කැප්පෙටිපොළ තවමත් ද්‍රෝහියෙක්

kappetipolaමෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ ලැයිස්තුව සංශෝධනය කොට සිදුවූ වරද නිවැරදි කිරීමත් සමඟම දේපළ ප්‍රශ්න පැනනැගිය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයෙන් විමසීමක් කල යුතුව ඇති බව සංස්කෘතික අමාත්‍යංශය පවසයි.

මෙරට ජාතික වීරයින් 19 දෙනකු දේපළ හා මුදල් පිළිබඳව ගැටලුවක් නිසා රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැති බව කී නියෝජ්‍ය ඇමැතිවරයා බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාවට 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත්‍රයෙන් මෙම ජාතික විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බව ද කීය.

රාජද්‍රෝහීන් ලෙස නම් කැර ඇති එම විරුවන් එයින් මුදවා ගැනීමට අධිකරණ අමාත්‍යංශය මැදිහත් විය යුතු බවද තෙවරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය. එහාට මෙහාට බෝල පාස් කරන්නේ නැතුව ඌව වෙල්ලස්ස පළාතේ රවුමක් ගසා අධිකරණ අමාත්‍යංශයෙන් නිසි උපදෙස් ලබා ගෙන මේ කටයුත්ත කඩිනම් කරන්නැයි මන්ත්‍රී බුද්ධික පතිරණ පැවසුවේය.

මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා මරණයට මුහුණ දුන් සැටි රචිත සිංහලේ දිවයින නම් ග්‍රන්ථය ඇල්ලේපොළ එච්. ඇම්. සෝමරත්න මහතා විසින් “සිංහලේ” නමින් පරිවර්තිත ග්‍රන්ථයෙන් උපුටාගන්නා ලද්දකි.

කැප්පෙටිපොල එතරම් උසස්‌ බුද්ධිමතකු ලෙස නම් දරා නොසිටි නමුදු කැරැල්ලේ පිළිගත් නායකයා ලෙස ඉංග්‍රීසීන් විසින් සලකනු ලැබීය. රාජ kappetipolaප්‍රතිරූපකයාගේ පළමු වැනි අධිකාරම් පදවිය පිළිගැනීමෙන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට විරුද්ධව කෙරුණු මේ සටනේ මූලිකයා තමා යෑයි ඔහු සැලකූ බව පෙනේ.

නීත්‍යනුකූලව පිහිටුවන ලද මහ රජතුමාණන් ගේ රජය පෙරළීම සඳහා යුද්ධ කිරීමේ චෝදනාවට මුහුණ දෙන පිණිස (1818 නොවැම්බර් මස 13 වෙනි දින) යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලද ඔහුට මරණ දඬුවම නියම විය.

මරණයට නියමව සිරගෙයි සිටියදී ඔහු බැලීම සඳහා ඔහුගේ ඉල්ලීම පිට බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි මාෂල් නම් ග්‍රන්ථ කර්තෘ කීප වරක්‌ ගියේය. ඔහු නිතරම පාහේ ක්‍රියා කළේ ශාන්ත භාවයෙනි. එක්‌ අවස්‌ථාවක ඔහු තම ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු අපිරිසිදු රෙද්ද විදහා පා මා ඇඳීමට පුරුදුව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නෙහි ය” යී සිනාසෙමින් කීය. කැරැල්ල ගැන කතා කිරීමට ඔහු අකැමැති නොවීය.

කරුණු දෙකක්‌ සම්බන්ධයෙන් තමා වැරදිකරු යෑයි ඔහු පිළිගත්තේය. පළමු වැන්න නම් ව්‍යාජ රජුගෙන් පළමු වැනි අදිකාරම් පදවිය පිළිගැනීමයි. දෙවැන්න නම් සැත්තැම්බර් මස 20 වැනි දිනට පෙර යුද්ධායුද භාර දෙන කැරලිකරුවන්ට සමාව දෙන බව ප්‍රකාශිත ප්‍රකාශ පත්‍රයක්‌ ප්‍රසිද්ධ කරුණු විට යටත් නොවීමයි. තම මරණ දඬුවම පිටුවහල් කිරීම බවට වෙනස්‌ කරනු මැනැවැයි ඔහු කීප වරක්‌ ඕනෑකමින් ඉල්ලා සිටියේය. මේ සඳහා සර් රොබර්ට්‌ බ්‍රවුන්රිග් ගෙන් ඉල්ලා සිටින සේ සෝවර්ස්‌ මහතාට දන්වනු මැනැවැයි ඔහු ග්‍රන්ථ කර්තෘට කීය.

