අධිකරණ නියෝග ඇත පොලිසිය ක්‍රියාත්මක නැත – අන්තරේ කොටුව දුම්රියපල ඉදිරිපිට මග අවහිර කරයි

saitm-colomboසයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (4) පවත්වන පාගමන මහජන පිඩාවක් ඇති නොවන පරිදි හා රජයේ කාර්යාලවලට ඇතුළු නොවන පරිදි සාමකාමිව පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරනු ලැබුවේ කුරුදුවත්ත පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සළකා බලමිනි.

පොලිසිය මෙම ඉල්ලීම කර තිබුනේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් වන සනත් බණ්ඩාර, විශ්ව ධනංජය ඇතුළු නව දෙනෙකුට එරෙහිවයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹට පැමිණෙන පාගමන කඩවත පොලිසිය ඉදිරිපිටින් ආරම්භ කල අතර එයට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද සහභාගී විය.

පොලිසියේ නිලධාරීන්ගේ ඡායාරූප ගත් මාධ්‍යවේදියකුගේ ජාතික හැඳුනුම්පත පොලිස් භාරයට
මාධ්‍යවේදියාගේ ජාතික හැඳුනුම්පත පොලිස් භාරයට ගැනීමට හේතුව වී තිබෙන්නේ පෙළපාලිය ඉදිරිපිටට පැමිණි බස් රථයක් නවත්වා එහි සිටි මගීන් බස් රථයෙන් බිමට බැස්වීමට පෑලියගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කටයුතු කළ ආකාරය ඡායාරූප ගැනීමයි. පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ගැනීමට නොහැකි බව කියමිනුයි අදාළ පොලිස් පරීක්ශකවරයා ඡායාරූප ගනිමින් සිටි අදාළ මාධ්‍ය වේදියාගේ ජාතික හැඳුනුම්පත පොලිස් බාරයට ගෙන තිබෙන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක්, ගුරු සංගම් හා වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් පට්ටිය හන්දියෙන් පාගමනට එක්වූ අතර මෙම පාගමනට සිසුන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ 3000 ක් පමණ එක්විය.

මහා මග හරස්කොට වේදිකාවක්
විවිධ පක්ෂ, සංගම් හා සංවිධාන 100 ක පමණ නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොටුව දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට මාර්ගයේ එක් තීරුවක ඉදිවුන වේදිකාවක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරනු ලැබූ ජන රැළිය සවස 5ට පමණ ආරම්භ විය.

අධිකරණ නියෝගය පොලිසිය විසින් අන්තරේ ක්‍රියාකාරින්ට පෙන්වයි – කිසිවෙකු භාර නොගනී
කොටුව අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගය කොටුව පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. ගෆාර් මහතා විසින් අන්තර් විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරින් පිරිසකට කියවා දෙනු ලැබුයේ මහජනතාවට පිඩාවක් වන අයුරින් විරෝධතා පැවැත්විය නොහැකි බව සඳහන්කරමින්ය. එහෙත් අධිකරණ නියෝගය එම ස්ථානයේ සිටි අන්තරේ ක්‍රියාකාරීන් කිසිවෙක් බාර නොගත් අතර පොලිසියට සිදුවුයේ එය පෙළපාළිය සමඟ ආ ලොරි රථයක් ඇතුළතට විසිකිරීමටයි.

අධිකරණ නියෝග ඇත – පොලිසිය ක්‍රියාත්මක නැත
මහජනතාවට සිදුවන පීඩාවන් තඹයකට මායිම් නොකරමින් විරෝධතාකරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිට හරස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම තුලින් ගම්‍ය වන්නේ අපරටේ පොලිසිය නිතිය හරියට ක්‍රියාත්මක නැතිද යන්න හෝ මිනිසුන් නීතියට ගරු නොකිරීමදැයි නොවැටහේ. නමුත් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැදී සිටිනා පොලිසිය සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වීම සම්බන්ධයෙන් වගකීමෙන් බැඳී සිටි. සාමාන්‍ය පුද්ගලයෙකුට අධිකරණ වරෙන්තුවක් තිබුනේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට මැලි නොවනා පොලිසිය රයන් ජයලත් අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය අධිකරණ නියෝග හැල්ලුවට ලක්කරන බවක් යමෙකුට පෙනෙන්නට හැකිය.

උදේ පාන්දරින් කොළඹට රැකියාවන් සඳහා බසයෙන්, දුම්රියෙන්, පෞද්ගලික වාහන වලින් පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ එකම පැතුම වන්නේ අන් කිසිවක් නොව ඉක්මනින් ගෙදර යාමයි. ඔවුන් කොළඹ පැමිණෙන්නේ වෙන අන් කිසිවක් දිනාගැනීමට නොව ජිවන යුද්ධය ජය ගැනීමටයි. අන්තරය විරෝධතා දක්වනුයේ පොදු අරමුණක් වෙනුවෙන් වුවද එයින් ඍජු ලෙසම පිඩාවට පත්වන්නේ මෙරට සාමාන්‍ය ජනතාවය.

විරෝධතා කරුවන්ගෙන් සිදුවන හිරිහැර සහ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිසි ලෙස පියවර නොගැනීම යන කාරනා දෙකේදීම දැඩි ලෙස පිඩාවට පත්වන්නේ අපේ රටේ පොදු මහජනතාව මිස අන් කිසිවෙක් නොවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.