ජන සටන පා ගමනට එරෙහිව අධිකරණය ක්‍රියාත්මක වෙයි… යූඑන්පි ප්‍රවර්ධනටත් තහංචි…

jana-satana2-1

ඒකාබද්ධ විපක්ෂය හෙට මහනුවරදී ආරම්භ කිරීමට සැලසුම් කළ ජන සටන පාද යාත්‍රාවට මහනුවර නගරයට හා මාවනැල්ල නගරයට ඇතුළුවීම තහනම් කරමින්  මහනුවර හා මාවනැල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරු අද (27) තහනම් නියෝග දෙකක් නිකුත් කළහ.

ඒ    සමගම සෑම ආසන සංවිධායකවරයෙක්ම සාමාජිකයන් 500 බැගින් ගෙන්වා විශාල ජන සන්නාපාතයක් රැස් කර එක්සත් ජාතික පක්ෂය විසින් මහනුවර දියත් කිරීමට සැලසුම් කළ ප්‍රවර්ධන වැඩසටහන සවස 2 න් පසුව ආරම්භ කිරීමට අධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත් අධිකරණ නියෝගවලට ගරු කරමින් ජන සටන පාද යාත්‍රාව කරන බව ඒකාබද්ධ විපක්ෂය කියන අතර අධිකරණ නියෝගවලට පටහැනිව නොයා  තම ප්‍රවර්ධන වැඩසටහන කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන ආරම්භ කිරීමට  සූදානම් කර තිබුණේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසනි. ඒ උදේ 8.30 ටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි මූලිකත්වය ගන්නා අතර ඒකාබද්ධ විපක්ෂයට අයත් සියලු කණ්ඩායම් ස්වකීය ජවය හැකි උපරිමයෙන් පෙන්වන ප්‍රධානම අවස්ථාව මෙය කරගෙන සිටියහ. පා ගමනේ සටන් පාඨ වුනේ ව්‍යවස්ථා මර උගුලින් රට ගලවා ගමු, එට්කා අහෝසි කරනු, වැට් වැඩිවීම අහෝසි කරනු ඇතුළු මෑත වකවානුවේ ජනතාවට දැනුණු ප්‍රශ්නය. කෙසේ වෙතත් මේ වනවිට මහනුවර නගරයට පිවිසීම පෙළපාලියට තහනම් කර ඇති බැවින් පා ගමන ගැටඹේ දේවාලය අසලින් ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්ෂය අද සවස් වනවිට සූදානම්ව සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන රැස්වීමද සූදානම් කර ඇත්තේ  ගැටඹේ දේවාලය අසලය. ඒ අසලට හැකි උපරිම පාක්ෂිකයන් ප්‍රමාණයක් ගෙන්වීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබුණේය.

මාවනැල්ල නගරයට ඇතුළුවීම ජන සටන පා ගමන මාවනැ්ලලට ඇතුළුවන්ට සැලසුම් කර තිබුණේ අනිද්දා ( 29) ය.  පා ගමනට මාවනැල්තල හනම් වන නිසා ඔවුන් මාවනැල්ල පසු කිරීමට විකල්ප ක්‍රමයක් භාවිත කළ යුතුය. මේ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනතාව අමතන ජන රැළි ගණනක් නුවර සිට මාවනැල්ල දක්වා සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ. අතාර්කික සටන් පාඨ සහිත මේ අනවශ්‍ය ජනතා කලබැගෑණිය කරන්නේ රජය හොරුන් හා අපරාධකරුවන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන නිසා මිස සැබෑ ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට නොවන බව එක්සත් ජාතික පක්ෂය කියයි.

කෙසේ වෙතත් පොලිස් බුද්ධි අංශ වාර්තා කරන්නේ හෙට (28) සිට ලබන 1 දා දක්වා කාලය තුළ යම් ගැටුම්කාරී තත්වයක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.