කුමාර ගුණරත්නම් වසරකට හිරේ

kumarආගමන විගමන පනත උල්ලංඝනය කරමින් නීති විරෝධීව ශ්‍රී ලංකාවේ රැදී සිටීමේ චෝදනාවට වැරදිකරු කරමින් කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන සභික කුමාර් ගුණරත්නම්ට මීට මොහොතකට පෙර වසරක සිර දඩුවමක් හා රු.50000ක දඩයක් නියම කර ඇත.

ඕස්ට්‍රේලියා පුරවැසියෙකු වන ඔහු ඉකුත් වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබු අතර රුවන්වැල්ලේ ඔහුගේ මවගේ නිවසේ සිටින විට ගිය වසරේ නොවැම්බර් 4 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

කිහිප වරක්ම මෙම නඩුව විභාග කල නමුත් අද දින එම තීරණය මෙලෙස ලබා දී ඇත.

කලක් ජවිපෙ මුල් පෙළ නායකයෙකු වූ ඔහු එම පක්ෂයේ මත ගැටුමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් නොයෙල් උදලිගේ නමින් පුරවැසිභාවය ලබාගෙන ඇත.

පසුව ඉකුත් රාජපක්ෂ රජය සමයේ පළමු වරට ඔහු මෙරට පුරවැසියෙකු නොවී සිටියදී සංචාරක වීසාවකින් පැමිණ දේශපාලන කළ බවට චෝදනා ලැබ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේද මැදිහත්වීමෙන් පිටුවහල් කෙරිණි.

ඉක්බිතිව ඉකුත් ජනාධිපතිවරණ සමයේ කිසිදු නීතිමය හෝ වෙනත් බලපෑමකින් තොරව ප්‍රසිද්ධියේ ලංකාවට පැමිණි ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරත විය.

වරෙක දැඩි තාඩන පීඩනවලට ලක්ව රටින් පිටමං කළ ඔහු ඒ රජයේම ආශිර්වාදය සහිතව මැතිවරණ සමයක පැමිණ දේශපාලන කටයුතු වල නිරතවීම පිළිබඳ බොහෝ දෙනෙකු විවිධ මත පළකරනු ලැබූවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එකී රජයේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් තමන් විසින් ඉටුකරන බවට නැඟුණු චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු කුමාර් ගුණරත්නම් නමැති අය ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටින බවට ආගමන විගමන නිලධාරීන් විසින් පෙන්වාදීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙතෙම රටින් පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

කෙසේවෙතත් පෙත්සම සලකා බැලූ නඩු වාර කිහිපයකට පසුව 2015 පෙබරවාරි මස 18 වන දින
මූලික අයිතිවාසිකම් පෙත්සම යළි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පුද්ගලයා රටින් පිටුවහල් කිරීමට හැකි බව දැනුම් දුන් අතර අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර යන විනිසුරුවන් හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.

ඉන්පසුව සැඟවී සිටි කුමාර් ගුණරත්න මහතා  අත්අඩංගුවට ගැනුණු අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරින් වර රිමාන්ඩ් කළ අතර එම නඩුවේ අවසන් තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.