මෙහෙම ගුටි කන්න බෑ… හැටන් කරණවෑමියෝ පොලිසියට එරෙහිව වීදි බසිති..

පහරකෑමට ලක්ව දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන රවිචන්ද්‍රන්
පහරකෑමට ලක්ව දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන රවිචන්ද්‍රන්

හැටන් පොලිස් මූලස්ථානාධිපතිවරයාගේ කොණ්ඩය කැපීමට නියමිත වේලාවට පොලීසිය වෙත නොපැමිණි බව කියන හැටන් නගරයේ කරණවෑමියෙකු පොලිස් ජීප් රථයකින් රැගෙන ගොස් මූලස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ඔහුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක්  හැටන් නගරයෙන් වාර්තා වේ.

පහර කෑමට ලක්ව ඇත්තේ කදිරේෂන් රවිචන්ද්‍රන් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි. සිවුදරු පියෙක් වූ හෙතෙම මේ වනවිට ප්‍රතිකාර සදහා  දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

හැටන් කරණවෑමින් පොලිසියට එරෙහිව වීදි බට අයුරු
හැටන් කරණවෑමින් පොලිසියට එරෙහිව වීදි බට අයුරු

හැටන් පොලිස් මූලස්ථානාධිපති වරයාගේ කොණ්ඩය කැපීම සඳහා තමන්ට  23 දින පස්වරු 7.30 ට පමණ පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කළ බවත් තමන්ගේ සේවය ලබාගැනීමට එදින පස්වරුවේ විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් නියමිත වේලාවට පොලිස් ස්ථානය වෙත යෑමට නොහැකිවූ  බවත්  පසුව රාත්‍රී 8.30 ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් ජීප් රථයකින් පැමිණ තමන්ව පොලීසිය වෙත රැගෙන ගිය බවත් රවිචන්ද්‍රන් නැමැති කරණවෑමියා ප්‍රකාශ කර තිබේ.

පොලිසියට රැගෙන ගිය පසු පොලිස් මූලස්ථානාධිපතිවරයා ඔහුගේ නිල කාමරය තුළදී තමන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් පහරදුන් දුන් ආකාරයත්, අනතුරුව තවත් කිහිපදෙනකුගෙන් පහර කන්නට සිදුවූ ආකාරයත් රවිචන්ද්‍රන් කියා සිටී.

මෙම සිද්ධියට විරෝධය දක්වා හැටන් නගරයේ කරණවෑමින් සහ ප්‍රදේශවාසීන් පෙරේදා ( 24) උද්ඝෝෂණයකද නිරතවූහ.

මෙතෙක් කල් මෙම ප්‍රදේශයේ පොලිස් නිලධාරීහු කරණවෑමින් වෙත නොගිය අතර කරණවෑමින් පොලිස් නිලධාරීන් සිටින ස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ කොණ්ඩා කැපීමේ සම්ප්‍රදායක් නිර්මාණය කරගෙන තිබිණි.

එහෙත් මින් ඉදිරියට කිසිදු පොලිස් නිලධාරියකුගේ කොණ්ඩය කැපීම සඳහා හැටන් නගරයේ කරණවෑමීන් කිසිවකු පොලිස් ස්ථාන වෙත නොයන බවත් ඔවුන්ට තම සේවය ලබා ගැනීමට අවශ්‍යය නම් තම සේවා ස්ථාන වෙත පැමිණීමට සිදුවන බවත් ඔවුහු කීහ.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සඳහා හැටන් පොලිස් මූලස්ථානාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්කර වැඩ ආවරණය කිරීම සඳහා තාවකාලිකව පොලිස් පරීක්ෂකවරයකු පත්කළ බවත් මධ්‍යම හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති ලලිත් ජයසිංහ පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.