උතුර උණුසුම් -එත් දකුණේ දෙමළ විරෝධය සිත් තැවුල් ගෙන දේ-සාමි නාදන් විමල්

WIMAL

 

යාපනය විශ්ව විද්යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්  උතුරත් දකුණත් යාවුණු ආදරණීය දේශයක් පිළිබඳව සිහින මවන්නෙකි.

ඔහු කථා කලා රාවය පුවත්පතට

 

 

වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දකුණේ පවතින සක‍්‍රියභාවය උතුරෙත් පවතිනවාද?

උතුරේ එහෙම නැහැ කියන්න බැහැ. උතුරටත් මේ ජනාධිපතිවරණයේ උණුසුම දැනෙනවා. යුද්ධය අවසන් වුණාට පස්සේ පවතින දෙවැනි ජනාධිපතිවරණය තමයි මේ. ඒ නිසා පළමු ජනාධිපතිවරණයටත් වඩා සක‍්‍රියභාවයක් අද උතුරේ පවතිනවා.

ඒක අපිට තේරුම් ගැනීමට පහසුයි. ඒ මොකද යුද්ධය කාලේ මේ රටේ පැවති සියලූ මැතිවරණ දකුණට කේන්ද්‍රීය වූ දකුණේ මැතිවරණයි. ඒක උතුර දැක්කේ නැහැ. උතුරට බලපෑවේ නැහැ. ඒත් අද තත්ත්වය ඊට හාත්පසින් වෙනස්. අද මැතිවරණ බලපෑම උතුරු-නැගෙනහිරටත් දැනෙනවා. එදා රට පුරා මැතිවරණ කිව්වාට ඒ කිසිම මැතිවරණයක් උතුරට බලපෑවේ නැහැ. ඒත් අද ඊට වෙනස්. අද දකුණට වගේම උතුරටත් මැතිවරණ දැනෙනවා.

උතුරේ කියවීමට අනුව මේ මැතිවරණය දකින්නේ කොහොමද?

යුද්ධයට පෙර පැවති සියලූ මැතිවරණ දකුණේ මැතිවරණ සිංහල-බෞද්ධ නායකයන් අතර මැතිවරණ. ඒක අදටත් එහෙම්මයි. කිසිම වෙනසක් නැහැ. එදත් දකුණේ ඡුන්දවල එකම ඉලක්කය වුණේ ජාතිවාදය. ඒක අදටත් එහෙම්මයි. කිසිම වෙනසක් නැහැ. ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් තොරම්බල් කරන්නේ, කේවෙල් කරන්නේ ජාතිවාදය. හොඳම ජාතිවාදී නායකයා කවුද කියන එක මත තමයි මේ රටේ දකුණේ නායකයා තීන්දු කරන්නේ. අන්න ඒ කියවීම උතුරේ හදවත්වල තියෙනවා. අපිට මේ මැතිවරණ හරහා කියවන්න දෙයක් නැහැ. ඒ තුළ තියෙන්නේ ජාතිවාදයම තමයි. සියලූ මැතිවරණ එදා වගේම අදත් දකුණේ සිංහල බෞද්ධ පාලකයා තෝරන මැතිවරණ බවට පත්වෙලා.

YALDEVI

 

 

දකුණේ දේශපාලනය පොරොන්දු මත යැපීම වැඩියි. අද උතුරේ තත්ත්වයත් එබඳුද?

උතුර-නැගෙනහිර නිතරම ස්ථාපිත වුණේ මතවාදී තලයකයි. ඒ අනුව ඡුන්දයටත් මතවාදී ස්වරූපය බලපෑවා. ඒත් අද දකුණේ පොරොන්දු දේශපාලනය උතුරටත් බලපෑම් කරනවා. ඒක එහෙම තමයි. අපි එහෙම නැහැ කියන එක අද වලංගු නැහැ. අද දකුණේ මෙන්ම උතුරේත් එකම දේශපාලන සංස්කෘතියක් ඇතිවෙමින් පවතිනවා. අද මතවාදී තලය වෙනස්වෙමින් පොරොන්දු දේශපාලනය හිස ඔසවන ස්වරූපයක් තියෙනවා.

මේ මොහොතේ දකුණේ දේශපාලන කතා ගැන උතුර සවිඥානකද? ඒ පිළිබඳ වටහා ගැනීම කොහොමද?

