” උඹලා දන්නේ නෑ මං කවුද කියලා ” – වරාය සභාපති තර්ජනය කරයි.

dmmikayaරක්ෂිත බන්ධනාගාරයේ සිටින නිශාන්ත රණතුංග මහතාගේ ප්‍රතිශෝධන අයදුම්පත පිලිබඳ නියෝගය ඊයේ (16) පෙරවරුවේ කොළඹ අංක 7 මහාධිකරණයේ දී නිකුත් කිරීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවට පැමිණි නිශාන්ත රණතුංගගේ සොයුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහාධිකරණ සංකීර්ණයේ දී ජාතික රුපවාහිනී කොළඹ වාර්තාකරු එස්.ගුණරත්නම් මහතා ඇතුළු මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් බන වැදුණේය.

මාධ්‍යවේදීන් අධිකරණ සංකීර්ණයේ සිට නඩුව සඳහා නීතීඥයන් හා පෙත්සම්කාර පාර්ශවයේ පිරිස පැමිණෙන අයුරු වීඩියෝ ගත කරමින් සිටින විට මාධ්‍යවේදී එස්.ගුණරත්නම් අසලට පැමිණි ධම්මික රණතුංග “එක එක්කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලට කවුද අවසර දුන්නේ.උඹලට ඕනේ විදිහට අපේ මුහුණු වීඩියෝ කරන්න පුලුවන්ද ” යනුවෙන් අසා ඇත.

එවිට මාධ්‍යවේදී එස්.ගුණරත්නම් ” මහත්තයෝ අපි කරන්නේ අපේ රස්සාව .එකට අපි ඔබතුමාගේ අවසර ගන්න ඕනේ නෑ.වරදක් කලානම් ඔබතුමා එකට පියවර ගන්න. “යැයි පැවසීය.

” වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මං කවුද කියලා.බලපල්ලා මම උඹලාට කරන දේ ” යැයි පවසමින් ඔහුගේ ජංගම දුරකතනයෙන් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගත්තේය.

ඉතා අසංවර ලෙස හා ආවේගශීලීව අධිකරණ භූමියෙ හැසිරුණු ඔහු සමග විවාදයට නොගිය මාධ්‍යවේදීන් අදිකරණ සංකීර්ණයේ සිටි පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන පිලිබඳ දැනුම් දී නඩුව අවසානයේ කෙසෙල්වත්ත පොලිසියේ පැමිණිලි කර ඇත.එස්.ගුණරත්නම් මහතාගේ පැමිණිල්ල සනාථ කරමින් එම අවස්ථාවේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙක් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත.

එම සිද්ධියෙන් පසුව මාධ්‍යවේදීන් හමුවට පැමිණි ධම්මික රණතුංගගේ මව තම පුත්‍රයාගේ අසංවර හැසිරීම පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් සමාව අයැද සිටියාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.