භික්ෂුන් වහන්සේලාට දේශපාලනය අකැපද? – උඩකැන්දවල සිරිසරණංකර හාමුදුරුවෝ

udakandawala

බෞද්ධ යතිවරයාණන් වහන්සේලා දේශපාලනයට සම්බන්ධ විය යුතුද නැද්ද යන විවාදය මතුවෙන හැම මොහතකම අපේ පන්සලේ පොත් රාක්කයක්
මුල්ලේ තිබුන කහ ගැහුණු පුංචි පොතක් මතක් වෙනවා . ඒ පූජ්‍ය උඩකැන්දවල සිරිසරණංකර හාමුදුරුවෝ ලියාපු ‘සටනක සටහන්’ පොත.
බුදු දහම සහ ප්‍රගතිශීලි දේශපාලනයකොයි තරම් හොඳින් එකිනෙකට ගැලපෙනවද කියලා හාමුදුරුවෝ හරි අපුරුවට පෙන්වා දී තිබෙන්නේ තමන්ගේ ජීවිතයෙන්.
1943 ජුලි මස 3 වැනි දින ආරම්භ කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රථම සභාපතිවරයා වූයේ ද උඩකැන්දවල සිරි සරණංකර ස්‌වාමීන් වහන්සේ.

 

‘ඇත්ත’ පත්තරේ කතුවැකියක හාමුදුරුවන්ගේ සේවය අගය කරලා තිබුනේ මේ අකාරයට

“සරණංකර හිමි නාමය ශ්‍රී ලංකාවේ අනාගත සමාජවාදීන්ට පමණක් නොව ඉදිරි භික්ෂු පරපුරටද මාර්ගෝපදේශයක් හා ආලෝකයක් වනු ඇත’.
සරණංකර හාමුදුරුවන් ජීවිත ආද්ර්ශයෙන් කී දේ අපේ සමාජයට තේරුනාද කියන එක නම් තමත් ප්‍රශ්නයක්.

සුනිල් මිහිඳුකුල සිළුමිනට තැබූ සටහනින් 

පසුගිය සියවසේ මෙරට විසූ බහුජන හිතසුව පිණිස ක්‍රියාකළ වඩාත්ම ප්‍රගතිශීලි බෞද්ධ භික්ෂුව ලෙස මා දකින්නේ පූජ්‍ය උඩකැන්දවල සිරිසරණංකර හාමුදුරුවෝ උන්වහන්සේ මෙරට සිටි ප්‍රථම මාක්ස් – ලෙනින්වාදී බෞද්ධ යතිවරයාණන් වහන්සේ ලෙසද ඓතිහාසිකව හඳුන්වන්නට පුළුවන්.

1921දී අනගාරික ධර්මපාලතුමා සමඟ ඉන්දියාවට ගිය සරණංකර හාමුදුරුවෝ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයකුව විසුවා. ඉන්දියාවට යද්දී නැ‍වේදී ලද අත්දැකීමක් වරක් උන්වහන්සේ සිහිපත් කළා. නැවේ රෑ කෑමට තිබුණේ මස්. සරණංකර හාමුදුරුවෝ එය ප්‍රතික්ෂේප කරද්දී ධර්මපාලතුමා මෙසේ කියා සිටියා.

“කට වහගෙන කනවා ඕයි නොකියා”

මෙය එක්අතකට ධර්මපාල චරිතයේ එක් ස්වභාවයක් ද හෙළි කරන්නක් ලෙසද ගන්න පුළුවන්.

ඉන්දියාවේදී සරණංකර හාමුදුරුවෝ නිදහස් සටනේ නායකත්වය ගාන්ධි, නේරු සුභාෂ් චන්ද්‍රබෝස් සමඟ අධිරාජ්‍ය විරෝධී අරගලයට සක්‍රීයව දායක වෙනවා. එය සංකේතවත් කරන වැදගත් අවස්ථාවක් තමයි වේල්ස් කුමාරයා කල්කටාවට පැමිණි වෙලාවේ උන්වහන්සේ පිරිත් කීම ප්‍රතික්ෂේප කිරීම.

මේ අධිරාජ්‍ය විරෝධී සටන් නිසා සරණංකර හිමියන්ට ධර්මපාලතුමන් එක්කත් ගැටෙන්න පවා සිද්ධවුණා. ධර්මපාලතුමා කියා සිටියේ උන්වහන්සේ ඉංග්‍රීසින්ට විරුද්ධව වැඩ කරනවිට තමාටත් මහාබෝධි සමාගමටත් ඉංග්‍රීසි ආණ්ඩුව විරුද්ධකම් කළහැකි බවයි. මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට හාමුදුරුවෝ මහාබෝධියෙන් ඉල්ලා අස්වෙනවා.

