සුචරිත සර් නික්ම ගිහින් අවූරුද්දක්

Sucharitha  Gamlath – a year later after he has bid good bye 

sucharitha_gamlath1

සුචරිත සර් අපෙන් නික්ම ගිහින් අවූරුද්දක් ගෙවී ගිහින් .ඊයේ පෙරේදා වගේ.
සර් හරියට නිකං ප්‍රිස්මයක් වගේ එක එක කෙනාට පෙනෙ න්නේ එක එක විදියට .
සමහරුන්ට අංක එකේ උගතෙක් .
තවත් සමහරුන්ට  ඔල්මොර්න්දන් මාක්ස්වාදියෙක් .
තවත් සමහරුන්ට  කොක්කක්

වැඩිදෙනෙකුට සකලවිධ පීඩිතයන් වෙනුවෙන් විප්ලවකාරිත්වයේ අභීත හඬ නැගූ සහෘදයෙක් .

අපිට නම් හදවතට එකඟව ජීවත් වෙච්ච සුන්දර මනුස්සයෙක්  .

සර් නුවර ටවූම හරහා කඩිසරව ඇවිදගෙන යන හැටි මැවිලා පේනවා.
සර් වගේ උත්තමයෙක් දැන හැදින ගන්න  ලැබුන වාසනාව ගැන හිතලා සැනසෙනවා හැර කරන්න දෙයක් දැන් ඉතුරු වලා තියෙනවාද කියන එක සැකයි .
ජය සිරි   අලවත්ත හිතවතා තැබූ සටහනක් මේ

 

sucharitha3

ශතේෂු ජයතේ ශූරඃ

සහශ්‍රේෂ‍්‍ර ජායතේ පණ්ඩිතඃ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතාගෙන් අසා දැනගත් ඉහත ශ්ලොකයේ සරල සිංහල අරුත මෙසේ ය.

ඕනැම විෂයයකට දක්‍ෂ වූ යම් පුද්ගලයෙක් උපදී ද ඒ සියයට එකක් පමණි.

පණ්ඩිතයකු උපදින්නේ දාහකට එක් අයෙක් පමණි.

මේ කෙටි සටහන තැබීමට සූදානම් වන්නේ එබදු පාණ්ඩිත්‍යකින් හෙබි බහුශ‍්‍රැතයෙක් වෙනුවෙනි.

මා ඔහු හඳුනාගත්තේ, කියැවූයේ මීට වසර විසි අටකට පමණ පෙර සිට ය. එහෙත් ඔහු සමීපව ඇසුරු කිරීම ඇරඹියේ මීට වසර හයක පමණ සිට ය. එතැන් සිට මීට මාස හතරකට පමණ ඉහත කාලය දක්වා අවම වශයෙන් දෙමසකට හෝ තෙමසකට වාරයක් ඔහු මා සම්මුඛ වූවේ ය. ඒ සැම නිමේශයක ම ඔහුගෙන් ලද දැනුම මෙතෙකැයි කියා නිම කළ නොහැක. ඇතැම් අවස්ථාවන්හි දී මා ඔහු සම්මුඛ වන්නේ තවත් කිසිවකු සමඟිනි. ඔහු/ඇය සාහිත්‍යය කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයකු විය හැකිය. එසේත් නැත්නම් වෛද්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයකු විය හැකිය. දේශපාලන ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයකු විය හැකිය. ඒ සැම පුද්ගලයකු සතුව ම ඔහු පිළිබඳ නොමැකෙන අතීත සිහිවටනයක් තිබීම විශේෂත්වයකි.

මේ දැවැන්ත බුද්ධිමතා පිළිබඳ ශාස්ත‍්‍රීය ලිපියක් සම්පාදනය කිරිම ක්‍ෂණිකව කළ නොහැකි වුව ද ඔහු තුළ සැඟව සිටි සංවේදී මිනිසා පිළිබඳ ව මගේ මතකය අවදි කළ හැකි වීම මාගේ භාගයයකි. ඒ සංවේදී මිනිසා අනන්ත වතාවක් මා සම්මුඛ වී ඇත. මතු සටහන් තබන්නේ ඉන් එක් අවස්ථාවක් පමණි.

