කැබිනට් සංශෝධනයෙන් තොන්ඩමන්ට සහ දේවානන්දටත් ඇමතිධුර.

thondevaප්‍රබල ඇමැති ධුර කිහිපයක වෙනසක්‌ සිදු කරමින් ඉදිරි දෙසතිය තුළ කැබිනට්‌ සංශෝධනයක්‌ සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙහිදී කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරුන් දෙදෙනකුගේ ඇමතිධුර වෙනුවට වෙනත් ඇමැතිධුර ලබා දීමට නියමිතය. මේ ඇමතිවරු දෙදෙනා පසුගිය කාලයේ විවිධ චෝදනාවන්ට ලක්‌ වූහ. එම එක්‌ ඇමතිවරයකුගේ ඇමතිධුරය එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරක්‌ දරන කෑගල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ඇමතිවරයෙකුට හිමිවීමට නියමිතය.

එසේම පසුගිය කාලයේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්‌වූ තිලක්‌ මාරපන මහතාට මෙවර ප්‍රබල ඇමති ධුරයක්‌ හිමිවීමට නියමිතය.

මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුගේ ඇමති ධුරයද වෙනස්‌ කරන්නට නියමිත අතර එම ඇමති ධුරය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇමතිවරයෙකුට හිමි වනු ඇත.

තමාගේ ඇමැති ධුරය වෙනස්‌ කරන්නේ නම් තමාට වරාය ඇමතිධුරය හෝ නාගරික සංවර්ධන ඇමති ධුරය අවශ්‍ය බව මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ඇමතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානීන්ට දන්වා ඇත. යම් ලෙසකින් එලෙස වෙනස්‌ කරන්නේ නම් ක්‍රීඩා ඇමති ධුරයේද වෙනසක්‌ සිදු කරන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.

මේ අතර මෙවර කැබිනට්‌ සංශෝධනයේදී තොණ්‌ඩමන් හා ඩග්ලස්‌ දේවානන්දා යන සුළු ජාතික පක්‍ෂ නායකයන්ටද කැබිනට්‌ ඇමති ධුර ලබාදීමට නියමිතය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනකුට නියෝජ්‍ය ඇමතිධූර හා රාජ්‍ය ඇමතිධුර ලබාදීමටද නියමිතය.

ගාල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන දෙදෙනකු හා බදුල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකුට මෙලෙස තනතුරු හිමිවනු ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ආණ්‌ඩුවට එක්‌ වන බවට පැතිරයන ආරංචිවලට ප්‍රතිචාරයක්‌ ලෙස ලබන සතියේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුළ වෙනම පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමක්‌ පවත්වන්නටද ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරමින් සිටී.

යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනයට විරෝධය දක්‌වන්නට ඒකාබද්ධ විපක්‍ෂය දැනටමත් තීරණය කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය නැමති ජනප්‍රිය මාතෘකාව ඉදිරියට දමා රටේ ඒකීයභාවය නැති කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නට රජය කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මතය වී තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල පාර්ශ්වයන් හැර අනෙකුත් සියලු දෙනා එක්‌කර ගෙන ඉදිරියට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් රජයට එක්‌ව සිටින පිරිසේ මතය වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.