වසන්ත අත්සන-මංජුල වෙඩිවර්ධන

 

 Garden Bench-Leonid Afremov

වසන්තය පැමිණියේ
මනමාලිය නැති මංගල්ලයක් මෙනි.

වැස්සක් නැතිව වුව
මල් පිපනේනට හැකි බව
අහසේ ලියා තැබුවේ කවුදැයි
සොයා ගන්නට බැරිවිය.

සිතිජයට මොබ තනි ඉරක් මත
වෛවර්ණ වෛරම් නැඟුණු
උකටලී කණ අත්සන
කොයි අතින් ගිලිහී ගියේදැයි
හිතාගන්නට නො හැකි ය .

කරව් කරනා කිසිවකු
තට තට ගා තටු ගසනා හඬ
කටහඬක් මෙනි
කන් බෙරය මත.

 

 

මනමාලිය නැතුවාට
මංගල්ලයක් ඇත.
ඒ මදිද?
මංගල්ලයන් නැති
මනමාලියන් නම් කොතරම්ද?

නම් ගම් කිසිත් නැති අහසක
කවියක් තිබෙන්නට පිළිවන.

ඒ කාගේ වචනදැයි අසන්නට
තවම නිදහස ඇත.

ඒත් ඒ නිදහස ඇත්තේ
වසන්තයට එපිටින් බව පසක් වනක විට
අතැඟිල්ල අත හැරුණු බව හැඟිණ.

ඉදින්,
හද බසට පර්යාය කිසිවක් තබා යන්නැයි
මම ඇවිටිලි කළෙමි.
එවිට ඇය
පාපතුළ ඔසවා
දුහුවිල්ල ගසා දැමුවා ය.
ඒත් පොළොවේ මුද්‍රාව තිබූ පා ලකුණ මම අහුලා ගතිමි.
ඔව්! ගිලිහී වැටුණු ඒ අවසන් පූර්ව මන්දස්මිතය අබියසදී ම ය.

අවසාන මඳහස හා පළමු දුකඳුළ අතර
අලෝක වර්ෂ දස දහසක අන්තරය ඇති
තවත් එක් නොවටිනා මොහොතක් ඇති බව
දැන් මම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දනිමි.

“වස්සාන වැහි බිංදු කලබලයි
උස්සාන එන වලාකුළු පෙලයි
ගස්සාන යන සුළඟ දෙස බලයි
ලිස්සාන වැටෙනකොට හති හලයි

අතු පතර මත වැනුව ගණ නිල්ල
සංසාරෙ අතරතුර සැනසිල්ල
සමුනොගෙන සමුගන්න ඔබ පල්ල
මල් තමයි මහපොළොවෙ ඉවසිල්ල

බැහැ කියන්නට එපා සමුදෙන්න
පැහැබරම අතීතය අරගන්න
වැහැ ගන්න බැරි අහසෙ වැතිරෙන්න
ඇහැ රවට්ටනු මැනැවි දේදුන්න”

Manjula Wediwardena

 

කවියකු, කෙටිකතාකරුවකුනවකතාකරුවකුසේමමාධ්‍යවේදියකුදවනමංජුලවෙඩිවර්ධන දැනට ජීවත් වන්නේ රටින් පිට- සියුම් දේ හදුනන අධි සංවේදී ස්නායු ඇති සත්වයෙකි- කියවන්න ඔහුගේ බත්තලන්ගුන්ඩුව-දැනේවි වියළි මුහුදු සුළගේ  ලුණු රස.

මෙය උපුටා ගත්තේ බුන්දියෙනි-එයත් ස්නායු ඇති සතුන් සැරිසරන් ඉසව්වකි-ගිහින් බලන්න  හැබැයි ප්‍රවේසමෙන් ඇබ්බැහිවීමට ඉඩ ඇත.

 

click

boondi

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.