පැහැදිලිවම කියන්න ඕනෑ දකුණේ ප‍්‍රධාන දේශපාලන වේදිකා දෙකම එක විදියට අසරණ වූ තැනක් උතුර දකිනවා. ඒ තමයි ජාතිකවාදය කියන කාරණය. දෙපිලම පරිස්සම් වෙනවා මේ ගැන පරිස්සමට කතා කරන්න. දකුණේ තවමත් ජාතිකවාදය තමයි ප‍්‍රබලම සාධකය. මේ තත්ත්වයෙන් මිදෙන්න දෙපැත්තටම ඇත්තේ නොහැකියාවක් නෙමෙයි. ඔවුන් වැපිරූ ජාතිවාදය එහෙම නෙමෙයි කීම ඒ අයට දේශපාලනිකව අවාසියි. ඒක දකුණේ ප‍්‍රධාන දේශපාලන පිල් දෙකේම කතා තුළින් වැටහෙනවා. එතනදී උතුරට ලොකු කාර්යභාරයක් තියෙනවා. මම හිතනවා යුද්ධය අහවර නිසා දකුණේ ඇතිවන දෙයට නිහඬව සිටීම උතුර කළයුතු නැහැ. මොකද මේ මැතිවරණය උතුරට ඍජුවම බලපානවා.

විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් කිරීම දකුණේ ප‍්‍රධාන සටන් පාඨයක්. ඒක උතුරේ අවධානයට ලක්වෙනවාද?

දකුණ තුළ ඒක ලොකු කතාබහක් වුණාට උතුරට ඒක එතරම් තදට දැනෙන්නේ නැහැ. දකුණ තුළත් ආරම්භයේ කතාබහ එක වුණත්, ආණ්ඩුවේ වගේම විපක්ෂයේ මැතිවරණ වේදිකාත් දුවන්නේ ඒ කාරණා මත නෙමෙයි, ජාතිකවාදය මත කියන එකයි අපේ කියවීම. එදත් යුද්ධය දකුණේ කතාබහ. අදත් යුද්ධයම තමයි දකුණේ ලොකුම සටන් පාඨය.

දකුණේ යුද සැමරුම උතුරට දැනෙන්නේ කොහොමද?

ඉතාම අවාසනාවන්ත විදිහටයි. හැම ඡුන්දයකදීම දකුණ අවසානයේ නතර වෙන්නේ දෙමළ විරෝධය මතයි. දකුණ බලය ලබාගන්නේ, බලය පවත්වාගෙන යන්නේ, බලය ආරක්ෂා කරගන්නේ දෙමළ විරෝධය පෙන්නලා. දෙගොල්ලන්ම වෙනම රාජ්‍යය වගේ කතා කියනවා. හැමෝම දෙමළ ජනයා බිල්ලන් කරගෙන තමයි සිංහල ඡුන්ද ඉල්ලන්නේ. මෙතැනදී ආණ්ඩුව ඉදිරියෙන් ඉන්නවා.

යුද්ධයෙන් පසු දෙමළ දේශපාලන පක්ෂවල හැසිරීම කෙබඳුද?

යුද්ධය අවසන්වීමත් සමග දෙමළ දේශපාලන පක්ෂත් අර්බුදයක ඉන්නේ. මොකද සිංහල අයගේ බලපෑම නිසා මේ අයට එකරාශි වෙන්න බැරිවෙලා තියෙනවා. මේ කිසිම පක්ෂයක් යුද කාලයේදී බලවත් පක්ෂ නෙමෙයි. ඒ කාලයේ උතුරේ පැවති එකම බලය ආයුධ සන්නද්ධ පිරිසක්, සංවිධානයක් සතුවයි තිබුණේ. ඒ ආයුධ සපිරි අධිකාරියක් පවත්වාගෙන ගිය බලය අද පක්ෂවලට පවත්වාගෙන යන්න බැහැ. මොකද දකුණේ රකුසකු මවලා තියෙනවා. ඒ නැවත උතුරෙන් සන්නද්ධ පිරිසක් මතුවීම. මේ ප‍්‍රවාදය නිසා උතුර හැමදාම කොන් කරනවා. උතුර කොන් කිරීමේ අරමුණින්ම දකුණ ඉතා දැනුවත්ව කරන කැත දේශපාලනයක් විදියටයි මම මේ තත්ත්වය දකින්නේ. අද රටේ සියලූම තැන්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහිලා. ඒ තත්ත්වයෙන් උතුරටත් මිදෙන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උතුරට වගේම දකුණේත් ව්‍යාප්ත කළයුතු තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා.

උතුරේ ඡන්දය පවා මුදල් මත වෙනස් කළායැ’යි කතා දකුණේ පවතිනවා. එහි සත්‍යතාවක් ඇතැ’යි උතුර විශ්වාස කරනවද?

