සිද්ධාර්ථ -ජීවන සංගීතය

 

sidartha1

 

 

 

ශ්‍රී ගෞතම  සිද්ධාර්ථ චිත්‍රපටියට  වියට්නාමයේදී  පැවැත්වුන අන්තර්ජාතික  චිත්‍රපට උළෙලේදී සම්මාන  පහක්ම  හිම්වී තිබේ.

සමන් වීරමන්ට හොඳම අධ්‍යක්ෂණයය  සඳහා වූ සම්මානය හිමිවී ඇති අතර     සිද්ධාර්ථ  කුමරුන් සේ රංග පෑ ග ගන් මලික් හට හොඳම නළුවා සම්මානය හිමි වී ඇත.

හොඳම සංගීතය  සඳහා වූ  සම්මානයෙන් ප්‍රදීප් රත්නායක පිදුම් ලබා ඇති අතර ප්‍රවීන් ජයරත්න ට සංස්කරණය සඳ හාවු සම්මානය  හිමි වී ඇත.

මේ මොහොතේ සිදුහත් සිරිත  යලි යලිත් රස විඳිය හැකි කතාවක් බව පසක් වේ.

බුදු දහමත් බුදු සිරිතත් මහමෙව්නාව  පිස  හම්මගෙන එන සිහිල් සුළඟකි  එහෙයින්ම ඒ ඔස්සේ අපුරු නිර්මාණ බිහිවීම අරුමයක් නොවේ.

සිද්ධාර්ථ නම  ඇසෙන  හැම මොහොතකම ඒ හා  හිතට  නැගෙන තවත් නමක් තිබේ ඒ ජර්මන් ජාතික හර්මන් හෙස ගත් කරුවයි.

එසේම  ජර්මන්  බසින්ම සිද්ධාර්ථ සිංහලට  නැගු දයාරත්න ගරුසිංහටත්  පින්දෙමි.

ජීවිතය  නිබඳව ගලා ගෙන  යන  ගංගාවක් බවත් එය පෙන  නගමින් ගලා ගෙන යන  හැටි තැන්පත් නැණින් යුතුව බලා හිඳීම තුලින් අපිට බොහෝ දේ ඉගෙන ගත හැකි බව  කියා දුන්නේ ඒ පුංචි පොතයි.ඒ ඇසුරෙන්  නිෂ්පාදනය වූ  චිත්‍රපටියක්  බැලීමේ  වාසනාව  ලද  කපිල  කුමාර  කාලිංගට සවන් දෙමු.

kapilak

සිද්ධාර්ථ : සිදුවීම් නදියක ජීවන සංගීතය

මගේ මතකය නිවැරැදි නම් ඒ 70 දශකයේ අග භාගය විය යුතුය. හර්මන් හෙසගේ නවකතාව ඇසුරින් නිපදවුණු කොන්රඩ් රූක්ස් අධ්‍යක්ෂණය කළ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය කොළඹ රීගල් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය ඇරැඹිණි. නොසංසිඳෙන චිත්‍රපටි පිපාසයකින් පෙළුණු තිදෙනෙකු වූ ගුණසිරි සිල්වා, රනිල් ඇල්විටිගල හා මා එහි ගියේ දෙවැනි දිනයේ පෙරවරු 10.30 දර්ශනයටය. හැකි ඉක්මනින් චිත්‍රපටය නැරැඹීමේ අවශ්‍යතාවක් මතුව තිබුණේ බෞද්ධ භික්ෂූන් පිරිසකගේ විරෝධය නිසා එය තහනමට ලක්විය හැකි බවට රාවයක් පැතිර ගිය හෙයිනි.

කෙසේ වෙතත් චිත්‍රපටයේ සිටියේ බුදු සිරිතේ එන සිද්ධාර්ථ නොව හර්මන් හෙස නමැති ලේඛකයාගේ සිතෙහි මැවුණු වෙනත් සිද්ධාර්ථ කෙනෙකි.

එදා චිත්‍රපටය නරඹා පිටතට පැමිණි අප තිදෙන මඳ දුරක් ගමන් කළේ නිහඬවමය. ‘සිද්ධාර්ථ’ අප දැහැන්ගත කොට තිබුණාක් සේය. හේමන්ත් කුමාර්ගේ සංගීතයට අනුව ගැයුණු ගීතය අප මන්මත් කරමින් අප සමඟම ගමන් කළේය. ‘සිද්ධාර්ථ’ අමතක කරන්නට දින නොව සති ගණනාවක්ම ගතවිය.

’සිද්ධාර්ථ’ චිත්‍රපටය තුළ වූයේ එහි තේමාවටම උචිත ශාන්ත රිද්මයකි. රූප රාමු සකස් වී තිබුණේ ගැඹුරු කාව්‍යයක පද වැලක් ලෙසිනි. ශ්‍රේෂ්ඨ සිනමාකරුවෙකු වූ ස්වීඩිෂ් ජාතික ඉංග්මාර් බර්ග්මාන්ගේ කැමරා අධ්‍යක්ෂවරයා වූ ස්වෙන් නයික්විස්ට් (Sven Nykvist) ගේ දායකත්වය කැපී පෙනුණි. බර්ග්මාන්ගේ චිත්‍රපට දෙකක් සඳහා ඇකඩමි සම්මාන ලැබූ ස්වෙන් 2003 ජාත්‍යන්තර සිනේ කැමරාකරුවන්ගේ සංගමය මඟින් ලෝකයේ විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂවරුන් දහදෙනා අතරට තෝරාගෙන තිබුණි.

 

Hermann Hesse
Hermann Hesse

ජර්මන් ජාතික හෙසගේ නවකතාවේ එන්නේ බෞද්ධ කාලීන හින්දු ජීවිතය ආශ්‍රය කොට ගත් කතාවකි.

