වැඩ තහනම් නියෝග තුට්ටුවට දමයි… දූෂිත දුම්රිය ලොක්කා තාමත් වැඩ…

Railway21බරපතල මූල්‍ය අක්‍රමික චෝදනාවක් මත කොළඹ අධිකරණයේ ඇසෙමින් ඇති නඩුවක් සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් වැඩ තහනම් කරන ලද  දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී පරිපාලන ලෙස කටයුතු කරන හේමන්ත ගමගේ  එම නියෝග පසෙකලා අද සිය රාජකාරි කාමරයේ වැඩකරමින් සිටි බව දුම්රිය සේවක වෘත්තීය සමිති පවසයි.

මීට ඉහත මේ තැනැත්තා මෙම නඩුව සම්බන්ධ සති දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. එහෙත් ඔහුගේ සේවා අත්හිටුවීමක් හෝ වැඩ තහනමක් සිදු නොවුණි. බොහෝ සේ ප්‍රමාද වී නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්   මේ තැනැත්තාගේ වැඩ තහනම් නියෝගය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත   පසුගිය බදාදා (31)  එවා තිබුණේය. එම නියෝගය නොසලකා ඔහු මේ මොහොතේත් ලිපි ගොනු සම්බන්ධ රාජකාරි කරමින් සිටීම බරපතල අනතුරක් බව එම වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ හැරීම තුළ  මේ දූෂිත නිලධාරියාට තමන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධ පිලිගොනු අස්ථාන කිරීමට මෙන්ම තමන්ට විරුද්ධ නිලධාරින්ගෙන් පලි ගැනීමටත් අවස්ථාව සලසා දී ඇතැයි ඔවුහු චෝදනා කරති.

හේමන්ත ගමගේ සම්බන්ධව මේ වනවිට කොළඹ අලුත්කඩේ උසාවියේ ඇසෙමින් ඇති නඩුව වන්නේ ඔහු කොළඹ ප්‍රදේශයේ පුණ්‍ය කටයුතු කොමසාරිස්ව සිටියදී දුගී ජනතාව වෙත ලබාදීමට තිබූ මහන මැෂින් තොගයක් වෙනත් අයට විකුණා මුදල් උපයා ගැනීමක් පිළිබදවය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරී පරිපාලන ලෙස කටයුතු කරන අතරවාරයේ මේ තැනැත්තා එම නඩුවට සම්බන්ධව සති දෙකක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරතව සිටියේය. බන්ධනාගාරගතව සිට පැමිණි ඔහු සේවකයන්ට කීවේ තමන් සති දෙකක විශේෂ නිවාඩුවක් ලබා ගත් බවය. එහෙත් සැබෑ තත්වය දැනගත් එවකට සිටි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා  සති දෙකකින් පසු බන්ධනාගාරයෙන් පැමිණි   හේමන්ත ගමගේට රාජකාරි භාර නොදී ඒ සම්බන්ධව උපදෙස් පැතුවේය. එහෙත් එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජේ.දඩල්ලගේ ගේ මැදිහත්වීම මත ඔහුට යළිත් රාජකාරි පැවරීමට සාමාන්‍යාධිකාරීවරයාට සිදුවී තිබිණි.

එහෙත් රාජ්‍ය සේවක විනය පාලනය කරන ආයතන සංග්‍රහයේ XLVIII  පරිච්ඡේදයේ 27-9 වගන්තිය අනුව සිදුකළ යුතුව තිබුණේ මේ නිලධාරියාගේ වැඩ තහනම් කිරීම හෝ අනිවාර්ය නිවාඩු යැවීමය. එය ක්‍රියාත්මක කිරීමට බොහෝ කල් ගියේය. ප්‍රමාද වී වැඩ තහනම් නියෝගය ලැබුණද අද (2) වනවිටත් හේමන්ත ගමගේ රාජකාරියේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.