රන්මිණිතැන්නේ අභියෝගය ජයගත් පත්තිණි

sandaranjanaa“මල් මදනී ප්‍රේම යාදිනී
නිල් නයනී මධුර භාෂිණී
සදනී සාම සාදිනී
කෞමදී දේව දේහිණී
අඹ මලින් උපන්නී – ගිනි අසුන් දරන්නී
රඹ වනින් දිලෙන්නී – මල් යහන් තනන්නී
දිලින්දන් බිලින්ඳන් – ගිලනුන් රකින්නී
සිඟන්නන් යදින්නන් – රැජින්දන් කරන්නී
පත්තිනී… සලඹ පත්තිනී….
මල් පත්තිනී…. සිද්ධ පත්තිනී……”

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය තේමා ගීත අතරින් මතකයේ රඳවන එක් ගීතයක් ලෙස ගිනිය හැකි පත්තිනි ගීතයේ මධුර ස්වරය එකුන් විසි හැවිරිදි කෞමදී සදරංජනා නම් තරුණ කෙවිලියගේයි. තුෂාරි අබේසේකරගේ පදරචනය හා තනුවට සංගීතය නිර්මාණය කරන ලද්දේ මංජුල බණ්ඩාර නම් තරුණ සංගීතවේදියායි. කවදත් නවකයන්ට අතදෙන තුෂාරි අබේසේකර අධ්‍යක්ෂවරියට ‘පත්තිනි’ නිර්මාණය කිරීමට ආරාධනා ලැබෙන්නේ හිටි ගමන්මයි. ඒ හිරු රූපවාහිනි නාලිකාවෙන්.

“අපට වුවමනයි හොඳ ටෙලි නාට්‍යයක්. ඒක කරන්න ඕනෑ පත්තිනි කතාවෙන්.”

දිනක් හිරු රූපවාහිනියෙන් තුෂාරි අබේසේකරට කතා කරලා කිව්වා. ඒත් එකපාරට ම ඈ පුදුමයටත් පත්වුණා. ඒ ඔවුන් තමා වගේ අධ්‍යක්ෂවරියකට කළ ආරාධනාව ගැන. හිරු කියන වාණිජ රැල්ලට බරවුණු රූපවාහිනියකින් මෙවන් ආරාධනාවක් ඈ කිසිම දිනෙක බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් තුෂාරි අබේසේකර ඒ අභියෝගය භාර ගත්තා.

“ඔව්. මම ඒකට සූදානම්”

ඈ පැවසුවේ බොහෝ කල්පනාබරව. තුෂාරිට ‘පත්තිනි’ ටෙලි නාට්‍යයක් බවට පත් කිරීමට තිබුණේ බොහොම පුංචි කාලයක්. ඒත් ඈ ඒ කාරණය සැලකුවේ විශ්වයෙන් ඈට ලැබුණු තෑග්ගක් විදියට. ඒ ත්‍යාගය ඈ බොහොම සතුටින් භාර ගත්තා.

තුෂාරිගේ සිතේ පත්තිනි හා කාලි ගැන තිබුණේ වෙනස් ම අදහසක්. අනෙක් කාරණය නම් ඈට පත්තිනි හා කාලි කියන්නේ අමුතු චරිත නොවීම. ඇගේ කුඩා කාලය ගොඩනැඟෙන්නේ කොවිල් පරිසරයේ. කෝවිලයි ඇගේ පන්සල, පල්ලිය කියන හැමදේමත් වුණේ. පොඩ්ඩ එහෙ මෙහෙ වුණාම ඈ දුවගෙන ගිහින් කිව්වේ ඉස්කෝලේ දේවමෑණියන්ගේ පිළිමයට. නැත්නම් පත්තිනි හා කාලිට.

“මා ඔවුන් එක්ක මගේ ජීවිතය ගැන ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඒ නිසා කුඩා කාලයේ පටන් දේවමෑණියෝ, පත්තිනි මෑණියෝ, කාලිමෑණියෝ මට බොහොම ළඟ සිටින පිරිසක් ලෙසයි මා දුටුවේ. ඒ වගේ ම මා පත්තිනි ගැන සිතන්නේ මා වගේ ම තවත් කාන්තාවක් විදියටයි.”

තුෂාරි පත්තනි ගැන කිව්වේ එහෙම කතාවක්. ඒ හුරුපුරුදු බවට ළං වෙමින් ඈ පත්තනි සොයාගෙන ගියා. එවිටයි ඇයට මුණ ගැසෙන්නේ පත්තිනි, කාලි කියන්නේ එක ම කාන්තාවකගේ වේශයන් දෙකක් බව. ඒ ඔස්සේ සොයාගෙන සොයාගෙන ගියාට පසුවයි තුෂාරිට පත්තිනි නාට්‍යය පිටපතට අවශ්‍ය කළමනා මුණ ගැසෙන්නේ.