 

මා කලින් සඳහන් කළ පරිදි දිනක්, කොළඹින් බොහෝ දුර බැහැර වෙසෙන සාහිත්‍යකරුවකු සමඟ අප මහැදුරුතුමා හමුවීමට ගියේ මා හිතවත් ලේඛකයාගේ නවත ම කෘතියේ පිටපතක් ඇදුරුතුමන්ට පිළිගැන්වීම පිණිස ය. අදාළ කටයුත්ත හමාරවීමෙන් අනතුරුව අප ඔහු හා සුහද පිළිසඳරක යෙදුනෙමු. පිළිසඳරක් වුව ද එහි ගැබ්ව තිබුණේ ද රටේ පවතින: සාහිත්‍ය, කලාව, සහ දේශපාලනය පිළිබඳ කරුණු කාරණා ය. ඔහු සම්මුඛ වූ කිසිම දිනක ඕපාදුප කතා නොකළේ ය. ඔහු හා හුවමාරු කොටගත් සැම වචනයක් ම, සැම වාක්‍යක් ම සවනට ගෙන දුන්නේ මිහිරකි. සිතට ගෙන දුන්නේ නැවුම් ආශ්වාදයකි. හදවතට ලබා දුන්නේ සිසිලකි. මොළයට ලබා දුන්නේ නැවුම් දැනුවත් භාවයකි.

 

මෙසේ අප පිළිසඳරේ යෙදෙමින් සිටිනාතුර මහැදුරුතුමන් මා ඇඳ සිටි ඩෙනිම් වර්ගයේ දිග කලිසම දෙස කිහිප වතාවක් විමසිල්ලෙන් නෙත් යොමන බව මට දැනුණි. මා ද ඔහුට නොදැනෙන්නට මගේ කලිසම දෙස නෙත් යොමු කළේ එහි යම් වැරැද්ක් ඇත්දැයි සැකහැර දැනගැනීම සඳහා ය. මගේ වෙනස වටහා ගත් ඔහු…

 

‘‘අලයො… උඹට ඔය විදියෙ ඩෙනිම් කලිසම් කියක් තියනවද?’’

මහැදුරුතුමා නැගූයේ මා කිසිසේත් අපේක්‍ෂා නොකළ පැනයකි.

 

‘‘ඇයි සර් එහෙම ඇහුවෙ?’’ලජ්ජාව මුසු හැඟීමකින් යුක්තව මා පෙරළා විමසීය.

 

‘‘උඹ මම අහපු ප‍්‍රශ්නෙට උත්තර දිපන්කො. එතකොට මම කියන්නම් මොකද කියල’’

මහැදුරු තුමා සිනාසෙමින් පැවසී ය.

 

‘‘නිල්පාට ඩෙනිම් දෙකක් තියනව සර්. තව කළු ඩෙනිමකුත් තියනව’’

 

ඔහු විමසන පැනයකට මුසාවකින් පිළිතුරු සැපයීම කවදත් මා සිත් නොගත් හෙයින් යථා තත්ත්වය ම පැවසීය.

එවිට හඬ නගා සිනාසුණ මහැදුරු තුමා…

 

‘‘අම්මට සිරි… එහෙනම් අලයො උඹ හරි වාසනාවන්තයි’’

යනුවෙන් පවසා තවත් මද වේලාවක් ඒ ආකාරයෙන් ම සිනහ සෙන්නට විය. මා තව තවත් ව්‍යාකූලත්වයට පත්විය. මා හිතවත් ලේඛකයා ද මේ කිසිවක් වටහා ගැනීමට නොහැකියාවෙන් දෝ ම’දෙසත් මහැදුරුතුමා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. කෙමෙන් කෙමෙන් සිනහව නිම කළ ඔහු නැවතත් සිය හඬ අවදි කළේ ය.

 

‘‘නෑ අලයො. උඹ මෙහේ ආපු හුඟක් දවස්වල මම දැක්ක මේ ඩෙනිම ඇඳගෙන එනව. ඒ නිසා මම හිතුවෙ උඹට තිනේනෙ එක ඩෙනිමයි කියල.’’

ඔහු ඉතා සැහැල්ලූවෙන් පැවසුව ද මෙය මට මහත් මානසික පීඩාවක් විය. මා හිතවත් ලේඛකයා ද මදෙස බැලූයේ අනුකම්පාසහගත අයුරිනි. මා තව දුරටත් මහැදුරුතුමා විමසී ය.

‘‘ඇයි සර්, සර් එහෙම ඇහුවෙ.’’

