කළුකොඳයාවේ පඤ්ඤාසේකර නා හිමි සමාධිය ඉවතට… උපදෙස් කාලි කෝවිලේ කට්ටඩියෙකුගෙන්…

kalukondayawe himi 11කරන ලදැයි කියන හූනියමකින් බේරීම සදහා නගමුව කාලි කෝවිලේ කට්ටඩියෙකු විසින් භූමියේ මිනී අලු ඉවත් කිරීමට ලබාදුන් උපදෙස් මත ජාතියේ විශිෂ්ට පඩිරුවනක් හා මුණිවර හිමි නමක් සේ සම්භාවනාවට ලක් වූ අතිපූජ්‍ය කළුකොඳයාවේ ශ‍්‍රී පඤ්ඤාසේකර හිමිපානන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සමාධිය කඩා ඉවත් කිරීමට උන්වහන්සේ වැඩ වාසයකළ නවගමුව ශ‍්‍රී සුගත බිම්බාරාමයේ වත්මන් තාවකාලික විහාරාධිපති මල්වානේ පඤ්ඤාසාර හිමියන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

කළුකොදයාවේ ශ‍්‍රී ප‍්‍රඥාසේකර නාහිමිපාණන් වහන්සේ...
කළුකොදයාවේ ශ‍්‍රී ප‍්‍රඥාසේකර නාහිමිපාණන් වහන්සේ…

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ගැන දැඩි විශ්වාසයකින් පසුවන මේ හිමියන් කළුකොදයාවේ ශ‍්‍රී ප‍්‍රඥාසේකර නාහිමියන්ගේ සමාධිය ඉවත් කිරීම සඳහා විහාරභූමියේ ඇති කාලිකෝවිලේ යාගයක්ද සිදුකර තිබේ. එක්වරම මෙම සමාධිය කඩා දැමීමට නොහැකි නිසා කළුකොඳයාවේ මහානාහිමි ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති හිමිවරුන් සිව්නමකගේ පිළිරූ හතරක් පත්තිනි දේවාලය අසල ඉදිකරමින් ඇති නමුත් ඒ පිළිමවල භෂ්මාවශේෂ තැන්පත් කිරීමට කිසිදු සැලසුමක් නැතැයි ද සමාධියෙන් ඉවත් කරනු ලබන මහානාහිමියන් ඇතුළු හිමිවරුන්ගේ භෂ්මාවශේෂ නවගමුව සුසාන භූමියේ වල දැමීමට දැනටමත් සැලසුම් සකස්කර ඇතැයි තතු දත් ආරංචිමාර්ග හෙළි කරයි.
දැනට විහාරස්ථානයේ තාවකාලිකව විහාරාධිපති ධූරය දරන මල්වානේ පඤ්ඤාසාර හිමියන්ගේ විහාරාධිති ධූරය පිළිබඳ හෝමාගම අධිකරණයේ (6965/විශේෂ)  නඩුවක්ද විභාග වෙමින් තිබේ.

නා හිමිපාණන්ගේ සමාධිය
නා හිමිපාණන්ගේ සමාධිය

කළුකොඳයාවේ ශ‍්‍රී පඤ්ඤාසේකර නාහිමිපාණෝ ලංකාවේ මෑත යුගයේ පහළ වූ විශිෂ්ඨ සංඝ පීතෘන්වහන්සේ කෙනෙකි. විශිෂ්ට ශ‍්‍රාස්ත‍්‍රීය කටයුත්තක් සේ සැලකෙන ලංකාවේ පුවත්පත් සගරා ඉතිහාසය නමැති ඛාණඩ 9 යුතු පර්යේෂණ කෘති මාලාව සම්පාදනය කළෝ එතුමෝය. ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරය දැරූ උන්වහන්සේ කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති හා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සමාරම්භක සිංහල අංශ ප‍්‍රධානීන් වහන්සේ වූහ. දිවංගත අගමැති ඇස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ සිංහල ගුරුවරයා වූයේද උන්වහන්සේය. වර්ෂ 1956 බණ්ඩාරනායක රජය විසින් පත්කළ බුද්ධශාසන කොමිසමේ සභාපති මෙන්ම ලෝක බෞද්ධ සංගමයේ සභාපති වූයේද එතුමෝය.
කළුකොඳයාවේ  ශ‍්‍රී ප‍්‍රඥාශේඛර නාහිමියන් 1979 දී අපවත් වූ පසු උන්වහන්සේගේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ජනපති ජේ.ආර් ජයවර්ධන, අගමැති ආර්. පේ‍්‍රමදාස සහ විපක්ෂ නායක අමිර්තලිංගම් යන මහත්වරුන් හා තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කර එම භෂ්මාවශේෂ විශේෂ පෙරහැරකින් වැඩමවාගෙන අවුත් මහානාහිමියන් විහාරාධිපතිත්වය දැරූ පත්තිනි දේවාලය සහිත නවගමුව ශ‍්‍රී සුගතබිම්බාරාම විහාර භූමියේ විශේෂ සමාධියක් ඉදිකර තැන්පත් කෙරිණ. එය විවෘත කරන ලද්දේ රණසිංහ පේ‍්‍රමදාස මහතා සහ එවකට අධ්‍යාපන ඇමතිව සිටි වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.
කට්ටඩියෙකුගේ උපදෙස් මත හදි හූනියම් වලින් බේරෙන්නට සමාධිය කඩා ඉවත්කර සුසාන භූමියේ වලක වල දමන්නට හදන්නේ මෙවැනි මුණිවර හිමි නමකගේ භෂ්මාවශේෂ බවත් මෙවැනි කටයුත්තකට බෞද්ධ භික්ෂූන්ම සම්බන්ධ වීම මහා ඛේදවාචකයක් බවත් ශාසන භාරධාරී හිමිවරු පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.