උතුරේ ඡුන්දය මුදල් මත වෙනස් කළාද සල්ලි දුන්නාද නොදුන්නාද කියන කාරණයට වඩා වැදගත් ඒ මොහොත තේරුම් ගැනීමයි. ඒ මොහොතේ උතුරේ බලය තිබුණේ සංවිධානයක් සතුවයි.
එහෙත් උතුරේ ජනයා කල්පනා කළේ එහෙමමයි කියලා අපිට කියන්න බැහැ. උතුරේ ජනයා විශ්වාස කළා වගේම, අදටත් විශ්වාස කරනවා අවබෝධතා ගිවිසුම් හරහා ඇතිවුණ දේශපාලන ප‍්‍රවාහය ඉදිරියට ගියා නම් මේ තරම් ජීවිත ප‍්‍රමාණයක් උතුරේ විනාශ වන්නේ නැහැ කියලා. එතැනදී එල්ටීටීඊ සංවිධානයේ දෙකඩවීමක් වුණා. එය ක‍්‍රමානුකූලව දුර්වල වන නිසා එම සංවිධානය දෙගිඩියාවකට ආවා. ඒ දෙගිඩියාවෙන් මිදෙන්න ඔවුන් ඒ මොහොතේ තීන්දු වෙනස් කළා. එතැන මුදල් ලැබුණු කාරණයක් ඇති. ඒත් ප‍්‍රධාන වශයෙන් වුණේ මතවාදය බිඳවැටීම ආරක්ෂා කරගැනීමයි.

 

 

141013171033_jaffna_train_512x288_bbc

දකුණේ ජනයාගේ දේශපාලන උනන්දුව කවුද ආණ්ඩුවෙන් විපක්ෂයට එන්නේ, විපක්ෂයෙන් ආණ්ඩුවට යන්නේ කියන කාරණයට ලඝුවෙලා. උතුරේ ජනයා ඒ ගැන උනන්දුද?

දකුණේ ආණ්ඩුවට, විපක්ෂයට යන-එන අය උතුරට අදාළම නැහැ. යම් යම් වෙනස්කම්වලට භාජනය වුණත්, උතුරේ තවමත් ප‍්‍රබලම සාධකය උතුර තුළ පවතින මතවාදී ස්වරූපයයි. උතුරේ ප‍්‍රධාන වෙනසට එයයි බලපෑම.

යුද්ධ කාලය සහ යුද්ධයෙන් පසු කාලය අතර පැහැදිලි වෙනසක් මේ සමාජය තුළ පවතිනවා. ඒ වගේම දකුණේ පවතින ප‍්‍රශ්න සියල්ල ඒ ආකාරයටත් උතුරටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. යුද්ධය උතුරත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. මේක බලහත්කාරයෙන් පැටවූ දෙයක්. ඒක යුද්ධය අවසන් වුණත් දකුණ තේරුම් ගත්ත බවක් පෙනෙන්නේ නැහැ. උතුරේ ජනතාව යුද්ධය මත ජීවත් වුණේ නැහැ. අද දකුණේ දේශපාලනය තුළ කට්ටිය එහාට මෙහාට පනින්නෙත් පැනලා කියන්නෙත් රට බේරගන්න කියලා. ජාතිවාදයමයි. දකුණේ දේශපාලනය කාගේ අතට ගියත් එය ඉතාම සුබවාදී වෙන්නෙවත් අසුබවාදීම වෙන්නෙවත් නැහැ කියන තැනයි උතුරේ ජනයා ඉන්නේ. ඒ වගේම එකම පාලනයක් එක දිගටම පැවතිය යුතු නැති බව උතුරේ ජනයා අත්දැකීමෙන්ම දන්නවා. එය කොයිතරම් අහිතකරද කියලාත් ඔවුන් දන්නවා. ඒ නිසා එකම විදිහේ පාලනයක් උතුරේ ජනයා පිළිගන්නේ නැහැ.

අද උතුරේ සංවර්ධනය උතුරේ ජනයා තේරුම් ගන්නේ කොහොමද?

සංවර්ධනය උතුරටත් දකුණටත් ගමන් කරන්නේ එකම ස්වරූපයකයි. ලොකු ව්‍යාපෘති මත තමයි සංවර්ධනය පවතින්නේ. ඒ සංවර්ධනය ගමන් කරන්නේ මහජන සුබ සිද්ධිය සඳහාමද කියන ප‍්‍රශ්නය තියෙනවා. උතුරේ සංවර්ධනය ගමන් කළ යුත්තේ උතුරේ ජනතාව ඉලක්ක කරගෙනයි. එය සාමූහිකව කළයුතු දෙයක්. එතැනදී උතුරු පළාත් සභාව අමතක කරලා මේ කටයුත්ත කරන්න බැහැ. ඔවුනුයි ඒ ප‍්‍රදේශයේ බොහෝ ගැටලූ, ප‍්‍රශ්න හඳුනන්නේ. අද ඔවුන් අමතක කරලා එක් පිරිසක් මහා ව්‍යාපෘති ලෙස කරන සංවර්ධනයක් තමයි අපට දක්නට ලැබෙන්නේ.

