මෛත්‍රී ජනපති කිරීමට රනිල් කල උදව්වට ඔහුගේ ඡායාරූපයක් ශ්‍රීලනිප මුලස්ථානයේ සවිකළ යුතුයි – මර්වින් සිල්වා

mervin1111ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය විශාල සේවාවක්‌ ඉටුකළ නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක්‌ ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ සවිකළ යුතුව ඇතැයි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා ඒකාබද්ධ විපක්‍ෂය නමින් නව සංවිධානයක්‌ ආරම්භ කරමින් ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

කොළඹ මහජන පුස්‌තකාල ශාලාවේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

තවත් ඒකාබද්ධ විපක්‍ෂයක්‌ තිබුණට මට කමක්‌ නැහැ. නීතියෙන් ප්‍රශ්නයක්‌ ආවොත් ඒකට මා මුහුණ දෙනවා. අර ඒකාබද්ධ විපක්‍ෂය කියා ගන්නා උදවියගෙන් කීප දෙනෙක්‌ මගේ හිතවතුන්. ඒකට අලුතින් එක්‌වූ අයත් ඉන්නවා. එයාලට අගෞරව කරන්න මා කැමැති නැහැ. ඒ වගේම මා තරම් රාජපක්‍ෂ පවුල ගැන දන්නා කෙනෙක්‌ ඔය අතර නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් මා ඇප කැපවී ක්‍රියා කළා. ඒ වගේම පක්‍ෂය වෙනුවෙන් ගොඩක්‌ කරදරවලට මුහුණ දුන්නා. පසුගිය රජයේ ඇමැතිවරයකු ලෙස මා ක්‍රියාකළේ හරියට මකුණො කන පුටුවක වාඩිවෙලා හිටියා වගේ.

ඒකාබද්ධ විපක්‍ෂය මා ආරම්භ කළේ ඒ රජය කාලේ සියලුම දූෂිතයන් අල්ලා ගැනීමට රජයට බල කිරීමටත් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමටත්, ලීසිං ණයවලට කොටුවූ පුද්ගලයන්ට පිහිට වීමෙත් අරමුණින් සහ තවත් ප්‍රශ්න කීපයක්‌ මුල් කරගෙනය.

පසුගිය රජය සමයේ මා මරණ තර්ජනවලට පවා ලක්‌වුණා. “වම්බට්‌ටා” ඝාතනය කිරීමට හවුල් වූ පිරිසක්‌ මා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණා.

මගේ පුතාටත් මරණ තර්ජන තිබුණා. “ආමි සම්පත්” එදා ඇල්ලුවා නම් ආයුධ හොයා දෙන්න ගිහින් පැනලා යද්දී මැරුම් කෑවා කියලා කියන්න තිබුණා.

බැසිල් මහත්තයයි, ගෝඨාභය මහත්තයයි එදා කරපු වැරදි මහින්ද රාජපක්‍ෂ මහත්තයා බලාගෙන හිටියා. ඔවුන්ට දඬුවම් දුන්නේ නැහැ. රාජපක්‍ෂවරුන් යන ගමන වැරදියි කියලා මා විතරක්‌ නොවේ බොහෝ දෙනකු කීවත් එදා ඵලක්‌ වුණේ නැහැ.

මෛත්‍රිපාල මහත්තයා දිනුවට පස්‌සේ බැසිල් එයාගේ නෝනත් සමග රටින් පැන ගියා. දැන් එයා ඇවිත් රට දිනවන්න කතා කරනවා. කැලණියේ එජාපය දිනවන්න මා ක්‍රියා කළා. අද මා හදපු කැලණිය වතුරට යටවෙලා. මා දුක්‌ වෙනවා. පාට පක්‍ෂ බලන්නේ නැතිව ගංවතුරෙන් විපතට පත් කැලණිය, ගම්පහ දිස්‌ත්‍රික්‌ ජනතාවට මා උදව් කරනවා.

මෙම මාධ්‍ය හමුවට එම සංවිධානය වෙනුවෙන් අනිල් කුමාර, එස්‌. කේ. සනත්ලාල්, ඒ චන්දන රාඡ් යන අයද සහභාගි වූහ.

තමා විසින් ආරම්භ කළ මෙම පක්‍ෂයේ ප්‍රතිපත්ති මාලාව මීට කලින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදුන් බවද පැවසූ මර්වින් සිල්වා මහතා හිතවතුන්ගෙන් ලැබෙන ආධාරවලින් තම සංවිධානය ගොඩනඟන බවද කීවේය.

  • දිවයින පුවත්පත –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.