අධිකරණ නියෝග දෙකක් කඩකර ඇමති ගමගේ ජෝඩුව පානම ඉඩම් කොල්ලයක…

Panamaඅධිකරණ තීන්දු දෙකක් සාපරාධී ලෙස උල්ලංඝණය කරමින්, මානව හිමිකම් කොමිසම මගින් ලබාදුන් නියෝග මෙන්ම වර්ෂ 2015 පෙබරවාරියේ ලබාදුන් කැබිනට් තීන්දුවක් නිර්දය ආකාරයට උල්ලංඝණය කරමින් පානම රාගම්වෙල නැමැති ගම්මානගේ විසූ ගම් වැසියන් සිය උරුම බිම් වලින් පලවා හැර ඒ බිමෙහි හෝටල් සංකීර්ණයක් තැනීමට ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ සහ ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යනී අනෝමා ගමගේ කටයුතු කිරීමේ සිද්ධිය නිසා  යළිත් ප්‍රදේශය උණුසුම් වී තිබේ.

නඩු තීන්දුව
නඩු තීන්දුව
සේනාපතියේ ආනන්ද හිමි
සේනාපතියේ ආනන්ද හිමි

එක් පසෙකින් කලපුවෙන් අනෙක් පසින් මනරම් වෙරළ තීරයකින් වටවුණු පානම රාගම්වෙල ඉඩම් කොල්ලකෑම මුලින්ම ආරම්භ කළේ රජපක්ෂ ආණ්ඩුවේ මැරයන් විසිනි.  ගම්මානයේ වැසියන්ගේ නිවෙස් වලට ගිනි තබා ඔවුන්ට පහරදී පලවා හැර බලහත්කාරයෙන්  ඉඩම් කොල්ල කන්නට රාජපක්ෂලාගේ මැරයන් පිරිසක් මුලින්ම කටයුතු කළේ වර්ෂ 2010 ජුනි මස 17 දා ය.

එය නොහැකිවූ තැන රාගම්වෙල මිනිස්සු අනවසරයෙන් රජයේ ඉඩම්වල ඇතුළු වූ හොරුන් කොට නම්කර රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට  විරුද්ධව නඩු දැම්මේය. වර්ෂ 2015 දී පොතුවිල් අධිකරණය ගම්වැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළේය. ඒ සමගම පැනවු මානව හිමිකම් නඩුවේ තීන්දුව ලැබුණේද ගම්වැසියන්ට සිය උපන් බිම්වල පදිංචි වීම නිර්දේශ කරමිනි.

පලවා හල වැසියන් නැවත සිය ඉඩම්වල පදිංචිව ඇති අයුරු
පලවා හල වැසියන් නැවත සිය ඉඩම්වල පදිංචිව ඇති අයුරු

එදා රාජපක්ෂගේ දේශපාලන මැරයන් මේ ගම්වැසියන්ට සිය නිවෙස් කරා යෑමට ඉඩ නොදුන්හ.   මේ අත්තනෝමතික හැසිරීම තේමාකොට ගත් එවකට විපක්ෂය යහපාලන ආණ්ඩුව නිර්මාණය කරගන්නට චන්ද හිඟා කෑවේ මේ මිනිස්සුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් තමන්ගේ ඡන්දයෙන් පත්වූ යහපාලන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් ලෙස   හැසිරෙනු දැක ඔවුහු මීට දෙමසකට පෙර දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. මේ වනවිට දේශපාලන බලපෑම් මත නීතිවිරෝධීව පලවාහල මිනිස්සු මේ වනවිට සිය ඉඩම්වල නැවත පදිංචි වී සිය විරෝධතාව පලකරමින් සිටිති.

මේ පිලිබදව කළ විමසීමකදී පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ සභාපති පානම ශ්‍රී සංඝරතන හිමියන් පැවසුවේ  ගම්වැසියන් ගේ අයිතිය තහවුරු කරමින් පොතුවිල් උසාවියෙන් ලද නඩු තීන්දු දෙකක් පමණක් නොව රටේ ජනාධිපතිවරයාගේ නියෝගත් තඹයකට මායිම් නොකර ප්‍රාථමික සංවර්ධන ඇමති දයා ගමගේ හැසිරෙන ආකාරය පුදුම සහගත බවය.

පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක පී.සෝමසිරි කියා සිටියේ බලපත්‍ර හා ප්‍රකාශන ඔප්පු සහිත තම උපන්බිම්වලින් පලවා හැර හෝටල් හදන්නට උත්සාහ කරන දයා ගමගේ ඇමතිවරයාට එම උත්සාහය ඉටු කරගන්න නම් තමන් ඉඩ නොදෙන බවය.

එමෙන්ම උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියෝ මෙසේ පවසා උන්හ. ‘‘ඇමති දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ ඇතුළු දේශපාලන අධිකාරිය සමග අම්පාර නි‍යෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් එක්ව  අම්පාර කච්චේරියේදී මේ ගම්වැසියන්ගේ ඉඩම් ගැටලුව ගැන කතා කළා… එතකොට ඇමතිවරයා හා ඇමතිවරිය ඇතුළු දේශපාලන නියෝජනය කිවුවා රටේ ආයෝජන සඳහා මේ භූමිය අත්‍යවශ්‍යයි කියලා. මේ ගම්වැසින් මේ භූමියෙන් ඉවත්කර වෙනත් ස්ථානවල පදිංචිකරවන කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කළා. මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා හෝටල් ගහලා වැඩක් නෑ…මේ මිනිස්සුන්ගෙ සටනේ අපිත් ඉන්නවා…”

මේ ගැටලුව ගැන යළිත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම තමන්ගේ අපේක්ෂාව බව මේ පිරස වැඩිදුරටත් කීහ.

( අම්පාර )

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.