තරුණ අසහනයට සහන…………….?

threewheelආටා එකේ යන්නේ වැහිදාට විතරද?
පුංචි අපට නැද්ද ඉඩක්?
හැට පැන්නත් හැන්දෑවට ගෙදර!
බොක්කෙන් මල් කැඩූ කාලේ කෙක්කෙන් පොල් කැඩුව නම් අද මන් ගොඩ.
පුංචි කමට දඟ කළාට එපා රවන්න!
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කලක් තරුණයින්ට “රත්ත්‍රන් බ්‍රේස්ලට්” සමග “චුයින්ගම් ” ලබාදීමට පොරොන්දු වෙමින් ඡන්ද ඉල්ලා සිටියේය. ඒ 2001දී ය. රැකියාවක් ලබාදෙන තෙක් “ඩෝලයක්”දීමටද ඔහු එදා තරුණයින්ට පොරොන්දු විය. එසේ පොරොන්දු වෙමින් අගමැති වූ ඔහු”රත්ත්‍රන් බ්‍රේස්ලට්”, “ඩෝල” කෙසේ වෙතත් ඕනෑම දේශපාලකයෙකු තම ආධාරකරුවකුට දෙන රජයේ “පියුන්” තනතුරක් පවා නොදීමට “ප්‍රතිපත්තිමය” තීරණයක් ගත්තේය. එදා ඔහුගේ එම තීරණය තවත් වසර ගණනාවක් ඔහුට විපක්ෂ නායක තනතුර දැරීමට අවස්ථාව උදාකර දෙන ලදී. එක දිගට සෑම ඡන්දයක්ම පරාජය වූ ඔහු 2015 දී මෛත්‍රීපාල සිරිසේන ඉදිරියට දමා මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට කටයුතු කළ අතර තරුණයින්ට ඉහල තත්වයේ රැකියා දශ ලක්ෂයක් ලබාදීමට පොරොන්දු විය.එම අරමුණ ජය ගැනීමටදෝ ඔහු මේ දිනවල ඉන්දියාවට ලංකාවේ ශ්‍රම වෙළඳපොල විවෘත කිරීමට ඉඩ දෙමින් “ETCA ” ගිවිසුම ඉන්දියාව සමග අත්සන් කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී. ඒ රනිල් වික්‍රමසිංහ ලංකාවේ තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට විසඳුම් සෙවූ සහ සොයමින් සිටින ආකාරයයි.
එහෙත් මේ ලිපියෙන් අප සාකච්චා කරන්නේ තරුණයින්ගේ විරැකිය ප්‍රශ්නයට රනිල්ගේ විසඳුම් ගැන නොවේ. රනිල්ගේ මාමා වූ ජේ.ආර්.ජයවර්ධන ක්‍රියා මාර්ගයන් නිසා මෙරට ඇති වූ නව රැකියා පද්ධතියක් පමණක් ම නොව උප සංස්කෘතියක් පිළිබඳව සාකච්චා කිරීමයි.
පුර්විකාවක් ලෙස මෙහි ආරම්භයේදීම දක්වා ඇති වැකි කියවන විටම අප සාකච්චා කරන්නට සුදානම් වන මාතෘකාව ඔබට පැහැදිලි වනු ඇත.
1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන එතෙක් මෙරට පැවති සමාජ, ආර්ථික,දේශපාලන තත්වයන් උඩු යටිකුරු කර දැම්මේය.ඒ විවෘත ආර්ථික ප්‍රතිපතිය න මෙරටට හඳුන්වා දෙමිනි.
විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග මෙරට ඇති වූ නව රැකියාවක් වුයේ “ආටා ” එකක් එසේත් නැත්නම් ත්‍රීරෝද රථයක් කුලියට දුවමින් එදිනෙදා වියදම සරි කර ගැනීමයි. ආරම්භයේදී අද ලංකාවේ මෙන් සෑම අස්සක් මුල්ලක් නෑරම තුන් රෝද රථ දැක ගැනීමට නොවීය. මුලින්ම එය භාවිත වුයේ නගරබදවයි.ක්‍රම ක්‍රමයෙන් එය ගම කරාද ව්‍යාප්ත වූ අතර අද වන විට එය “පවුලේ වාහනය” ලෙස විරුදාවලි ලබන තරමට සෑම නිවාස දෙක තුනකට එකක් වන්නට මෙන් ව්‍යාප්තව පවතී.
