පතිගෙන් “ස්‌වරූප”

swarupaආචාර්ය ධර්මසේන පතිරාජ සිය අලුත්ම සිනමා නිර්මාණය “ස්‌වරූප” තිරගත කිරීමට සූදානම්ව සිටී. හැත්තෑ හතරේදී “අහස්‌ ගව්වෙන්” ආරම්භ කළ පතිරාජගේ සිනමා ගමනේ දසවැනි චිත්‍රපටය “ස්‌වරූපය” මෙම චිත්‍රපට දහය අතර මෙතෙක්‌ තිරගත නොවුණු, තිරගත වනු ඇතැයි විශ්වාසයක්‌ ද නැති “වාසුළි” චිත්‍රපටය ද ඇත. එහි නිර්මාණ කටයුතු ආරම්භ කළේ 1994 දී ය.

දැන් ඒ එකතුව අතරට “ස්‌වරූප” එක්‌වේ. “ස්‌වරූප”කෆ්කා ගේ “මෙට මොනොසිස්‌” නමැති කෙටි කතාව ඇසුරින් තිරගත කර ඇත. අනුවර්තනය එරික්‌ ඉලයප්පාරච්චිගෙනි. තිර රචනය එරික්‌ සමඟ පතී විසින් කර ඇත. රංගනයෙන් ඩබ්ලිව් ජයසිරි, නීටා ප්‍රනාන්දු, තුසිත ලක්‌නාත්, ලක්‍ෂ්මන් මෙන්ඩිස්‌, විශ්වජිත් ගුණසේකර, චමිලා පීරිස්‌, ප්‍රියා රණසිංහ, විමල් කුමාර ද කොස්‌තා, දයා තෙන්නකෝන්, ඩී. බී. ගංගොඩතැන්න, සංගීතා පල්ලියගුරුගේ, රිනී ද සිල්වා, ඩී. රම්‍යා, විමල් හලංගොඩ, මිල්ටන් පෙරේරා සහ සැනට්‌ දික්‌කුඹුර එක්‌වෙති. සහාය අධ්‍යක්‌ෂණය සුගත් අමරජීව බණ්‌ඩාර සහ මාධවී ලෙව්කේ බණ්‌ඩාරය.

“ස්‌වරූප” කතා සාරාංශය මෙසේය,

මව පියා සහ එකම නැගණිය සහිත පවුල තුළ වෙසෙන තරුණ පුත්‍රයා සිය නිවසේ කාමරය තුළ දී විශාල කෘමියකු බවට පත්වෙයි. ඒ මධ්‍යම පාන්තික පවුලේ එකම ආදායම් මාර්ගය බටහිර ඖෂධ වෙළෙඳ සමාගමක අලෙවි නියෝජිතයකු වූ ඔහුගේ වැටුපයි. ඔහුගේ හදිසි රූපාන්තරණය නිසා ඔහුට සුපුරුදු පරිදි උදැසන අවදි වී කොළඹ කාර්යාලයට යැමට නොහැකි වෙයි. ඔහු කාර්යාලයට වාර්තා නොකළ බැවින් සමාගමේ කළමනාකරු ඔහු සොයාගෙන නිවසට පැමිණ දෙමාපියන් හමුවෙයි. තම අලෙවි නියෝජිතයාගේ රූප විලාශය දකින කළමනාකරු මහත් භීතියෙන් පලා යයි.

කුලී නිවසක වසන පවුලේ එකම ආදායම් මාර්ගය වී තිබුණු පුතාගේ රැකියාව තවදුරටත් යථාර්ථයක්‌ නොවීමේ ඉතා භයංකාර හා ඉතා අනුවේදනීය කතාව චිත්‍රපටය තුළ කියෑවේ. කෘමියකු බවට පත් වුවත් ඒ පුත්‍රයා තවදුරටත් මිනිස්‌ සිතුම් පැතුම් සහිතව පියවි සිහියෙන් යුතුව නිවසේ සිය කාමරය තුළ ජීවත් වෙයි.

අද්භූත කතාවක්‌ ලෙස නොව ඉතා තර්කානුකූල හා යථාර්ථවාදී පදනමක්‌ මත ගොඩනැඟෙන මේ අපූර්ව චිත්‍රපටය යම් කෙනකු තුළ එබඳු ශෝචනීය විපර්යාසයක්‌ ඇතිවිය හැකි ද යන්න මත නොව එය දැනටමත් සිදුවී හමාර බැවින් පවුල තුළ ජීවිතය ගත කළ යුත්තේ කෙසේ ද යන්න මත දිගහැරෙයි. පවුලේ සෙසු සාමාජිකයෝ මෙන්ම පළපුරුදු දයාබර මෙහෙකාරිය ද ඔහු බලා කියා ගනියි. කෘමියකු වී කාමරයට කොටු වී සිටින තරුණයාට ද පවුලේ ඇසුර වුවමනාය.

අලුත් ආදායම් මාර්ගය වශයෙන් නිවසේ නවත්වා ගන්නා මහලු බෝඩිංකාරයන් තිදෙනකු ඉදිරියේ එක්‌ සන්ධ්‍යාවක සිය යොවුන් නැගනිය වයලීනය වාදනය කරන විට ඊට සවන් දීම සඳහා පුත්‍රයා ද විශාල කෘමි සිරුරින් යුතුව බිම දිගේ සාද සාලයට පැමිණෙයි. බෝඩිංකාරයෝ මහත් භීතියටත්, පවුලේ ඇත්තෝ මහත් ලැ-ජාවටත් පත්වෙති.

පවුලේ ව්‍යාකූලතාවන් මැද දිරා වැහැරී අලුත් මෙහෙකාරියකගේ කොසු පහරින් මරු දකින ඔහු කුණු ලොරියක දමා කුණු කන්දට රැගෙන යයි. පවුලට මහත් දයා කරුණාවෙන් විසූ ආදරණීය පුත්‍රයාගේ කෘමි මරණයෙන් පසු මව පියා සහ දියණිය ඇගේ විවාහාපේක්‌ෂක පෙම්වතාගේ මෝටර් රථයෙන් සුන්දර හෝර්ටන් තැන්නට දිග සවාරියක්‌ යන අතරේ කෘමියකු ලෙස මියගිය තරුණයාගේ සොහොන් කොත උඩරට සොහොන් පිටියක දර්ශනය වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.