සිද්ධාර්ථ (රිෂි කපූර්) නම් තරුණ බ්‍රාහ්මණ පුත්‍රයා ඔහුගේ මිත්‍ර ගෝවින්ද (රොමේෂ් ෂර්මා) සමඟින් බුදුරජාණන් වහන්සේ හමුවට යයි. බණ අසා පැහැදෙන ගෝවින්ද පැවිදි වෙයි. බුදු දහම ප්‍රතික්ෂේප නොකළ ද සිද්ධාර්ථ ගිහි ජීවිතයෙහිම රැඳෙන්නට තීරණය කරයි. වෙළෙන්දෙකු මෙන් කටයුතු කරන ඔහු කමලා (සිමී ගරේවාල්) නමැති වෙසඟනක ඇසුරු කරයි. පසුව ඇය සර්පයකු විසින් දෂ්ට කරනු ලැබ මියයයි. සිද්ධාර්ථට දාව ඇය ලද දරුවා ඔහුගේ භාරයට පත්වෙයි. එහෙත් ටික කලකින් ම දරුවා ද ඔහු අතහැර පලා යයි. සිද්ධාර්ථගේ හුදෙකලා ජීවිතය තුළ ඉතිරි වන්නේ වාසුදේව (සුල් වෙල්ලානි) නමැති තොටියකු පමණි.

අන් බසකට නොනැඟිය හැකි තරම් සියුම් පද ලාලිත්‍යයෙන් ද, රසබර වාග් මාධූර්යයෙන් ද හෙබි ගද්‍ය කාව්‍යයක් බඳු ‘සිද්ධාර්ථ’ දයාරත්න ගරුසිංහයන් ඉතා විශිෂ්ට ලෙස සිංහලයට නැඟුවේය. හෙසගේ නවකතාවේ එන දර්ශනය පිළිබඳව ඔහු මෙසේ පවසයි.

”සියලු ම අරමුණු හා සියලුම අභිලාෂ ද සියලුම දොම්නස් හා සොම්නස් ද සියලු යහපත් දේ සහ අයහපත් දේ යන මේ සියල්ලක්ම ලෝකය විය. සියල්ල එක්වූ සිදුවීම් නදිය, ජීවන සංගීතය විය.”

’සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනයේ දී ඉන්දියාවේ ද විරෝධතාවක් මතුවිණි. එහෙත් ඒ බෞද්ධ ප්‍රශ්නයක් නම් නොවේ. සිමී ගරේවාල් නිළිය අඩ නිරුවතින් රඟපෑම පිළිබඳවය. එකල ඉන්දියානු සිනමාවේ සිපගැනීම් පවා තහනම් විය.

ලංකාවේ ‘සිද්ධාර්ථ’ තිරගත වූ දිනවල කොන්රඩ් රූක්ස්ද අහඹු ලෙස මෙහි පැමිණ මහනුවර ක්වීන්ස් හෝටලයේ නතරව සිටි බවක් පසුව අපට අසන්නට ලැබුණි.

මෑතකදී ඩීවීඩී පටයකින්, ‘සිද්ධාර්ථ’ යළිත් නැරැඹීමි එහෙත් එදා රීගල් සිනමා හලේ දී ලද ආස්වාදය මට නොලැබුණි. නොදැනුණි. ඊට බොහෝ හේතු තිබිය හැකිය.

’සිද්ධාර්ථ’ බෞද්ධ කතාවක් නොවන බව ගරුසිංහයෝ තම පෙරවදනෙහිලා පැහැදිලිවම පවසති.

”බෞද්ධ චිත්‍රපට” යන මැය යටතේ අන්තර්ජාලය පිරික්සන විට දක්නට ලැබෙන ලැයිස්තුවේ ද ඇත්තේ බෞද්ධ නොවන බෞද්ධ චිත්‍රපටිය. ඉනි බොහෝමයක් බෞද්ධ රටවල ප්‍රේක්ෂකයින්ට දක්නට ලැබී නැත. එහෙත් ’Little Buddha ‘ වැනි චිත්‍රපටයක් නම් ලංකාවේ පදික වේදිකාවල ද විකිණීමට ඇත.

’බෞද්ධ’ ලේබලය වදින බොහෝ චිත්‍රපට මහායානිකය. පසුතලය තිබ්බතය, භූතානය හෝ නේපාලයයි.

’ලිට්ල් බුද්ධා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ බර්ටෝලුසීගේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ කියාන්ට්සේ නෝර්බු (Koyantse Norbu) නමැති ටිබෙට් ලාමාවරයා මෝක්ෂ මාර්ගයට වඩා සිනමා මාවතට ඇලුම් කළේය. කියාන්ට්සේ ලාමා ඇමෙරිකාවට ගොස් සිනමාව හදාරන කාලයේ දැන හැඳිනගත් ජෙරම් තෝමස් පසුකලෙක The Cup (කුසලානය) නමැති චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ද වෙයි.

’ද කප්’ පාපන්දු චිත්‍රපටයේ කතාව සැකසෙන්නේ 2008 ලෝක පාපන්දු කුසලාන තරග නැරැඹීම සඳහා රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට උත්සාහ කරන “සාමනේර ලාමාවරුන්” කීපදෙනකු වටාය. ‘ද කප්’ චිත්‍රපටයේ ප්‍රචාරක පාඨය වූයේ “බුදුදහම ඔවුන්ගේ දර්ශනයයි. පාපන්දු ඔවුන්ගේ ආගමයි” යන්නය. Buddhism is their philosophy. Soccer is their riligion

කපිල කුමාර කාලිංග-උපුටන සිළුමිනෙනි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.