කවුද මේ පොඩි කොල්ලා…

Sri Lanka Australia CricketKusal mendis 4නුවරින් පටන් ගන්නට හිටි  පාද යාත්‍රා පේරාදෙණියෙන් ගමන් අරඹා කොළඹට එනවිට කොළඹ ඇත්තන් බලාගෙන සිටියේ පාද යාත්‍රාව නොගිය නුවර දිහාවටය. කාලෙකට පසු නුවර බලාපොරොත්තු සහිත නුවරක් කළ කොලුගැටයා ගැන පාද යාත්‍රාවටත් වඩා වැඩිපුර අපේ ඇත්තෝ කතා කළහ. අජූත වෙන්න ගුටි කමින් සිට අපේ කණ්ඩායමට පණ කෙන්දක් දෙන්නට එකෙක් පේන ඉසව්වක ඇතැයි අපට නොසිතුන කාලයක මේ කොලු ගැටයා බලාපොරොත්තු අරගෙන ආවේය.  රටම රුයිතෙට යන කාලයක ක්‍රිකට් කෙලියත් අවකෙලියක් නොකර පුංචි අස්වැසිල්ලක් ගෙනා මේ කොලුවා ගැන දකිනවිට අපේ බොහෝ දෙනෙකුට හිතුනේ දැන්නම් පැරදුනත් නම්බුවට කියාය. මොකද අපි පහුගිය වකවානුවේම පැරදුනේ විලි ලජ්ජාවක් නැති විදිහට නිසාය.

මේ කොලුවා කුසල් මෙන්ඩිස්ය. ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේය. තාම 21 හැවිරිදිය. ලංකාවේ 132 ටෙස්ට් ක්‍රීඩකයා වූ කුසල් ඉතිහාසයට එක්වුනේය. ඒ ශතක ලාභී ලාබාලම ලාංකික ක්‍රීඩකයා ලෙසය. මේ වනවිට ඔහු නොදැවී ලකුණු 169 ක් ලබාගෙන තිබෙන්නේය. ඒ ලකුණු 169 ලබා ගන්නේ පන්දු 243 දී ය. එක් හයේ පහරක් සමග හතරේ පහර 20 ක් ඊට ඇතුළත් වුනේය. එකම හයේ පහර කුසල් එල්ල කළේ සිය ශතකය ලබා ගන්නටය.

Sri Lanka's Kusal Mendis celebrates scoring his maiden century, as Australian wicketkeeper Peter Nevill watches on day three of the first test cricket match between Sri Lanka and Australia in Pallekele, Sri Lanka, Thursday, July 28, 2016. (AP Photo/Eranga Jayawardena)

ලාබාලම ක්‍රීඩකයෙකුගේ ටෙස්ට් ශතකය පිළිබද මීට කලින් වාර්තාව තියා තිබුණේ රුමේෂ් කලුවිතාරණය. කලු ලාබාලම ක්‍රීඩකයා ලෙස ශතකය සහිත වාර්තාව තබනවිට ඔහුගේ වයස අවුරුදු 22 දවස් 257 ක්ය. කුසල් ශතකය ගන්නාවිට ඔහුගේ වයස අවුරුදු 21 දවස් 177 ක්ය.

ඒ හැරුණුවිට ඔස්ට්‍රෙලියාවට එරෙහිව මෙතෙක් වාර්තා කළ වැඩිම ලකුණු ලාභීන් අතර දැන් කුසල් ඉන්නේ දෙවෙනියාටය. පළමු වැනි තැනට යන්නට තවත් ලකුණු 24 ක් අඩුය. ඒ වාර්තාව තිබෙන්නේ සංගාටය. සංගා වර්ෂ 2007 දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව ලකුණු 192 ක් රැස් කළේය.

ඔස්ට්‍රෙලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දී දැනට පෙනෙන හැටියට අප ඉන්නේ නම්බුකාර තැනකය. ඒ නම්බුකාර තැනට අපව ගෙනාවේ කුසල්ය. පළමු ඉනිම 117 දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියානුවන්ව ලකුණු 203 දවා ගත්තේය. ඔස්ට්‍රෙලියානුවන් සිටියේ ලකුණු  86 ක් ඉදිරියෙනි. දෙවන ඉනිම ආරම්භ කළ ලංකාව  තෙවන දිනය අවසන් වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටින්නේය. දැනට ඔස්ට්‍රෙලියාවට වඩා ලකුණු 196 ක් ඉදිරියෙන් ඉන්නේය. කුසල් මේ වනවිට ලකුණු 169 ලබාගෙන නොදැවී ක්‍රීඩා කරන්නේය.Sri Lanka Australia Cricket

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්ගේ මේ ප්‍රවිශ්ටය අහම්බයක් නොවන බව දන්නේ ක්‍රීඩාවේ පරිපාලනය ය. කුසල් මීට වසර දෙකකට පෙර එනම් 2014 දී ලංකාවේ 19 පහළ කණ්ඩායමේ නායකයා. කුසල්ගේ සුපිරි ක්‍රීඩා විලාශය දුටු ක්‍රිකට් පරිපාලනය ඔහු මාස 6 ක් එංගලන්තයට යවා එහි තණතීරුවල පුහුණුවක් ලබා දුන්නේය. අත්දැකීම් ලබා දුන්නේය. ඒ අත්දැකීම් තමන්ගේ 7 ටෙස්ට් තරගයේදී මුහුකුරා ගිය වග කුසල් අපට පෙන්වා දුන්නේය.

කුසල් මෙන්ඩිස් දැනට ක්‍රිඩා කරන්නේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිඩා සමාජයටය. ඔහුතවම පළමු පෙළ තරග ක්‍රීඩාකර ඇත්තේ 23ක් පමණය. ලංකාවේ බර තනියම උරට ගෙන රටම ගොඩ දැමූ මේ ක්‍රීඩකයා ගැන වරක් ඇන්ජලෝ මැතිවුස් මෙසේ කියා තිබුණේය.

“වෙල් ඩිසිප්ලින් ක්‍රිකටර් කෙනෙක්… පොඩි එකා හරිම ඩීසන්ට් ක්‍රිකට් එකක් කරන්නෙ… කවදහරි ශ්‍රි ලංකා ටීම් එකේ කැප්ටන් වෙන ලකුණු මේ පොඩි එකා පෙන්නලා තියනවා…”

දැන් අපටත් බලාපොරොත්තුවක් තිබේ. එහෙත් වැදගත් වන්නේ රටක ප්‍රාර්ථනාව හා වගකීම් වටහාගෙන කල්පනාවෙන් වැඩ කළ හැකි විචාර බුද්ධිය ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.