ව්‍යාපාරිකයාට වෙඩි

gunව්‍යාපාරිකයාට වෙඩි 

සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා යතුරුපැදියෙන් යමින් සිටි කොච්චිකඩේ පහළ මඩම්පැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පසුපස වෙනත් යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු ඊයේ (4 වැනිදා) පෙරවරුවේ එම ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින් පලා ගොස්‌ ඇත.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ කොච්චිකඩේ පහළ මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි සෙනෙවිරත්න බණ්‌ඩාරගේ නිලන්ත චම්පික නමැති දෙදරු පියෙකි. නිලන්ත චම්පික කොච්චිකඩේ ප්‍රදේශයේ බොරළු කැපීමේ ව්‍යාපාරය මහා පරිමාණයෙන් කළ ව්‍යාපාරිකයෙකි. සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා මඩම්පැල්ල ප්‍රදේශයේ ඇති පස්‌ කපන ස්‌ථානය වෙත යමින් සිටියදී වෙලේ කඩේ හන්දිය ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය ඔහුට එල්ල වී ඇත.

ව්‍යාපාරිකයාගේ හිසට පපුවට සහ උදරය ප්‍රදේශයට වෙඩි ප්‍රහාර හයක්‌ එල්ල වී ඇති අතර ඔහු සිද්ධිය වූ ස්‌ථානයේදීම මරුමුවට පත් වී තිබේ.

ඝාතකයන් මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්‌ යොදාගෙන ඇත. පස්‌ කැපීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කාලයක පටන් පැවැති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලිසිය සැක පහල කරයි.

පස්‌ ජාවාරමට සම්බන්ධ වී සිටින මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු ඊයේ (4 දා) දහවල් වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් පස්‌දෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

කොච්චිකඩේ පොලිස්‌ ස්‌ථානාධිපති එන්. බී. ආර්. ඡේ. ධර්මකීර්ති මහතාගේ අධීක්‍ෂණය මත විමර්ශන පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.