ඩොලර් පක්ෂියා රටෙන් පනී

 

one-dollar-bill

 

ඩොලර් ලක්ෂ ගණනක මුදල් බංග්ලාදේශයෙන් ගෙන්වා ගැනීමට තැත් කළ ශාලිකා පදනමේ සභාපති වරයා රටින් පැන  ගොස් ඇති බව පොලීසිය කියා සිටී.

‘‘මේ පුද්ගලයා හොයාගන්න අපි ඉන්ටපෝල් සහය ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.ඔහු ජපානයේ සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.නමුත් දැන් වෙනත් රටකට ගිහිල්ලා කියලත් හිතන්න පුලුවන්.‘‘ පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පදනම දෙහිවල පිහිටා තිබු අතර ඒ පිළිබඳව සෙසු රාජ්‍ය නොවන සංවිධාන අතරේ පවා දැනුවත් බවක් තිබී නැත.

සංවිධානයේ කාර්යාලය සෝදිසි කළ පොලිසිය එහි තිබූ පරිගණක හා වෙනත් උපකරණ අත්අඩංගුවට ගත්තේය.එහි සිටි එක් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කෙරුණද මේ දක්වා කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් නිලධරයෝ පවසන්නෝය.

පිලිපීනයේ බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 810 ක මුදලක් වංචනික ලෙස බැර කළ චීන හැකර්වරුන් පිරිසක් තවත් ඩොලර් ලක්ෂ 20 මුදලක් මෙම රාජ්‍ය නොවන සංවිධානයට අයත් බැංකු ගිණුමට බැර කිරීමට යාමේදී මෙම තොරතුරු අනාවරණය විය.

හැකර්කරුවෝ

රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම අයත් පෑන් ඒෂියා බැංකුවේ එම අවස්ථාවේ සිටි නිලධරයා මේ සා මුදලක් එකවර බැර කිරීම ගැනත්,ගිණුම් හිමියාගේ නම වූ රාජ්‍ය නොවන සංවිධානයේ නම වැරදි ලෙස සඳහන් කර තිබීමත් ගැන සැක සිතා අදාළ නිලධරයින් දැනුම්වත් කිරීමට කටයුතු කළේය.

මෙම මුදලේ නිසි හිමිකරු වන්නේ බංගලිදේශ මහ බැංකුවයි.එහි වෙබ් අඩවියට කඩාවැදී ඇති හැකර්කරුවෝ සංකේත හා වෙනත් තොරතුරු සොරාගෙන එක්සත් ජනපදයේ රාජ්‍ය සංචිත වලින් ඩොලර් ලක්ෂ ගණනක් පිලිපීනයේ සහ ශ්‍රීලංකාවේ බැංකු ගිණුම් වලට බැර කිරීමට උත්සාහ කර ඇත.එක්සත් ජනපද රාජ්‍ය සංචිත වල ඇති බංගලාදේශයට අයත් ඩොලර් බිලියනයක මුදලක් මෙසේ ලබාගැනීම ඔවුන්ගේ සැළසුමවී තිබේ.

අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ පරිගණක අපරාධ පිළිඹද ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේය.

ශාලිකා පදනම දුගී ජනතාවට උපකාර කිරීමේ සහ ඔවුන්ට නිවාස ඉදිකර දීම වෙනුවෙන් බව සඳහන් කර පිහිටුවා තිබෙන්නක් බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.