සිසු පරපුරට ආදර්ශයක් වූ රත්නපුරයේ පළමුවැනියා.

rathnapura2012 වර්ෂයේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම පස් වැනියා වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත සිසුවා මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම අට වැන්නා බවය පත්විය. ඔහු ජීව විද්‍යා අංශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා ද විය. ඒ සාමාර්ථ තුනකට හිමිකම් කියූ සහන් ලබා ඇති Z අගය 2.7248කි.

ඔහු කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කටයුතු කර හුලු අත්තක් පත්තු කරගෙන අලුයම නිවිතිගල කරවිට නගරයට අවුත් පාසැල වෙත ගොස් ඇත්තේ තේ කම්හලේ ලොරියෙනි. කරවිට, පලාවෙල පොල්වත්තේ තම නිවසේ සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි. තේ වත්තේ ඉඩමක ටකරන් වහලයක් සවිකර ඇති නිවසක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වී තිබේ.ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඇත්තේ මෙම නිවසෙහි ජීවත් වූ කාලය අතරතුතරදීය . ඒ හේතුව නිසා 2014වසරේ ඔක්තෝබර මාසයේ දී ඔහුට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයෙන් රත්නපුර නව නගරයේ නිවසක් හිමි වුණි.

සහන්ගේ පියා අසනීපයෙන් පසුවන අතර මව තේ කම්හලක සුළු රැකියාවක් කර මෑතකදී පොත් කඩයක රැකියාවක් ලැබීමෙන් එහි සේවය කරයි. ඔහුට සහෝදරියන් දෙදෙනෙක් සිටී.  නදුනි නිමාෂා නැගෙනිය පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර මල්ෂා ඉමානි සහෝදරිය  10ශ්‍රේණීයේ ඉගෙනුම ලබන්නීය.

2012 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයයෙන් කොළඹ රාජකීය විද්‍යාලයයට ඒමට සහන්ට වරම් ලැබුණ ද සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ  ඔහු රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතහැරීමට අකමැති විය. ඒ අනුව උසස් පෙළ විභාගයට ඔහු පෙනීසිටියේ ද  ඇලෝසියස් විද්‍යාලයේදීම ය.

තම ජයග්‍රහණය පිළිබදව අදහස් දක්වමින් සහන් කියාසිටියේ තමන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්පූර්ණයෙන් අමතක කර මුල සිටම උසස් පෙළ විභාගය වෙනුවෙන් කැප වූ බවයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ලද ජය්‍රහණය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නිසා උපකාරක පන්ති සඳහා නොමිලේ පහසුකම් ලැබුණත් ඔහු උපකාරක පන්තිවලට වැඩිවශයෙන් සම්බන්ධ නොවූ බව ද ඔහු කියා සිටියේ ය. සහන් වැඩිදුරටත් කියාසිටියේ ඇලෝසියස් විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ජයතිස්ස මහතාගෙන් සහ විද්‍යා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඔහුට ලොකු සහයෝගයක් ලැබුණු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.