රටට ගහපු හැටි ගැන කියවුණු පාර්ලිමේන්තු කතාව

Palimantරටම කම්පා වී හිදී. ඒ මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහීම් අන්සාර් වෙත පිරිසක් එල්ල කළ අතිශය අමානුෂික ප්‍රහාරයේ පටිගත දර්ශන දැකීමෙන් අනතුරුවය. මේ රටක් කිසි විටෙක අපේක්ෂා කරන තත්වයක් නොවේ. මක්නිසාද යත් රටක අභිමානය, ආත්ම ගෞරවය හා පෞරුෂයට එල්ල කළ ප්‍රහාරයක් මිස එය ඊබ්‍රාහීම් අන්සාර් නැමැති පුද්ගලයාට එල්ල කළ ප්‍රහාරයක් නොවන බැවිනි. මේ ප්‍රහාරය ඉතාම සිල්ලර එකක් නොවන්නේ මැලේසියාව විසින් ශ්‍රී ලංකාව නැමැති රට නොසලකා හැර ඇති ප්‍රමාණය හෙළිවන බැවිනි. තමන්ගේ මවු බිම නියෝජනය කරමින් රාජකාරියේ යෙදෙන තානාපතිවරයාට නිසි ගෞරවය හා ආරක්ෂාව ලබාදීමට සූදානම් නැති රටක තානාපති වරුන් යැවිය යුතුද නැද්ද යන ගැටලුව අප අභිමුව ඉතිරි කර ඇති බැවිනි. පුද්ගලයෙකුට නොව, රටකට ප්‍රශ්නයක් මතුවෙද්දී අජිත් මාන්නප්පෙරුම, මනෝ ගනේෂන් වැනි දේශපාලකයන් එය විග්‍රහ කරන ස්වරූපය රටක් ලෙස අප සිටින්නේ කොතැනදැයි අපට කියා දෙන බැවිනි.

සිද්ධිය අද (06) පාර්ලිමේන්තුවේදී  සංවාදයට ලක් කෙරිනි. පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් වඩාත් පරිනතව මේ ගැටලුව සාකච්ඡා කළහ. පාර්ලිමේන්තුවෙන් පිටතදී අදහස් දැක්වූ දේශපාලන නායකයන් අතර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැදගත් ප්‍රකාශයක් කළේය. ප්‍රහාරය හෙළා දකිමින් ඔහු කියා සිටියේ මේ ප්‍රහාරය එල්ලවන විට මැලේසියානු ආරක්ෂක අංශ හැසිරුණු ආකාරය අතිශය ජුගුප්සාජනක බවය.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ                                                                                                                                               ප්‍රහාරය දැඩි සේ හෙලා දකිනවා… හිටපු ජනාධිපතිවරයාට වෙනුවෙන් ලබා දිය යුතු උපරිම  ආරක්ෂාව ලබා දෙනවා…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව විශේෂ ප්‍රකාශයක් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයක් අතරතුර ඇති වූ විවාදයේදී මේ ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලැබීය.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා. මෙරට මැලේසියානු තානාපතිවරයා කැදවා අප්‍රසාදය පළ කරන ලෙස මම ඒ අවස්ථාවේම නියෝග කලා. ඒ වගේම මේ සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය උපකාර කරන ලෙසත් සිද්ධිය දැනගත් වහාම මම විදේශ අමාත්‍යාංශ නිලධාරින්ට දැනුම් දුන්නා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු සෑම උපකාරයක්ම ලබාදී තිබෙනවා. විදේශගත වුනාම ඔහුට අවශ්‍ය වාහන හා අනෙකුත් පහසුකම් සලසා දෙනවා. අනෙක මම ගියත් ජනාධිපතිතුමා ගියත් ආරක්ෂක භටයන් අරගෙන යන්න පුළුවන් වුනත් ඔවුන්ට ආයුධ අරගෙන යන්න බැහැ. ඒ නිසා ආරක්ෂාව දෙන්නේ ඒ රටේ රජය විසිනුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට සහභාගී වන නිසා ඔහුට ආරක්ෂාව දෙන්න කියලා අපි එරට මහකොමසාරිස්ට දැනුම් දුන්නා. මේ සිද්ධිය වුනේ දයා ගමගේ මහතා, අනෝමා ගමගේ මහත්මිය හා දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මහකොමසාරිස්තුමා ගුවන් තොටුපොලට ගිය අවස්ථාවේදියි. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා හිටියේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දයා ගමගේ හා අනෝමා ගමගේ ගියා. මහජන පක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන ගියා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගියා.

අපි ද්‍රවිඩ කියන තමිල්නාඩු සංවිධානයේ මැලේසියානු ශාඛාවේ අය තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන ශ්‍රී ලාංකිකයෝ කව්රුත් නැහැ. මැලේසියානු කොටි තමයි මේකට සම්බන්ධ වෙලා තියෙනනේ. ලංකාවේ අය නම් පන්සලකට පහර දෙන්න යන්නේ නැහැ. මේ කණ්ඩායම මැලේසියාවේ ප්‍රධාන විපක්ෂය සමඟ සම්බන්ධයි. එම නිසා අපි විරුද්ධ පක්ෂය සමඟ ලංකාවේ තත්ත්වය ගැන කතා කරනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයට අපි ආරක්ෂාව දෙනවා එතුමා මේ රටේ දේශපාලනය කරන්න ඕනේ. මට නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මැලේසියානු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගේ යාලූවෙක්.

සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා හැමෝම මේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඔවුන් එකට ඉන්න රටක් හදන්න තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා යහපාලන ආණ්ඩුව කටයුතු කරන්නේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන                                                                                                                             මැලේසියානු රජයට දොස් කියන්නෙ නෑ… මේ වගකීම ගන්න ඕනි අපේ රජයයි…

මැලේසියානු මහ කොමසාරිස්වරයාට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා  කතා කළේය.

මැලේසියාවේ පැවැති අයිකැප් සැසිවාරයේ විශේෂ දේශනයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාටත්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දයා ගමගේ සහ අනෝමා ගමගේ මන්ත්‍රීවරුන්ටත්, මහජන එක්සත් පෙරමුණෙන් හා ඒකාබද්ධ විපක්ෂයෙන් මා හටත් ආරාධනා කර තිබුණා.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්‍රහිම් හන්සා මහතාට සහ ඔහුගේ නිලධාරින්ට ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොලේදී අන්තවාදී කොටි හිතවාදින් සුළු පිරිසක් පහරදී තුවාල සිදු කිරිම කණගාටුදායකයි. මෙය රටේ ගෞරවයට හානිකර තත්ත්වයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එම සමුළුවට සහභාගීවිම, සමුළුවට ඇමතිම, නියෝජිතයන් හමුවීම වැළැක්වීමටත්, තර්ජනය කිරිමටත් කොටි කොඩිය පෙන්වමින් අමානුෂික ප්‍රකාශ කිරිම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුයි.

මැලේසියාවේ විහාරයට ගොස් විහාරාධිපති හිමියන්ට පහරදීම ගැන රජය නිහඩ ඇයි. ලංකාව හා මැලේසියාවේ මිත්‍රත්වයට හානිකරන සියලූ සිදුවීම්වලට රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් කරන්නේ ඇයි. මම මැලේසියානු රජයට දොස් කියන්නේ නැහැ. රජය ඒ ගැන පියවරක් ගන්න ඕනේ.

 

විපක්ෂ නායක ආර්. සම්පන්දන්                                                                                                                                                             ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා… ශ්‍රී ලාංකිකයන් මේ ප්‍රහාරයට සම්බන්ධනම් වහාම ඔවුන් ලංකාවට ගෙන්වා දඬුවම් කරන්න…

ප්‍රහාරය මා තරයේ හෙළා දකිනවා. මේ සිදුවීම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එම ප්‍රහාරය එල්ලකළ  අයට  එරෙහිව දැඩි පියවර ගත යුතුයි. එසේ දැඩි පියවර ගන්නා ලෙස රජය මැලේසියා ආණ්ඩුවට බල කළ යුතුයි. ශ්‍රී ලාංකිකයන් මේ ප්‍රහාරයට සම්බන්ධනම් ඔවුන් ලංකාවට ගෙන්වා දඩුවම් කළ යුතුයි.  අපේ රටේ සාමය සමගිය කරා ගමන් කරමින් සිටින අවස්ථාවේ එය නැති කරන්න ඉඩ දෙන්න බැහැ. ඇතැමුන් කරන මෙම අමනෝඥ ක්‍රියාවල ප්‍රතිඵලය ඔවුන් දන්නේ නැහැ.

ඔවුන් දිරිගැන්වීමට නොව අධෛර්යමත් කිරිමටයි කටයුතු කළ යුත්තේ. අපේ රටේ ස්ථාවරත්වය ඇති කිරිම වැළැක්වීමටයි මේ අය උත්සාහ කරන්නේ. තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගන්නයි මෙවැනි දේ කරන්නේ.

වරදකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන අතර ඒ අයට එරෙහිව ජාත්‍යන්තරව කටයුතු කළ යුතුයි.

 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක                                                                                                                 මැලේසියාවේ ඇති වූ සිද්ධිය උතුරේ ජනතාව සමඟ සම්බන්ධ කර ගත යුතු නැහැ… 

ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහරදීම රටට එල්ල කළ පහරදිමක්. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම මෙය හෙළා දැකිය යුතුයි. අපි තානාපතිවරුන් ආරක්ෂාව දෙනවා වගේම මැලෙසියාවටත් යුතුකමක් තිබෙනවා අපේ තානාපතිවරයාට ආරක්ෂාව දෙන්න. මේ ක්‍රමවේදය රාජ්‍යතාන්ත්‍රික පිළිගත් ක්‍රමවේදයයි.

කොහොමවුනත් පහරදිමට පැමිණි අය ශ්‍රී ලාංකිකයෝ නොවෙයි. මේ අය උතුරේ ජනතාව ඔවුන්ගේ දේශපාලන ගමනට සම්බන්ධ කර ගන්න උත්සාහ කරනවා. ඔවුන් පහුගිය ජනාධිපතිවරණය වෙලාවේත් කිව්වේ උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කළ යුතුය කියලායි. නමුත් ඔවුන්ගේ හඩටය උතුරේ ජනතාව සවන් දුන්නේ නැහැ.

මේ නිසා උතුරේ ජනතාව හ මැලේසියාවේ ගැටුමට සම්බන්ධ අය සම්බන්ධ කර ගත යුතු නැහැ. තැන තැන පැන නගිමින් තිබෙන අන්තගාමි ව්‍යාපාර උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා ජනතාව ඔවුන්ට සම්බන්ධ කර ගන්නයි. ඒ නිසා ශ්‍රී ලංකා ජනතාවගේ ආශිර්වාදය හො අන්තගාමින්ගේ හඩ වෙන්න ඉඩදිය යුතු නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය නැති කිරිමට ගෙන යන මෙවැනි ව්‍යාපාරයන්ට එරෙහිව රජය කටයුතු කළ යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.