මේ වන විට ලංකාවේ තුන්රෝද රථ කීයක් ඇත්දැයි නිවැරදිව කිව නොහැකි තරමට තුන්රෝද රථ ලංකාවේ පවතී. බොහෝ දෙනෙක් ස්වයං රැකියාවක් ලෙස මෙම කර්මාන්තයේ නියැලෙන අතර එය කිසිවෙකුට අත නොපාන එමෙන්ම කිසිවෙකුට යටත් නොවන රැකියාවක් ලෙස ඔවුහු අගය කරති.
ඇත්තෙන්ම බලයට පත්වන රජයන්ටද මෙමගින් උදාකර දී ඇත්තේ ඉතා සහනදායී තත්වයකි.මන්ද රැකියා ඉල්ලමින් කරදර කරන පිරිසක් එමගින් අඩු වන බැවිනි.
පොදු ජනතාවට මෙමගින් ලබාදෙන සේවය ඉමහත් බව කිව යුතුමය.ඕනෑම හදිසි අවස්ථාවක දී පිහිට වන දුප්පතාගේ හිතවතා බවට “ත්‍රීවීලරය” අද පත්ව ඇත.
මෙසේ අනභිභවනීය සේවයක් සිදු කරන මෙම කර්මාන්තය මගින් මෙරට සමාජාර්ථික දේහයට සිදුකරමින් පවතින හානිකර තත්වය පිළිබඳවද අප අවධානය යොමු කළ යුතුමය.
එම හානිදායක තත්ත්වයන් ආර්ථික හා සමාජයීය වශයෙන් දෙයාකාරයකින් පෙන්වාදිය හැකිය.
ආර්ථිකමය වශයෙන් ගත කල කෙතරම් සේවයක් සිදු කලද මෙම එක ද තුන්රෝද රථයක් හෝ මෙරට නොනිපදවන බවත් අපගේ විදේශ විනිමයන් ඉන්දියාවට පොම්ප කරමින් කිසිදු සීමාවකින් තොරව මෙරටට ආනයනය කරනු ලබන බවත් අප සිහි තබා ගත යුතුය. එමගින් සිදුවන ආර්ථික පාඩුව තීව්ර වන්නේ මෙම රථ කිසිවක් අවුරුදු 05 කට වඩා හොඳ තත්ත්වයෙන් ධාවනය කිරීමට අපහසු වන බැවින් නැවත නැවතත් ඉන්දියාවෙන්ම මේවා ආනයනය කිරීමට සිදුවන බැවිනි.මෙමගින් අපගේ ආර්ථිකයට සිදු වන පාඩුව ඔබට සිතාගත හැකිවනු ඇත.
දෙවනුව සමාජමය වශයෙන් සිදුවෙමින් පවතින හානිය වන්නේ මෙරට තරුණ පරපුර ඉතාමත් අලස, කිසිදු නිෂ්පාදනයකට දායක නොවන , පිරිසක් බවට මෙමගින් පත්කරමින් පැවතීමයි.පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වන හෝ ,පාසල් හැර යන බොහෝ තරුණයින් තෝරා ගන්නා රැකියාවක් බවට ත්‍රීරෝද රථයක් කුලියට දිවීම දැකිය හැකිය.පාසල් හැර යන්නන් පමණක් නොව හමුදා සේවයේ කාලය සම්පුර්ණ කර ඉන් ඉවත් වුවන් මෙන්ම හමුදා සේවයෙන් පලාගියවුන් බහුතරයක් ද , විදෙස් රැකියාවකින් කිසියම් මුදලක් සොයාගත් පිරිස් ද එම මුදල් යොදවා ත්‍රීරෝද රථයක් ගෙන කුලියට දිවීම ලංකාවේ අද සුලභ තත්වයක් බවට පත්ව ඇත.
සමාජමය වශයෙන් සිදුවන අනෙක් වන්නේ මෙලෙස ත්‍රීරෝද රථයක් ධාවනයට එක්කර නගරයේ නගරයේ හෝ ආසන්න හන්දියක ත්‍රීරෝද රථ ගාලක තමන්ට වාරයක් පැමිණෙන තෙක් බල සිටින තරුණයින් කාලය ගෙවීමටත් සමග මත්පැන් සහ දුම්පානයට ඇබ්බැහි වෙමින් පැවතීමයි.එම ඇබ්බැහි වීම සමහර විට සහ වෙනත් මත්ද්‍රව්‍ය දක්වා ද ව්‍යාප්ත වුනු අවස්ථා මෙම සමාජයේ ඉතා සුලභය.

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියකට දායක නොවෙමින්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙමින් පවතීනම් එරට අනාගත ඉරණම කෙසේ වනු ඇත්ද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.