දකුණ මහා ඉහළින් යුද ජයග‍්‍රහණය තවමත් සමරනවා. මේක උතුර තේරුම් ගන්නේ කොහොමද?

ඒක උතුරු-නැගෙනහිරටම පොදු ප‍්‍රශ්නයක්. කවුරුහරි යුද ජයග‍්‍රහණය ඉහළ දමමින් පහත් කරන්නේ, පහළ දමන්නේ කාවද? සිංහලයා දින්නා නම් පැරදුණේ කවුද? මේ යුද ජයග‍්‍රහණ හරහා දෙමළ ජනතාව වහල් පිරිසක් බවට පත් කරලා තියෙනවා. කාවද පරාජය කළේ දෙමළ ජනයාවද? මේ සැමරීම්වලින් කියන්නේ ඒකද? අද විපක්ෂය පවා කියනවා 75%ක් යුද්ධ ඉවර කළේ ඒ අය කියලා. ආණ්ඩුව කියනවා නැහැ අපි. ඒ නිසා අපිට ඡන්දය දෙන්න කියලා. එතකොට අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් මේ අය පෙන්වන්නේ සමරන්නේ කාව ඇපයට අරගෙනද? උතුරේ ජනතාව නොවේද?

අපි දන්නවා 1988-89 කාලයේ දකුණේ කැරැල්ලක් මර්දනය කරනවා. හැබැයි ඒක අපි සාර්ථකව මර්දනය කළා කියලා සමරන්න දකුණේ දේශපාලකයන් බයයි නේද? ඒ ඇයි? ජවිපෙ විනාශ කළා කියලා දකුණ ඇයි සමරන්නේ නැත්තේ. අද ඒ පක්ෂය දේශපාලන ප‍්‍රවාහයේ ලොකු ගමනක් යනවා. එතකොට ඒ තත්ත්වය උතුරට වලංගු නොවන්නේ ඇයි?
ඒ වගේම අදටත් දකුණේ දේශපාලනය තුළ සූරියකන්ද මිනීවළ ගොඩ දානවා. ඒත් චෙම්මණි මිනීවළ වහළාම දාන්නේ ඇයි? ඒ වළවල් දෙකේම වැළලූණේ මිනිස්සු නෙමෙයිද?

දකුණේ ඡන්දයට උතුරට විශාල බලපෑමක් කරන්න පුළුවන් වෙයිද?

එහෙම කියන්න බැහැ. මොකද ප‍්‍රතිශතයක් විදියට ගත්තාම උතුරේ ඡුන්ද ප‍්‍රතිශතය ඉතාම අඩුයි. එය 5%ක් වගේ තරම්. එතකොට ඒක සුවිශේෂී වෙනසක් කළහැකි ප‍්‍රමාණයක් කියලා කියන්න බැහැ. හැබැයි දකුණේ මැතිවරණය කරට කර අහවර වුණොත් ඒ පොඩි ප‍්‍රතිශතය ලොකු බලපෑමක් කරාවි.

උතුරේ හමුදා පාලනය තවමත් එහෙමද?

යුද්ධය කාලේ තරම් නොවුණත් ඒ පාලනයේ වෙනසක් නැහැ.

යුද්ධයෙන් පසු උතුර ඔබගේ කියවීම අනුව කොහොමද?

අහිමිවීම් පිළිබඳ වේදනාව එහෙමම තියෙනවා. භෞතික පරිසරය වෙනස් වුණත් පරිබාහිරව උතුරේ ජීවිත වෙනස් වෙලා නැහැ. ඒවා අද අසරණ වෙලා අසරණ කරලා කිව්වොත් වඩා නිවැරදියි. දකුණ දකින වහල් පිරිස උතුරද කියන ප‍්‍රශ්නය උතුරට ඉතිරි වෙලා. දකුණ ජයග‍්‍රාහකයන් නම් පරාජිතයන් උතුරද කියන ප‍්‍රශ්නය ඉතිරි වෙලා. කොටින්ම විසඳුම් නැති ප‍්‍රශ්න ගණනාවක් ඉතිරි වෙලා. උතුර දකුණේ හපයක් වෙලා. දෙමළ ජනතාව කොන්වෙලා කියලා හිතෙනවා.

උපුටා ගැනීම – රාවය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.