දුකින් පිරී පවත්නා නමුත් ජීවිතය සුන්දර යෑයි ඔහු පැවැසීය. තමා අවාසනාවන්තයෙකැයි කතා බහේදී සඳහන් කළා නමුත් අවාසනාවන්ත තත්ත්වය තමා අනුගමනය කළ ප්‍රතිපත්තියේ හා එය අසාර්ථක වීමේ ප්‍රතිඵලයකැයි පිළිගැනීමට ඔහු මැළිවීය. ඔහු දෘඨ බෞද්ධයෙක්‌ වූයේ තම වර්තමාන දුර්භාග්‍යය අතීත භවයෙක කරන ලද පාපයෙහි ආදීනව යෑයි සැලකීය. මේ වූ කලී මේ ජීවිත කාලය තුළ කරන ලද වැරදි පිළිබඳව වගකීමක්‌ නැතැයි පැවසෙන විශ්වාසයකි.

දළදා මාලිගාවට

කැප්පෙටිපොළ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි නොවැම්බර් මස 25 වෙනි දින අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවා ගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළගේ ඉල්ලීම හා සර් රොබර්ට්‌ බ්‍රවුන්රිග් උතුමාණන් වහන්සේගේ අවසරය පරිදි සෝර්වර්ස්‌ මහතා දළදා මාළිගාවේ දී ඔහුට robert-brownriggමුණ ගැසිණි. භික්‍ෂූන් වහන්සේ අභිමුඛයෙහි වැඩ හඳින ගබඩාවේ එළිපත්ත මත දණගසාගත් නිලමේ තමා භික්‍ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුද පූජා වැනි තම ජීවිත කාලය තුළ කරන ලද ප්‍රධාන පුණ්‍ය ක්‍රියාද අනෙක්‌ ධාර්මික ක්‍රියාද විස්‌තර කළේය. ඊළඟට ඔහු ප්‍රාර්ථනා ඉදිරිපත් කළේය. එනම් ඊළඟ ආත්ම භවයේදී හිමාලය පර්වතයෙහිම උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම් වා යන්නයි.

අහසට දැමූ ගල් කැටයක්‌ නැවත පොළවට පෙරළා එන්නේ යම්සේද එසේම ඔබ කළ පින් මහිමයෙන් ඔබ ඊළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ඨ විපාක ලැබීම ඒකාන්තය” නිලමේ හා භික්‍ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය. මෙතෙක්‌ දණ බිම ඔබා සිටි නිලමේ නැගිට සෝවර්ස්‌ මහතා දෙසට හැරී “මගේ අවසන් පින්කමෙන් ලත් පිනින් කොටසක්‌ ඔබට අනුමෝදන් කරවමි.” කියා ඉණේ ඔතාගෙන සිටි තුප්පොට්‌ටිය ගලවා මාළිගාවට පූජා කොට එය අපිරිසිදු වැරහැල්ලක්‌ නමුත් “මා සන්තක එකම වස්‌තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ.” යෑයි සරදම් සහගතව පැවැසීය. ඉක්‌බිතිව ඔහු වද බිමට තමා හා කැටිව එන ලෙස සෝවර්ස්‌ මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස ප්‍රතික්‍ෂේප කරන ලදී.

අවසාන මොහොත

සිරකාරයෝ දළදා මාළිගාවට සැතපුමක්‌ පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි මධ්‍යස්‌ථානයට කැඳවා ගෙන යන ලද හ. මෙහිදී වතුර සපයන ලෙස හිරකාරයන් ඉල්ලා සිටින ලදුව එසේ කෙරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක්‌ ඉඩ දෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්‌ථාව සලසන ලදී. හිරකාරයෝ මුහුණ හා අත් දෝවනය කළහ. මෙයිනික්‌බිති කැප්පෙටිපොළ තම හිසකෙස්‌ හිස්‌ මුදුනේ කොණ්‌ඩයක්‌ කොට බැඳ කුඩ පඳුරක්‌ ළඟ වාඩිවෙමින් එය පා ඇඟිලි වලින් අල්ලා ගත්තේය. ඔහු ඉනේ රෙදි පටි අතරින් කුඩා බණ පොතක්‌ ගෙන ගාථා කීපයක්‌ කියවා එය එහි සිටි ස්‌වදේශීය නිලධාරියකුට දෙමින් (සෝවර්ස්‌ මහතා රජයේ ඒජන්ත තැන හා කැප්පෙටිපොළ ඌවේ දිසාවේ ලෙස) බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්‌ වූ මිත්‍රත්වය හා කාරුණ්‍යය පිළිබඳ කෘතඥතාව පූර්වක ලකුණක්‌ වශයෙන් එය සෝවර්ස්‌ මහතාට දෙන ලෙස කීය.

නිලමේ පාලි ගාථා ගයවමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක්‌ බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේ දී අරහං යන වචනය ඔහුගේ මුවින් පිටවිය. මෙය බුදුනට යෙදෙන නමකි. දෙවෙනි පහරින් ප්‍රාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේය. ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිත අනුව ළයමත තබන ලදී.

කැප්පෙටිපොළගේ හිස්‌ කබල ග්‍රන්ථ කර්තෘ විසින් එඩින්බරෝ නගරයේ කපාල ලක්‍ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලදී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.