නුගගොල්ලේ ශාලාධිපතිවරයෙක් දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය වනසයි…

හඩා වැටෙහන් සිදුවූ අවනඩුව කියන දරුවෙක්...
හඩා වැටෙහන් සිදුවූ අවනඩුව කියන දරුවෙක්…

මහියංගණය විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල විභාග මධ්‍යස්‌ථානයක ශාලාධිපතියේ වැරදි උපදෙස් මත විභාගය ආරම්භ කිරීම විනාඩි 20 ක් ප්‍රමාද වීම නිසාත්, ඒ පිළිබද  විමසීමෙදී විභාග නිරීක්ෂණය කළ ගුරුවරියන්ගේ බැණ වැදීමට ලක් වූ නිසාත් මහත් පීඩාවට පත් දරුවන් හඩා වැටෙමින් විභාග ශාලාවෙන් පිටතට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ.

තම දරුවන්ට කළ අපරාධය පිළිබද වේදනාවට හා කෝපයට පත් දෙමාපියන් පිරිසක්‌  විභාග ප්‍රශ්න පත්‍ර ගෙනගිය හා විභාග ශාලාධිපති ගමන් ගත් වාහනය ඉදිරිපිට පොල් ගසා ශාප කරන අයුරු ද  දැකගත හැකි විය. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

එම පාසලේ එක්‌ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්‌ථානයක ප්‍රශ්න පත්‍ර බෙදා දී විභාග අංකය ප්‍රශ්න පත්‍රයේ ලියන ලෙස විභාග පරීක්‍ෂණ කටයුතුවල නියෑලී සිටි ගුරුවරුන් දරුවන්ට උපදෙස්‌ දී ඇත. එසේ උපදෙස්‌ දුන් ගුරුවරුන් තමන් දන්වනතුරු විභාග උත්තර නොලියන ලෙසද පවසා ඇත. ඒ අනුව මෙම විභාග මධ්‍යස්‌ථානයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් තමන්ට විභාගය ලිවීමට සංඥාව ලැබෙන තුරු බලා සිට ඇත.

විභාගය ආරම්භ කිරීමට ශාලාධිපතිවරයා සංඥාවක්‌ දීම හෝ සීනුව නාද කර සංඥ කිරීම කළයු තු වුවත් මෙහිදී එවැන්නක්‌ සිදු නොවූ බව දරුවෝ පවසති.

ටික වේලාවකට පසු “තව විනාඩි 20 යි තියෙන්නේ කාලය අවසන් වීමට” යැයි විභාග පරීක්‍ෂණ කටයුතුවල නියැලී සිටි ගුරුවරුන් පැවසීමෙන් තමන් මහත් සේ අපහසුතාවකට පත්වූ බවත් එම දරුවෝ කියා සිටිති.

විනාඩි 20 ට ප්‍රශ්න 40 කට පිළිතුරු සපයන්නේ කෙසේදැයි දරුවන් විභාග නිරීක්‍ෂණ ගුරුවරුන්ගෙන් ඇසූ විට “බත් බෙදා දුන්නාම කෑම කන්න වෙනම කියන්ට අවශ්‍යද”දැයි පවසමින් එක්‌ ගුරුවරියක්‌ විභාග ශාලාවේදීම දරුවන්ට බැණ වැදී ඇත.

මේ නිසා දරුවන් විභාගය අවසන් වී හැඬූ කඳුළින් පිටතට පැමිණ සිටින අයුරු දක්‌නට ලැබිණි.

විභාගය අවසන් වී පැමිණි දරුවන්ගේ විලාශය දුටු දෙමාපියෝ ද පාසල් ගේට්‌ටුව අසලට පැමිණ විභාග ශාලාධිපතිට හා නිරීක්‍ෂණ ගුරුවරුන්ට ද විරෝධය පෑහ.

මේ අවස්‌ථාවේදී විල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පාලිත ඉලංගන්සේකර මැදිහත්වී මෙම දරුවන්ට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර අධ්‍යාපන බලධාරීන් හා සාකච්ඡා කර සාධාරණයක්‌ ඉටුකරන බවට පොරොන්දු වීමෙන් පසුව උණුසුම්කාරී තත්ත්වය සමථයකට පත්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.