්ඩාරනායකය. වියානා වීඅයිඑස් උළෙල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික නිර්මාණය ‘සම්ප්‍රදාය’
කෙටි චිත්‍රපටියයි. අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ රැසක් ලබාගත් මෙම චිත්‍රපටිය පසුගිය සතියේ ඉන්දියාවේදී
තිරගත විය.

සම්ප්‍රදාය කෙටි චිත්‍රපටියේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ලංකා බණ්ඩාරනායක විසිනි. එහි රංගනයෙන්
අයිරාංගනී සේරසිංහ, කැලු ම් ගම්ලත් නිරූපණය කරන අතර සමීර ලක්මාල්, අරුණෝද් විජේසිංහ, නිලන්ත දහනා යක, කලණ ජයනාත්, අංජන ප්‍රේමනාත්, රජීව් ආනන්ද දායක වන අතර විශ්වජිත් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරයි. සංගීතය සුමුදු ගුරුගේ විසිනි. රුවන් මලිත් පීරිස් සහාය අධ්‍යක්ෂණයෙන්නිර්මාණයට දායක විය. රංගන සේනානායක කලාඅධ්‍යක්ෂණයෙන් දායක වෙයි.

‘සම්ප්‍රදාය’ චිත්‍රපටියෙන් කතාබහ කරන මාතෘකාව මොකක්ද?
ෆිල්ම් එකේ කතා කරන්නේ ගැහැනු පිරිමි අතර සම්බන්ධකම්වලදී තියෙන විසංවාදය ගැනයි. ගැහැනු අය සහ පිරිමි අය සමාජය දිහා බලන විදිය එකිනෙකට වෙනස්. ඒකෙ තියෙන විසංවාදය සහ ලංකාවෙ විවාහ චාරිත්‍රවල තියෙන නොගැළපීම ගැන කතා කරන්න මම උත්සාහ කරනවා. උදාහරණයක් විදියට කිව්වොත් මනාලියකගේ ආභරණවල සාම්ප්‍රදායික අදහස් ටිකක් තියෙනවා. ඒකෙන් සමාජයට දෙන්න හදන මතවාදය සහ විවාහ ජීවිතෙන් අපි බලාපොරොත්තු වන දේවල් එකිනෙකට පරස්පරයි.

‘සම්ප්‍රදාය’ කතා කරන මාතෘකාවට ඔබ පිවිසුණේ කොහොමද?
මුලින්ම මට අදහස ආවේ මගේ නංගි කෙනෙකුගේ විවාහයකදී. එදා පවුලේ වැඩිමහල් කෙනෙක් මනාලියගෙන් සමුගනිද්දී කීවේ විවාහ ඇඳුම් පැළඳුම්වලින් සංකේතවත් කරන්නේ මොනවාද කියන එක. මනාලියට අන්දවන්නේ පතිවතට අධිපති දෙවඟන පත්තිනි දේවියගේ ඇඳුම් පැළඳුම් කියලායි කියන්නේ. ඒ කතාව අහද්දී මට තේරුණේ, දැන් මේ කියන්නේ ඒ ඇඳුම්වලින් සංකේතවත් වෙන්නේ මේ විවාහක කාන්තාව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යනවා කියන එකයි. එහෙම නැත්නම් සැමියාගේ වහලියක් වෙනවා කියන එකයි.

