දැන් ඉවත්වෙන්න… සනත් කී නිසා ඩිල්ෂාන් සමුගනී…

tillakaratne-dilshanතිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළේය. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග ලබන ඉරිදා පැවැත්වෙන තුන්වන තරගය ඔහුගේ අවසන් එක්දින තරගය වනු ඇත. ඔස්ට්‍රේලියාව සමග වූ පන්දුවාර 20 විස්ස තරගාවලිය ඔහුගේ අවසන් 20 විස්ස තරගාවලිය ය.

ඩිල්ෂාන් සුපරි පිතිකරුවෙක් බව සැබෑය. ක්‍රිකට් ක්‍රීඩාවට   ඩිල්ස්කූප් නැමැති විශේෂ පහර හදුන්වා දුන්නේ ඩිල්ෂාන්ය. වර්ෂ 1999 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනාගත් ඩිල්ෂාන් පුරා වසර 17 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය. එක්දින තරග 329 ක් සදහා ලංකාව නියෝජනය කළ ඩිල්ෂාන් ශතක 22 ක් හා අර්ධ ශතක 47 ලබාගෙන තිබිණි. දගපන්දු යවන්නෙක් ලෙස කඩුලු 106 බිද හෙලා තිබිණි. ලෝක එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර 11 වන තැනත්, වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කී‍්‍රඩකයන් අතර   9 වන ස්ථානයේ  ඩිල්ෂාන් පසුවුනේය.

ඩිල්ෂාන් එක්දින ජාත්‍යාන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කළේ මේ අතරය. මේ සමුගැනීම පිළිබදව කතාවක් ද තිබේ. වයස 40 ට ආසන්න ඩිල්ෂාන්ට ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමුගැනීමට එහෙමටම අවශ්‍යතාවක් තිබුණේ නැත. එහෙත් තරගාවලියට පෙර ඩිල්ෂාන් ඇමතූ සනත් ජයසූරියගේ ක්‍රිකට් තේරීම් කමිටුව දැන් නවක ක්‍රිඩකයන්ට අවස්ථාව ලබා දිය යුතු බැවින් ගෞරාවන්විතව ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව ඩිල්ෂාන්ට මතක් කළේය. අනතුරුව තේරීම් කමිටුව මේ තරගාවලිය සදහා ඩිල්ෂාන් ට අමතරව ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් සංචිතගත කර තිබිණි. ඔහුගේ සමුගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේ ඒ ආකාරයටය.  ඩිල්ෂාන්ගේ ඉල්ලා අස්වීම තීන්දු වන්නේ ඒ අනුවය.

දැන් සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ගත් ආන්දෝලනාත්මක තීන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ගවු ගණනක් උඩට උස්සා තබා තිබේ. එහෙත් නායකයා සතුව මෙතෙක් තිබූ අධිකාරිය බිද දමමින් ගත් මේ තීන්දු සම්බන්ධව ශ්‍රී ලංකා නායක ඈන්ජලෝ මැතිවුස් පවා සිටියේ කැමැත්තෙන් නොවේ. පළමු එක්දින තරගය පැරදුන අවස්ථාවේදී ඈන්ජලෝ මැතිවුස් කීවේ නවක ක්‍රීඩයකන් තමන්  දැක නැති බවත් වමතින් පා දගපන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සො පන්දු යවන ආකාරය තමා දුටුවේ තරගයේදී බවත්, මේ පසුබිමේදී නිසි ලෙස ක්‍රීඩකයන් යොදා ගැනීමට තමන්ට නොහැකි වූ බවත්ය. එහෙත් අමිල අපොන්සො එම තරගයෙදී ඔහුගේ කොටස කළ බව මැතිවුස් පිළිගත්තේය.

ඇත්ත වශයෙන්ම දෙවන තරගයේදීත් අමිල අපොන්සො විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අන්ද මන්ද කර ඉනිම බිද දැම්මේය. ඩිල්ෂාන් අසාර්ථක වෙද්දී කුසල් මෙන්ඩිස් විශිෂ්ට පිතිකරණයක නිරත වුනේය.

මේ පසුබිමේදී සනත් ජයසූරිය කියා සිටියේ පුහුණු කරුවන් හා නායකයා ඇතුළු කණ්ඩායමේ ජ්‍යෙෂ්ටයින් තෝරාගත් කණ්ඩායම් පසුගිය වකවානුව පුරාම ක්‍රීඩාකළ ආකාරය තමන් දුටු බවත් දැන් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර තමන් ඇතුළු තේරීම් කමිටුව විසින් තෝරා දෙන කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට හිත හදාගන්නා ලෙසත්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.