මත්පෙති ජාවාරමට තැපෑලේ සහය

tabktsශ්‍රී ලංකාව, එංගලන්තය හා පාකිස්තානය යන රටවල් තුනේ පිරිසක් එක්ව සිදුකරන ජාත්‍යන්තර මත්පෙති ජාවාරමට ලංකා තැපැල් සේවයේ සහාය ලැබී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාට දැනුම් දුන්නේය.

පාකිස්තානයෙන් මෙරටට ලැබී ඇති මත්පෙති පාර්සලයක් රේගු පරීක්ෂාවකින් තොරව නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව අධිවේගී තැපෑල ඔස්සේ බෙදාහැර ඇති බව රහස් පොලීසියේ ව්‍යාජ මුදල් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන මහතා කළ පරීක්ෂණයකදී හෙළිවී ඇතැයි සිද්ධියට අදාළව කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පාකිස්තානයෙන් මෙරටට තැපැල් සේවය ඔස්සේ මත්පෙති එවන බවට පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර, එම මත්පෙති තොගය අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවට ගොස් පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය බෙදාහැර ඇති බව හෙළිවී ඇත.

ඒ අනුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී පිටකොටුව පළමු වැනි හරස් වීදීයේ පුද්ගලයෙකුට එය බාරදී ඇති බවට හෙළිවූ බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී පාකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බවත් රහස් පොලීසිය දැනුම් දුන්නේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්පෙති කිලෝ 12 බැගින් අඩංගු පාර්සල් 9ක් අත්අඩංගුවට ගත් බවත්, එංගලන්තයට යැවීම සඳහා කටුනායක ගුවන් තොටුපළට යවා තිබූ කිලෝ දෙක බැගින් වූ මත්පෙති පැකට් දෙකක් සොයාගත් බවත් එහිදී දැනුම් දුන්නේය.

පාකිස්තානයෙන් මෙරටට තැපැල් සේවය ඔස්සේ එවන මත්පෙති තැපැල් සේවයේ පිරිසක් සමග එක්ව හොර රහසේ ජාවාරම්කරුවන් අතට පත්කරන බව පැවසූ රහස් පොලීසිය මත්පෙති ජාවාරමට සම්බන්ධිතව තැපැල් සේවයේ රාජකාරි කරන පුද්ගලයන් කොටුකර ගැනීමට පරීක්ෂණ සිදුකරන බවද දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් ඉර්ෆාන් නමැති පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයා ලබන පළමු වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව කරන පරීකෂණවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළේය.
සිද්ධිය පිළිබඳව රහස් පොලීසියේ ව්‍යාජ මුදල් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන මහතා පරීක්ෂණ පවත්වයි.

  • අද පුවත් පතෙන් –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.