අධිරාජ්‍ය විරෝධී සටන් නිසා ඉන්දියාවේදී සරණංකර හාමුදුරුවන්ට හිරේ විලංගුවේ වැටෙන්නත් සිද්ධවුණා. ධර්මපාලතුමා පැවදිව අපවත් වීමෙන් පස්සේ උන්වහන්සේගේ අවසන් කටයුතු සඳහා හාමුදුරුවෝ සහභාගිවුණේ හිරේ ඉද්දී.

මෙරට වාමාංශික ව්‍යාපාරයේ දැවැන්තයකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ වරක් ඉන්දියාවට ආ අවස්ථාවේ එතුමන් හඳුනාගත්ත සරණංකර හිමි 1936දී ලංකාවට එනවා.

“මම ධර්මපාලතුමා එක්ක ඉන්දියාවට ගියා. දොස්තරත් එක්ක ආපහු ආවා.”

උන්වහන්සේ වරක් එසේ කියා සිටියා. ලංකාවට ආපු සරණංකර ස්ථවිරයන් වාමාංශික ව්‍යාපාරයට බැ‍ඳෙනවා. 1939දී ලංකා සමසමාජ පක්ෂය න්‍යායික බෙදුණු අවස්ථාවේ පිහිටුවා ගැනුණු කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපති වන්නේ උන්වහන්සේ. බුද්ධාගම සමාජවාදයට සමීප දහමක් ලෙස සරණංකර හිමියන් සැලකුවේ. ප්‍රවීණ ලේඛකයකු වූ ඔරුවල බන්දුට කියූ දෙයක් ඔහු තම ලිපියක මෙසේ සඳහන් කර තිබෙනවා.

“ලෝකයට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි කිසියම් මිනිහෙක් හොඳ කොමියුනිස්ට්වාදියෙක්, සමාජවාදියෙක් වීම කියා මා සිතනවා. බෞද්ධයන් වන අපට සමාජවාදය කදිමට ගැළපෙනවා.”

(1988දී ‘දිනරැස’ පත්‍රයට ඔරුවල බන්දු ලියූ ලිපියක්)

සරණංකර හාමුදුරුවන් සමාජවාදියකු වීම, කොමියුනිස්ට්කාරයකු වීම අධිරාජ්‍ය ගැති ධනපති පන්තියේ බරපතළ වෛරයට හේතුවූවක්. ඒ පන්තිය පියදාස සිරිසේන වගේ ලේඛක ‍හෙංචයියලා ලවා උන්වහන්සේට අපහාස වන ලිපි ලියෙව්වේ ඒ නිසා. සිරිසේන උන්නැහේ විසින් උන්වහන්සේ හඳුන්වන ලද්දේ ‘උඩකැන්දවලයා’, ‘උඩකැන්දවලා’ යන ගර්හාත්මක වචනවලින්.

එය අපේ රටේ යටත්විජිත යුගය. බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ආණ්ඩුව ඉදිරියේ දණින් වැටුණේ. ‘සුද්දන් සරණං ගච්ඡාමි’ කියමින් දීන යටත්විජිත මානසිකත්වය උන්වහන්සේ මොවුන් වෙතින් හොඳහැටි අත්දැක්කා. වරක් ගම්පහ පැත්තේ එක්තරා පින්කමකට සහභාගිවූ අවස්ථාවක එතැන සිටි අය ජෝර්ජ් රජ්ජුරුවන්ට පින් අනුමෝදන් කොට රජ පවුලේ ගුණවයා සුබ පැතීමට තරම් පිරිහී සිටි බව සරණංකර හිමියන් එක්තැනක සඳහන් කර තිබෙනවා.

 

saranankara

පන්සිල්

 

ඇන්. ඇම්. හා කොල්වින් සමඟ මීරිගම පැවති රැස්වීමකට සහභාගි වූ සරණංකර හාමුදුරුවන්ව (උන්වහන්සේගේ කොමියුනිස්ට්වාදී බව නිසාම) ඇතැමුන් ප්‍රතික්ෂේප කළේ පන්සිල් ගැනීම වැළැකීමෙන්. එතැන සිටි එක්තරා මුස්ලිම් ජාතිකයෙක් ‘බුදුසාමි සරණං ගච්ඡාමි’ යැයි කියූ පසුවයි බෞද්ධ පිරිස පන්සිල් ගන්න පටන් අරන් තියෙන්නේ.

