මිනුවන්ගොඩින් මතුවෙන වසර තුන් දහසක අතීතය

.
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්‌ඨාසයේ මිනුවන්ගොඩ වේයන්ගොඩ මාර්ගයේ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාලයීය භූමියෙන් (විදුහලට පිවිසෙන මාර්ගයේ) සොයාගනු ලැබූ වසර 3000 කට වඩා පැරැණි යයි සැලකෙන සොහොන් භූමියක නෂ්ඨාවශේෂ මතු දේශීය සංස්‌කෘතියේ හා සභ්‍යත්වයේ අත්‍යන්ත උත්කෘෂ්ටභාවය විදහා දක්‌වන කැඩපතක්‌ බඳුය.

2016 සැප්තැම්බර් 15 දින සිට මේ පිළිබඳ කැණීම් හා පර්යේෂණ කටයුතු කරන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ආචාර්ය මංගල කටුගම්පොළ මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු සඳහන් කළේ “මීට වසර කිහිපයකට කලින් මේ පිළිබඳව දෙවලපොළ ප්‍රදේශවාසීන් දැන හැඳිනගෙන ඒ පිළිබඳ පර්යේෂණයක්‌ කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කර ඇති බවයි. එසේම ඒ පිළිබඳ දැනගත් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය මඟින් ඒ පිළිබඳ පර්යේෂණයක්‌ කිරීමට ඉල්ලා සිටියා. ඒ අනුව තමා මීට මාස 03 කට පමණ පෙර මෙම ස්‌ථානයට පැමිණ ස්‌ථාන පරීක්‌ෂාවක්‌ කළා.

2016 සැප්තැම්බර් 15 දින සිට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය මඟින් මෙහි කැණීම් හා පර්යේෂණ සිදුකරනු ලැබීය. ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශය මඟින් ලබාදෙනු ලබයි.

පුරාවිද්‍යාවේ ඇති “මුදවා ගැනීමේ රීතිය” අනුගමනය කරමින් මෙම කැණීම් හා පර්යේෂණ සිදුකරනු ලැබේ. දැනට සති දෙකකට අධික කාලයක්‌ පුරා සිදුකරගෙන යනු ලබන කැණීම්වලට අනුව මැටියෙන් නිර්මාණය කරන ලද කුටීර (එනම් ඔරුවක හැඩයට මැටි ගසා සාදන ලද) දෙකක්‌ මේ වන විට හමුව තිබේ. ඒවා වසර 3000 කට වඩා පැරැණි යෑයි අනුමාන කෙරේ. එම කුටීරයක්‌ තුළ භරණී 05 කට වඩා ප්‍රමාණයක්‌ තැන්පත් කර ඇති බව දැකිය හැකිය. මෙම භරණි අළුදමා තැන්පත් කර තිබෙන බව පෙනීයයි. කිහිපදෙනකුගේ දේහයන්ගේ අළු මෙම භරණි ඇතුළත තිබෙන බව සිතිය හැකියි.

මෙලෙස හමුවී ඇති භරණි විනාශව ගොස්‌ තිබේ. මීට පෙර හමුව ඇති මෙවැනි බඳුන්ද මේ අයුරින් විනාශව ගොස්‌ තිබෙන බවද අනාවරණය විය.

කුටීර හෙවත් වළවල් තද පස්‌ තට්‌ටුව ඇති මතුපිට පස්‌ තට්‌ටුවෙන් යට කපා ඒවා පළමුව පුච්චා පසුව දෙණ ඒ තුළ දමා පුළුස්‌සා එම අළු ගෙන මැටි බඳුන්වල තැන්පත් කර මෙම කුටීර තුළ තබා ඇති බව පර්යේෂණ කණ්‌ඩායම විශ්වාස කරයි. ලංකාවේ මැටි කුටීර හමුවන ප්‍රදේශ ලෙස තෙත් කලාපය හඳුනාගෙන තිබේ. වියළි කලාපයේ කිසිම ප්‍රදේශයකින් මෙවැනි කුටීර හමුව නැති බව කැලණිය විශ්වවිද්‍යාලයීය පුරවිද්‍යා අංශය පෙන්වා දෙයි. මේ දක්‌වා හමුව ඇති සියලු කුටීර හමුව ඇත්තේ තෙත් කලාපය හෙවත් අන්තර් මධ්‍ය කලාපය කේන්ද්‍රකරගෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එම සියලු කුටීර තුළින් කාලරක්‌ත මැටි බඳුන් හමුව තිබීම ද විශේෂත්වයකි. කලෝටුවාව, ගස්‌පේ උඩරංචමඩම – වැනි තෙත් කලාපයට අයත් ප්‍රදේශයන්ගෙන් හමුවුණ මෙම කුටීර නිසා ඓතිහාසික තොරතුරු රැසක්‌ අනාවරණය කරගැනීමට පිළිවන් වී තිබේ ක්‍රි. පූ. 130 කාලයට අයත් ලෙස සැලකෙන කලෝටුවාව කුටීර ඉමහත් ලෙස පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌ව ඇත. ගස්‌පේ ප්‍රදේශයෙන් සොයාගත් කුටීර පුරාවිද්‍යා කොමසාරිස්‌ පී. ඊ. පී. දැරණියගල මහතා විසින් 1952 දී සොයාගෙන තිබෙන බවට වාර්තා වී ඇත.

මිනුවන්ගොඩ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හමුව ඇති සුසාන භූමි පිළිබඳ පර්යේෂණ කරන පර්යේෂණ මණ්‌ඩලයේ අරමුණ වී ඇත්තේ මෙකී නටබුන් තුළින් විධිමත්ව හා විද්‍යාත්මකව කාල නිර්ණයක්‌ සිදු කිරීම (එනම් ඒ පිළිබඳව නිවැරදි කාලය නිගමනය කිරීම). මෙකී ස්‌ථානයේ මිහිදන් කර ඇති සුසානවලින් හා අවශේෂ කරුණුවලින් හඳුනාගත හැකි වන සමාජයීය හා සංස්‌කෘතික ලක්‌ෂණ කවරේදැයි පැහැදිලි කර ගැනීම. ශාස්‌ත්‍රීය වශයෙන් ගොනු කරගත හැකි දැනුම සමාජගත කිරීම යන කරුණුය.

“මෙම කැණීම්වලින් අවශ්‍ය තොරතුරු අප විසින් රැස්‌කරගෙන තිබෙනවා. නමුත් ස්‌ථිර නිගමනයකට පැමිණිය හැක්‌කේ පශ්චාත් විශ්ලේෂණයකින් පසුවයි. මෙම කැණීම්වලින් ලබාගත් ද්‍රව්‍ය හා දත්ත අති විශේෂ නිගමනයන් සඳහා ඇමරිකාව හා චීනයට යෑවීමට අපේක්‍ෂා කරනවා” යෑයි මේ පිළිබඳව කළ විමසීමේදී පර්යේෂණ භාරව ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පොළ මහතා කියයි.

minu2
මෙම පළාතේ විශාල ප්‍රදේශයක්‌ පුරා මේ සොහොන් භූමිය පැතිරී ගොස්‌ ඇති බව පෙනී යන මුත් එක්‌ සීමිත කොටසක්‌ පමණක්‌ පර්යේෂණ කණ්‌ඩායමේ කැණීම්වලට භාජන වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.