මුලතීව් වන පෙත් දේශපාලන හිතවතුන්ට- පරිසර සංරක්ෂණ භාරය

mulathive

ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ කටයුතු මහවැලි අධිකාරියෙන් සීඝ‍්‍රයෙන් සිදු කෙරෙමින් පවති. මේ වන විට ප‍්‍රදේශ දෙකක මෙම වනාන්තර විනාශය සිදු කෙරේ. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුලතිව් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්සල් කන්ද ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 1000ක් පමණ අක්කර 25 බැගින් වූ කොටස්වලට වෙන් කර තිබේ. කෝකිලායි කලපුවට දකුණින් පිහිටි මේ වනාන්තර බිම් වාණිජ ඉඩම් ලෙස මහවැලි අධිකාරිය මගින් විවිධ පුද්ගලයන්ට හා සමාගම්වලට ලබා දී තිබේ.

 

mulathive map

හැලඹ වැව සිට කෝකිලායි කලපුව දක්වා පිහිටි තවත් වනාන්තර අක්කර 5000ක් පමණ මේ වන විට මහවැලි අධිකාරිය මගින් ඩෝසර් යන්ත‍්‍ර භාවිතයෙන් මාර්ග සකස් කර වනාන්තර කොටස් වෙන් කිරීම සිදු කර තිබේ. මෙම වනාන්තර ප‍්‍රදේශය ද අක්කර 25 බැගින් වූ වාණිජ ඉඩම් වශයෙන් හා කෘෂි අක්කරය වශයෙන් විවිධ පුද්ගලයන්ට හා සමාගම්වලට ලබා දීමට නියමිත ව ඇත.

මේ වන විට විශාල ශාක කපා ඉවත් කරමින් භූමිය සැකසීම සිදු කරන අතර කපා ඉවත් කරන දැවමය ශාක සියල්ල පුලූස්සා දැමීම ද සිදු කරයි.

මෙම සමස්ථ වනාන්තර පද්ධතිය සුවිශේෂී ජල පෝෂක ප‍්‍රදේශයකි. විශේෂයෙන් ම ඒදණ්ඩාවල ජලාශය හා ඒ ආශ‍්‍රිත වගුරු පද්ධතියේ පැවැත්ම පමණක් නොව කෝකිලායි කලපුව හා එක්වන ජනකපුර, වැලිආර හා මොරඔය යන දිය දහරාවන්ගේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මේ ප‍්‍රදේශය තුළ පුරාවිද්‍යාත්මක ව වටිනා ස්ථාන 10කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිහිටා තිබේ.

 

kokilaiw

මහවැලි එල් කලාපය ලෙස දැනට සංවර්ධනය කරමින් පවතින මේ සමස්ථ ප‍්‍රදේශය ම අලි – ඇතුන්, වලසුන් හා කුළු හරකුන් වැනි විශාල ක්ෂීරපායි සතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයකි. දැනට කුළු හරකුන් ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වූ වාස්ථාන අතුරින් එකක් ලෙස ද මේ වනාන්තර ප‍්‍රදේශය හැදින්විය හැකි ය.

 

xxxkokilai

මෙතෙක් ජනකපුර, හැලඹ වැව, තෙන්නමරම්වාඩිය, සිංහපුර වැනි මේ දැවැන්ත වන විනාශයට ලක් වන වනාන්තර ප‍්‍රදේශය ආශ‍්‍රිත ව පිහිටි ගම්මානවල අලි – මිනිස් ගැටුම නොමැති වීමට ප‍්‍රධාන හේතුව මෙම වනාන්තර පද්ධතිය ආරක්ෂිත ප‍්‍රදේශ ජාලයක් ලෙස එම සතුන්ට යෝග්‍ය වාසස්ථාන ලෙස පැවතීම ය. නමුත් මේ ආකාරයෙන් වනාන්තර පද්ධතිය එළිපෙහෙළි කිරීමත් සම`ග ම අලි – ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීමෙන් එම සතුන් ගම් වැදීමේ තත්ත්වයක් උද්ගත විය හැකි ය. ඊට වගකිව යුතු වන්නේ මහවැලි අධිකාරිය යයි.

.

 

 

සජීව චාමිකර

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.