 

මා නැවතත් පෙර විමසු පැනය ම විමසීය.

 

‘‘මේකයි අලයො… මට උඹේ ඩෙනිම දැක්කම මීට අවුරුදු පහළවකට විතර ඉස්සර මම හම්වෙන්න ආපු මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ව මතක් වුණා’‘

දැන් පොට පෑදී ඇත. මේ සුදානම් වන්නේ ඔහුගේ ජිවිතයේ තවත් එක් මතක සටහනක් දිගහැරුම සඳහා ය. මෙය අත්හල නොහැකි විරල අවස්ථාවකි. මහැදුරුතුමා හමුවීමෙන් අනතුරුව යොදාගෙන තිබු වැඩකටයුතු ද මොහොතකට අමතක කළ මා…

 

‘‘මගේ ඩෙනිමෙයි මෙඩිකල් ස්ටුඩන්ට අතරයි තියන සම්බන්ධය මොකක් ද සර්?’’

 

දිර්ඝ අතීත ස්මරණයකට සවන්දීමේ අටියෙනි මා මෙම පැනය මහැදුරුතුමා වෙත යොමු කළේ.

 

‘‘උපාලි… මේ මහත්තුරුන්ටයි මටයි බොන්න තව තේ තුනක් අරගෙන එන්න’’

 

මා සාර්ථක ය. පළමුව අප වෙත පිරිනැමු තේ බඳුන් මේ වන විට පැවතියේ හිස් ව ය. ඔහු නැවතත් තේ ඇනවුම් කරන්නේ දීර්ඝ කාලයක් අප හා පිළිසඳරේ යෙදීමට බව මා අත් දුටු යථාර්ථයකි. ඔහු නැවතත් සිය හඬ අවදි කළේ ය.

 

‘‘ඉස්සර නිතර ම වගේ මාව හම්බවෙන්න ආපු මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හිටිය. (අදාළ පුද්ගලයාගේ නම පැවසුව ද එය හෙළි නොකරන ලෙස මහැදුරුතුමා ඉල්ලා සිටි බැවින් ඔහුට කරන ගරුකිරිමක් වශයෙන් එය ඒ ආකාරයෙන් ම රැකගනිමි) කොහොම හරි මේ වෙද්දි මිනිහ මාව හම්බ වෙන්න අවුරුද්දකටත් වැඩි කාලයක් ආව ගියා. මොකද මිනිහ මෙඩිකල් කරාට සාහිත්‍යකාමියා. කවි සින්දු එහෙමත් ලියනව. ඉතිං මිනිහ ඇවිත් මගෙත් එක්ක කලාව. සාහිතය ගැන කතා කර කර ඉඳල මිනිහගෙ නිර්මාණයක් දෙකක් ගෙනත් පෙන්නල අඩුපාඩු එහෙම අහගන්නව. ඉතිං මේකා මම දැක්ක දවසෙ ඉඳල ම ඇඳගෙන ආවෙ එක ම ඩෙනිම. මම දවසක් මිනිහගෙන් ඇහුව. … තමුසෙට ඩෙනිම් කියක් තියනව ද? කියල. මිනිහ එකපාරට ම කියපි ‘එකයි සර්’ කියල. මම ඒ පාර ඇහුව, තමුසෙට වෙන කලිසම් ඇත්තෙම නැද්ද? කියල.

‘තව එකක් තියනව සර්. ඒක අඳින්නෙ කලාතුරකින්. මේක හොඳයිනෙ සර්. නිතරම හෝදන්න ඕනත් නෑනෙ සර්’ මිනිහ දිගටම කියාගෙන ගියා. ඒ පාර මම ඇහුව තමුසෙ ඔය කලිසම සුමානෙකට සැරයක්වත් හෝදනව ද? කියල. මිනිහ කිසි ගානක් නැතුව කියනව… චහ්… ඔය මාස දෙකතුනකට සැරයක් හෝදනව සර්‘ කියල. මට යකා නැග්ග. ‘යකෝ උඹට වෙන ම ලෙඩක් හැදෙනව ඔහොම ඇඳුම් හෝදන්නෙ නැතුව ඇන්දොත් කියල මම මිනිහට හොඳටම දෙහි කැපුව. උඹ විස්වාස කරපන් අලයො… මිනිහ ටික වෙලාවක් මගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටිය. මෙන්න එකපාරට ම අම්ම තාත්ත මැරිච්ච ගානට අඬන්න ගත්ත.’’