ඔබේ බියට ඔබ කාන්තාවක් වීම කියන එක හේතුවුණාද?
ඔව්. කාන්තාවක් විදියට මේ වැඬේ කරන එක ලොකු අභියෝගයක්. විශේෂයෙන් මට බලන්න ඕනෑ වුණේ කාන්තා දෘෂ්ටියකින්. මුලින් මම හිතුවා තාක්ෂණික කණ්ඩායමට කාන්තාවන්ම පාවිච්චි කරන්න. විශේෂයෙන් කැමරාකරණය කාන්තාවකට බාරදෙන්න දැඩිව හිතාගෙන හිටියේ. මම දන්නා කාන්තා කැමරා අධ්‍යක්ෂවරියක් මුණගැහුණා උදව් ඉල්ලලා. ඇය මාව මඟහැරියා. මේ වැඬේට කැමති වෘත්තීය කාන්තාවන් හමුවුණේ නැති නිසා මට සිද්ධවුණා පිරිමි අයත් එක්ක වැඩ කරන්න. එයාලා මගේ වැඬේ දකින්නේ පිරිමි ඇහැකින්. සමහර තැන්වලදී එයාලාට මම කරන්න හදන දේ තේරුණේ නැහැ. ඒ වෙලාවට ඔවුන් තර්ක කළා මා එක්ක. සමහර කොටස් එයාලා කළේ ‘හරි, ඔයා කියනවා නම් අපි කරන්නම්’ කියන තැන ඉඳන්. මට කාන්තා දෘෂ්ටියෙන් සමහර දේවල් ෂූට් කරන්න ඕනෑ වුණා. ඒකෙදී විශ්ව මට කැමරාව දුන්නා ඔයා මේ ටික ෂූට් කරන්න කියලා. මම සිනමාවේ රාමු ගැන එතරම් දැනගෙන නොහිටියත් දන්නා විදියට කළා. ගෑනු අය එක්ක වැඬේ කළා නම් එයාට තේරෙනවා මම කියන්නේ මොකක්ද කියන එක. හැබැයි අපේ රටේ ගොඩක් වෙලාවට නිර්මාණ කරන්නේ පිරිමි. කාන්තාවන් ගැන කතාකරන නිර්මාණ පවා කරන්නේ පිරිමි. ගැහැනු ලෝකය පිරිමි නිර්මාණකරුවෙකුට අහුවෙන්නේ නැහැ. ඒ නිර්මාණවලින්ම ඒක පෙනෙනවා. එයාලා කියන එක නෙවෙයි ගැහැනු ලෝකය.

ස්ත්‍රීවාදයේදී ස්ත්‍රීන් මුලින්ම චෝදනාව එල්ල කරන්නේ පිරිමින්ට. ඔබ හිතන විදියට ගැහැනිය හිරකරන්නේ පිරිමියාද? ගැහැනිය වේදනා විඳින්නේ පිරිමියා නිසාද?
ඒක ඊට වඩා සංකීර්ණ තැනක තියෙන්නේ. පිරිමි තමයි මේක මෙහෙයවන්නේ. පුරුෂාධිපත්‍යය කියන ව්‍යුහය එක්ක ලොකු කාලයක් තිස්සේ සමාජය ඇවිල්ලා තියෙනවා. ඒක සමාජයේ කොටසක් වෙලා තියෙනවා. ඉතින් ගැහැනු අය පවා අපි මෙහෙම පීඩාවට පත්වෙන්න ඕනෑ කියන සීමාව හදාගෙන ඉන්නවා.

ගැහැනියගේ නිදහසට සීමාවක් තියෙන්න ඕනෑ කියලා සමහරු හිතනවා නේද?
කවුරුත් කාටවත් සීමා මායිම් දාගන්න ඕනෑ නෑ. සීමා ඕනෑ කෙනෙක් ඉන්නවා නම් එයා සීමා ඇතුළේ හිටියාට කමක් නෑ. ඒත් තව කෙනෙකුව සීමා කරන්න එයාට අයිතියක් නැහැ.

අවුරුදු විස්සකට ආසන්න කාලයක් වේදිකා නාට්‍යවල වැඩ කළ ඔබට, ඔබ ගැහැනියක් නිසා සීමා ඇවිත් තියෙනවාද? ඒ අත්දැකීම් නිර්මාණයට ආවේ කොහොමද?
ආ තරමක් සීමා ආවේ ගැහැනියක් නිසා තමයි. මම ඒවා චිත්‍රපටියටත් ගෙනාවා. අපි නව යොවුන් කාලේ අපි සුන්දර සිහින දකිනවානේ. හැම ගැහැනියටම ඉල්ලන දේ ළඟට ගෙනෙන සිහින කුමාරයෙක් ඉන්නවා. එයා අපට ඉල්ලන ඕනෑ දෙයක් දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි ඇත්ත ජීවිතයේදී ඒ සිහින කුමාරයාව මුණගැහෙන්නේ නැහැ. මට හම්බවුණු පිරිමි සහ ගැහැනු බොහෝ දෙනෙක් මම කවුද කියලා හොයාගන්න උදව් කරනවාට වඩා මාව කොටු කරන්නයි උත්සාහ ගත්තේ.

ඔබ නිර්මාණයෙන් විසඳුමක් යෝජනා නොකරන බව කීවා. ඔබේ පෞද්ගලික ජීවිතේදී ඔබ තෝරාගත්ත විසඳුම මොකක්ද?
මේ සීමාකිරීම් එන්නේ අපි ආදරය කරන කෙනෙකුගෙන්නේ. සම්ප්‍රදාය හැමදාම පවතිනවා. අපි වගේ කාන්තාවන් මුරණ්ඩු, නරක ගැහැනුන් විදියට ලේබල් කරනවා.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.