ආණ්ඩුව බෞද්ධ විහාර දේවාලගම් පනත හකුලා ගනී

Temples - Sri Lankaබෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත හා ථෙරවාදි භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරිමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කර ගැනිමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම පනත් දෙක අද (04) දිනයේ විවාදයට නොගන්නා බව රජය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ද දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්විම නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල     ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැත්විනි.

මහනායක හිමිවරුන් හතර නමක් මෙම පනත් කෙටුම්පත නිසි සාකච්ඡා කිරිමකින් තොරව ගෙනෙනා ලද්දක් බවට මන්ත්‍රීවරුන්ට උන්වහන්සේලා ලිපි එවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන   එහිදි පෙන්වා දී ඇත. මෙහිදි ඇමති චම්පික රණවක   ද පෙන්වා දී ඇත්තේ මෙය මේ අවස්ථාවේ නොගෙන සාකච්ඡා කිරිමෙන් අනතුරුව ඉදිරිපත් කළ යුතු බවකි.

ඒ අවස්ථාවේ අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ   කරුණු දක්වමින් 1956 බුද්ධ ශාසන කොමිසම පවා මේ කාරණය නිර්දේශ කර ඇති බවත් සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ඬිකා කුමාරතුංග වැනි නායකයින්ද මෙය ගෙන ආ යුතු කාරණයක් බව පෙන්වා දි ඇතැයිද කියා තිබේ. ඉකුත් රජය විසින් මේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය පවා ලබා දි තිබෙන බව කියා ඇති ඇමතිවරයා රජයට ද මේ පනත ගෙන ඒමේ හදිස්සියක් නැතැයි කියා ඇත.

අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ අදහසට අනුව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නැවත වරක් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කොට උන්වහන්සේලාගෙන් ලබාගත් එකඟතාවය මත නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා තුරු පනත් කෙටුම්පත් ඉවත් කර ගැනිමට රජය මෙහිදි එකඟ වි තිබේ. කෙසේනමුත් අද දිනයේ අපරාධ නඩු විශේෂ විධිවිධන සංග්‍රහ (සංශෝධන) පනත සහ නීති කොමිෂන් සභා පනත විවාදයට ගැනිමට තීරණය කෙරින.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.