මහැදුරු තුමා මෙතෙක් නොනවත්වා පවත්වාගෙන ආ කතාවට මද විරාමයක් සැපයී ය. අප දෙදෙනා ද නිහඬ ය. විමසීමට කොතෙකුත් කරණු තිබුණ ද ඒ සිසුවාගේ වැලපීම ඒ මොහොතේ අපට දැනෙන්නට විය. නිහඬ බව තවදුරටත් ආරක්‍ෂා කළ නොහැකි බැවින් මා නැවතත් මහැදුරුතුමා විමසී ය.

‘‘ඇයි සර් මිනිහ ඇඬුවෙ?’’

‘‘ඒකනෙ අයිෂෙ කියන්නෙ. මේව තමයි සාහිත්‍යය. තමුසෙ කවද හරි දවසක ලියනවනම් මේව අනූභූතින් විදියට ගන්නව. ඒ යෝදයගෙ අම්ම තාත්ත දෙන්න ම නෑ. ඒව ලොකු කතන්දර. තමුසෙ කවද හරි ලියනවනම් මට කියනව මම ඒ විස්තරත් නේනම්. හා… දැන් ආයෙත් මුලට එමුකො. ඉතිං මේ කොල්ල වෛද්‍ය ශිෂ්‍යයෙක් වුනාට හරි දුප්පත්. මේකා කවදාවත් මට මේ ගැන කියල තිබුණෙ නැ. මිනිහ  ඔය මේ රේස් ඔට්ටුපලවල්වල රස්සාවටත් යනවලූ. මිනිහ තමයිලූ ආච්චිටයි සීයටයිත් සලකන්නෙ. මට හරි අප්සට්. මම ඒපාර ඇහුව, ‘ඉතිං උඹ කොහොමද මෙච්චර කාලයක් මේක ඇන්දෙ? කියල. මිනිහ කියනව මාසෙකට දෙකකට සැරයක් හොඳට අව්ව තියන දවසක් බලල හෝදල හොඳට වේලගන්නව කියල. පස්සෙ මම ඇහුව

‘දැන් තමුසෙට තියන තව අඩුපාඩු මොනවද’ කියල. එහෙම ඇහුවට මටත් සත පහ අතේ නැහැ. නමුත් මම දන්නව මේ යකාට උදව්වක් අරන් දෙන්න පුළුවන් බව.’’

‘‘අනේ සර් මම කොහොමද සර්ට මේව කියන්නෙ.’’ කියල මිනිහ බැගැපත් වුණා. නමුත් මම දන්නව මේ මිනිහ ලොකු මානසික පීඩනයකින් ඉන්න බව. ඒ නිසා මම හාර හාර ඇහුව මිනිහට තියන අඩුපාඩු. පස්සෙ මිනිහ එයාගෙ කතාව කිව්ව. (ඒ කතාව මෙහි සඳහන් කිරිමට මෙය අවස්ථාවක් නොවන බැවින් අදාළ කාරණය පමණක් සාකච්ඡාවට බඳුන් කරන බව සලකන්න.) මේ වෙනකොට මිනිහට තිබුණෙ කමිස දෙකයි. යට ඇඳුම් දෙකයි. ඒ ඔක්කොටම වැඩිය මිනිහට තිබුණ ලොකුම අඩුපාඩුව තමයි ස්තැටස්කෝපයක් නැති එක. ඒ කියන්නෙ අර ඩොක්ටර්ස්ල පාවිච්චි කරන නලාවක් නැති එක.’’

මම මහැදුරුතුමාගේ කතාවට බාධා කළේ අහිතකින් නොවේ. ඒ, අර පුද්ගයාට උදව් කළේ කෙසේ ද යන්න පිළිබඳ තව තවත් තොරතුරු අසා දැනගැනිමේ රුචියෙනි.

‘‘පස්සෙ සර් මොකද කළේ’’

‘‘මම ඉතිං ටිකක් කල්පනා කළා. කාගෙන්ද මේ මිනිහට උදව්වක් අරන්දෙන්න පුළුවන් කියල. ටිකකින් මට එක් පුද්ගලයෙක් ගැන මතක් වුණා. එයා කලින් මහණ වෙලා හිටිය මගේ ශිෂ්‍යයෙක්. පස්සෙ මිනිහ ජපානෙත් එක්ක විවිධ සම්බන්ධතා පටන් අරගෙන මහණකම අත්හැරියා. ඒ වන විට මිනිහ කැලණිය පැත්තෙ වාහන ආනයන ආයතනයක් පටන් අරගෙන තිබුණ. මම මිනිහට කතාකරල මේ විස්තර ඔක්කොම කියල මේ කොල්ලට උදව් කරන්න කියල කිව්ව.’‘

‘‘මනුස්සය කැමති වුනාද?’’