“පත්තිනි පිළිබඳ මෙතෙක් ලියැවී තිබෙන පිටපත් ලියැවී තිබෙන්නේ දේවමාතාව ඔළුවේ තබාගෙනයි. මා පිටපත ලිවීමේදී ඒ කාරණය ඔළුවෙන් ඉවත් කළා. ඇගේ තරුණ කාලයෙනුයි මා නිර්මාණය ආරම්භ කරන්නේ. ඒ වගේ ම විවාහයෙන් අනතුරුවයි ඈ දේවතාවියක් බවට පත්වන්නේ. ඈ පෙන්වන ලද පතිභක්තිය ඔස්සේ පත්තිනිය හෙවත් හොඳම පතිනිය බවට පත් වුණා කියලයි කියැවෙන්නේ. ඒ නිසයි අපේ රටේ කාන්තාව ඇතුළු බොහෝදෙනා පත්තිනිට ගරු කරන්නේ. ඇය බොහොම හොඳ ගුණාංග පෙන්වූ කාන්තාවක්. එහෙත් මා ඈ පිළිබඳ සොයාගෙන යනවිටයි දකින්නේ පත්තිනි කියන්නේ බමුණු කාලයේ ගොපලු පවුලක ඉපදුණු කාන්තාවක් බව. ඇගේ ඒ ජීවිතය පිටපතට මා ගෙනෙන්නේ මා සිතන ගොපලු පවුලක හැදුණු වැඩුණු දියණිය හරහායි. ඈ පෙන්වන ගති ලක්ෂණයි මා මේ නිර්මාණයට ගන්නේ. මුල්තැන දී ඇත්තේ ඈ කළ ප්‍රේමය හා ඇගේ ජීවිතය ගොඩනැඟෙන ආකාරයටයි. අපේ මිනිස්සු නොදැක්ක ඈ විසූ වටපිටාවටයි. ඒ පරිසරයේ විසූ මිනිසුන්ගේ ජීවිත, ඒ අතරේ ඈ ගොඩනැඟෙන විදිය හා ඒ මිනිසුන්ට ඈ පෙන්වූ දයාව, ඈ මොන විදියේ කාන්තාවක් ද? යන්න මේ නිර්මාණය හරහා විදහා දැක්වෙනවා. ඒ ඔස්සේ අපට පෙනෙන්නේ ඈ දේවත්වයට පත්වන්නේ අපූරු කාන්තා ලක්ෂණ ප්‍රකට කළ නිසා බවයි.”

මේ සියල්ල පවසන්න ඈ උපයෝගී කර ගන්නේ රූපය. කතා කරන රූප පෙළක් හරහා ඈ පත්තිනිව පුංචි තිරයට ගෙනාවා. ඒ රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ ඉඳගෙන. ටෙලි ගම්මානයේ රූගත කිරීම් කියලා කිව්ව විතරයි එක් එක් අය ඒ දර්ශන තල ගැන පැවසුවේ අසුබවාදී කතා.

“ඒ දර්ශන තලය හරිම කම්මැලියි. ඒකේ කරන්න බැහැ. ඒකේ හරියන්නේ නැහැ.”

ඒ වගේ කතාවලින් තුෂාරිව නතර කිරීමට බැරිවුණේ ඈ ඊට පෙරත් ‘පත්තිනි’ නාට්‍යයට දර්ශන තල සොයන්නට අනුරාධපුරේ විතරක් නොවෙයි ත්‍රිකුණාමලයෙත් ඇවිද්ද නිසා. ඈට මේ පසුතලය ගැන කිව්වේ ඇගේ කලින් නිර්මාණයක සිටි කලා අධ්‍යක්ෂවරයෙක්. තවත් කාලයක් දර්ශන තල සොයන්නට කාලය කාලය මරනවාට වඩා ඈ රන්මිහිතැන්න ටෙලි ගම්මානය තෝරා ගන්නේ හොඳට හෝ නරකට. ඒත් ගම්මානයෙදී ඈට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙන්නේ නොසිතුව ආකාරයෙන්.

“මේ වනවිට ටෙලි ගම්මානය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයකයි තිබෙන්නේ. එය මා දුටුවේ කඩා වැටෙමින්, දිරාපත් වෙමින් යන නගරයක් විදියටයි. එවැනි ස්ථානයක වැඩ කළ හැකි දැයි යන්න මට නැඟුණු මූලික ම ගැටලුවයි. ඒ අභියෝගය මා සාර්ථකව ජයගත් බව සිතෙන්නේ අද රූපවාහිනියෙන් පත්තිනි නරඹන විටයි. ඒ රූපරාමු දකින විටයි. එවැනි රූප පෙළක් මැවීමට මගේ කාර්මික ශීල්පීන් සියලුදෙනා ඇතුළු නළු නිළියන් හා එහි කාර්ය මණ්ඩලයත් මේ කටයුත්තට බොහොම උදවු කළා. ඒ ගැන මේ වෙලාවේ මා අනිවාර්යයෙන් ම සිහිපත් කළ යුතුයි.”

2008 වසර ඔක්‌තෝබර් මස 30 වැනි දින මුල්ගල තබා, 2010 වසර මාර්තු 31 දින එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන ලද සිනමා ගම්මානය නම් කර තිබුනේ “රන්මිණිතැන්න මහින්ද රාජපක්‍ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය” ලෙසයි.

එහි පළමු අදියරේ වැඩ කටයුතු සියල්ල නිමකිරීම සඳහා රුපියල් කෝටි හැත්තෑවක්‌ වැය වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එවකට ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල ප්‍රකාශ කර තිබුණි.

තිස්සමහාරාමය සහ කතරගම අතර අක්‌කර 235 ඇතුළත මෙම සිනමා ගම්මානය පිහිටා තිබේ. දැන් එහි අනාගතය අවිනිශ්චිතයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.