ඉංග්‍රීසි ආණ්ඩුව සරණංකර ස්ථවිරයන් වහන්සේ කොටුකරගන්න අවස්ථාවක් එනකං බලන් හිටියා. එය උදාවුණේ හික්කඩුව තිරණාගමදී කළ කතාවකින්. ඒ කතාව ඉංග්‍රීසි ආණ්ඩුව කෙරෙහි යටත්වැසියා කලකිරීමට හා භේද කිරීමට හේතුවී යැයි පාලකයන් කියා සිටියා. එහි ප්‍රතිඵලය උන්වහන්සේ දෙවසරකට සිරගතකරනු ලැබීම.

හිරගෙදරදී උන්වහන්සේගේ සිවුර ගැලවීමට නිලධාරින් තුච්ච උත්සායක් ගෙන තිබෙනවා. උන් කියා ඇත්තේ ‘රෙදි ගලවපන්’ කියායි. ඉන් කෝපවූ උන්වහන්සේ මෙසේ කියා ඇති බව සඳහන් වෙනවා.

“රාළහාමි මේවා රෙදි නොවේ. මේවා සිවුරු. මේවා ඇන්දේ බොහෝම ගරුසැලකිලි ඇතුව. මේවා ගලවන්නෙත් එවැනිම ගරු සැලකිලි ඇතිවයි. මේවා මංකොල්ලකාරයන්ගේ, වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට ගලවන්න බෑ.”

සරණංකර හාමුදුරුවෝ ලෝකප්‍රකට වුණේ න්‍යෂ්ටික බෝම්බය අත්හදාබැලීමට එරෙහිව නැගී සිටීම හේතුවෙන්. ඒ 1957දී උන්වහන්සේ දේශපාලන මෙහෙවර එහිදී ලෝක සාම ව්‍යාපාරය වෙතට යොමුවුණා. උන්වහන්සේට රුසියාවෙන් ලෙනින් සාම ත්‍යාගය ලැබුණෙත් ඒ මෙහෙවර අගයමින්.

සරණංකර හාමුදු‍රුවෝ ලේඛකයෙක් ලෙස ද ප්‍රකටව සිටියා. ‘නව ලෝකය’ සඟරාව සංස්කරණය කිරීමෙන් උන්වහන්සේ කළේ ප්‍රබල සමාජ දේශපාලන හා සංස්කෘතික සේවාවක්. මැක්සිම් ගෝර්කි‍ගේ ‘අම්මා’ නව කතාව පළමු‍වරට සිංහලට නැඟුවේ උන්වහන්සේ. මෙහි නව සංස්කරණයක් ගුණසේන විතානයන්ගේ කුරුලු ප්‍රකාශනයක් සේ පළව තිබෙනවා.

1966දී සරණංකර හාමුදුරුවෝ අපවත්වුණා. උන්වහන්සේ වැඩසිටි ගම්පහ කොස්පීල්ලෑව විහාරස්ථ භූමියේ (වාලුකාරාමය) ඉදිකළ සමාධියක ඇති පිත්තල මංජුසාවක උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙනවා. සමාධිය මත ලෝක ගෝලයකුත් ඒ මත ලෝහමය පරෙවි රුවකුත් දකින්න පුළුවන්.

සරණංකර හාමුදුරුවෝ තම අත්දැකීම් පොතකට ලියා තිබෙනවා. ‘සටනක සටහන්’ යන නමින් පළව ඇත්තේ ඒ පොත. උන්වහන්සේගේ 15 වැනි අනුස්මරණ අවස්ථාවේ ‘ඇත්ත’ පත්‍රය බොහෝම වටිනා කතුවැකියක් ලිව්වා. එය ලිව්වේ ‘ඇත්ත’ කතුවර බී. ඒ. සිරිවර්ධන. එහි එක් තැනක මෙසේ සඳහන් වුණා.

“අද අපේ බොහෝ වහන්දෑ පටු වෘත්තිය ක්ෂේත්‍රවල කොටුවී සිටිති. ඇතමුන් වහන්සේ කලාව අඹති, කරති, රැකෙති. තැනෙක තෙල් බෙහෙත් වෙළෙඳාම ගජරාමෙට කැරෙයි. කොඩිවින අණවින හූනියම් පමණක් නොව රතන සූත්‍රය විකිණිමද භික්ෂු ජාවාරම් අතර වේ. මේවායින් මුක්තවූ සිල්වත් කෙනෙක් දහම් පාසල් කරවති. සිල් ව්‍යාපාර, භාවනා ව්‍යාපාර කරවති. පෙර පටන් පැවත ආ ශාසනික අනුශාසනාවේ යෙදෙති. එහෙත් උඩකැන්දවල හිමියෝ බෞද්ධ භික්ෂුත්වය එයට වඩා පුළුල් ක්ෂේත්‍රයක ක්‍රියාත්මක කළහ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.