මා නැවතත් මහැදුරුතුමාගෙන් විමසීය.

‘‘කැමති වුණා… කැමති වුණා… මොකද මිනිහට කැමති නොවී බැහැ. මිනිහ හාමුදුරුකෙනක් විදියට කැම්පස් එකේ ඉන්න කාලෙ මම මිනිහටත් ඒ විදියට විවිධ උපකාර අරන් දුන්න. පස්සෙ මම මේ කොල්ලට ලියුමකුත් ලියල දිල කිව්ව ‘තමුසෙගෙ අඩු-පාඩු ඔක්කොම කියනව. ලජ්ජා වෙන්න එපා’ කියල කිව්ව. පස්සෙ මිනිහට අවශ්‍ය සියලූ අඩුපාඩු අර මගේ ශිෂ්‍යයා අරගෙන දුන්න’’

මේ සියල්ල පිළිබඳ ඉතා සැහැල්ලූවෙන් ආවර්ජනය කළ මහැදුරුතුමා අවසානයේ පැවසුවේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ ඛේද ජනක කතාවකි.

‘‘ඒ ඔක්කොමත් හරි කියමුකො. මේ යකා දොස්තර කෙනෙක් වුනාට පස්සෙ මාව බලන්න ආව. නමුත් මිනිහගෙ දේශපාලන අදහස් සම්පූර්ණයෙන් ම වෙනස් වුනා. මිනිහ ප‍්‍රයිවට් චැනලින් පටන්ගත්ත. කොටින් ම කියනවනම් මිනිහ දැන් අන්ත ජාතිවාදියෙක් වෙලා. මේ රටේ තියෙන අන්ත ජාතිවාදි දේශපාලන ව්‍යාපාරයක් එක්ක තමයි දැන් මිනිහ ගනුදෙනු කරන්නෙ. ඒ නිසා දවසක් මම මිනිහට මෙහේ ආපු වෙලාවක කිව්ව. ‘මීට පස්සෙ තමුසෙ කැමතිනම් මාව බලන්න එනව. හැබැයි කිසිම දෙයක් ගේන්න එපා. මොකද මම කැමති නැහැ මගේ ආත්මය විනාස කරගන්න’ කියල. අදටත් මිනිහ මට කතා කරනව. එනව යනව. නමුත් මම මගේ ප‍්‍රතිපත්තිය වෙනසක් කරෙත් නැ. මිනිහ වෙනස්වෙලත් නෑ.’’

 

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මාක්ස්වාදියෙකි. භෞතිකවාදියෙකි. අදීන කලාකරුවෙකි. එහෙයින් ඔහුට නිවන්සුව අත්වන්නැයි ප‍්‍රාර්ථනා නොකරමි. එහෙත් එක් කරුණක් පැවසිය යුතුය. මේ අවසන් හුස්ම හෙලූයේ පුද්ගලයකු නොව තවත් එක් යුග පුරුෂයෙකිත යුගයකි. එවන් යුග පුරුෂයින් කිහිප දෙනෙක් වර්තමානයේ ද ජිවමානව වෙසෙති. ඔවුන් මිය ගිය පසු එක් යුගයක් අවසන් වනු නියත ය. ඉඳින් දැන්වත් ඔවුන් කෙරෙහි අවධානය යොමු කොට ඔවුන්ගෙන් ලාංකිය පොළෝ තලයට මතු නොව මිනිස් සංහතියට ම ලබාගත හැකි ඵල ප‍්‍රයෝජන ලබාගන්නැයි බලධාරින්ට බලකරමු.

මෙහි ඇතැම් වචන මහදුරුතුමාගේ කථන භාෂාවෙන් ම සටහන් කළේ ඔහුට අගෞරව කරන්නට නොව ඔහුගේ අව්‍යාජත්වය මතුකරලිම සදහා බව කරුණාවෙන් සලකන්න

ජයසිරි අලවත්ත

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.