හන්තාන සිසුවියන් දූෂණ සිද්ධියේ සැකකරුවන් 22 තෙක් රිමාන්ඩ්…

Hanthana

  • සිසුවියන්ගේ දෙමව්පියන් උසාවිය ඉදිරිපට උද්ඝෝෂණයක
  •  අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරු 16 ක් …
  • නඩුව අතරේ නිමල් පීරිස් රෝහලට…

මහනුවර හන්තාන  ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික අධ්‍යාපන ආයතනක් සේ සැලකෙන  මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් දූෂණය කිරීම සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වන එම ආයතනයේ පරිපාලක මානව නායකත්ව පුහුණු හා පෞරුෂ වර්ධන උපදේශක චන්දිමාල් ගමගේ එම ආයතනයේ පාලිකාව වූ තලාතුඔය පදිංචි 24 හැවිරිදි ඉමේෂා කුමාරි වික්‍රමසිංහ, මුදල් අයකැමි ලෙස කටයුතු කළ කෑගල්ලේ 26 හැවිරිදි  නුවන්දි වීරසිංහ, දේශ ශක්ති, සමාජ සේවක හා ටෙලිෆික්ස් ව්‍යාපාරයේ සාභාපති සිංහ නිමල් එන් පීරිස්  ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (11) නියම කළේය.

නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නන්ද සේනානායක සමග ජනාධිපති නීතිඥවරයෙක් ඉදිරිපත් විය. අගතියට පත් දරුවන් වෙනුවෙන් බණ්ඩාර කරුණානායක හා සුපුන් රත්නායක ඇතුළු නීතිඥවරු 14 ඉදිරිපත්වී සිටියහ. පොලිසිය වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරික්ෂිකා අයේෂා බණ්ඩාර, මහනුවර පොලිස් අධිකාරී චාමික ප්‍රේමසිරි, මහනුවර පොලිස් ස්ථානාධිපති නිපුන දෙහිගම, ඇතුළු පොලිස් නිලධාරීහු පෙනී සිටියහ.

මේ නඩුවට සම්බන්ධ යම් සිදුවීම් නාට්‍යමය ස්වරූපයක් ගනු ලැබුවේය.  අපරාධ කරුවන් තහවුරු වන තුරු මේ සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස අද උදේ සිටම අධිකරණ පරිශ්‍රයට නුදුරුන් දෙමව්පියන් ඇතුළු අගතියට පත් පාර්ශවය එක්ව උද්ඝෝෂණයක් පැවැත්වූහ. මේ අරත  මහනුවර ප්‍රධාන අධිකරණයේ, මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් නඩු විභාග ආරම්භ කළේය.

නඩුව ඇසෙන අතර එහි සිව්වන සැකකරු වූ දේශකීර්ති නිමල් එන් පීරිස් කලන්තය සැදී වැටෙන්නට ගියේය. ඒ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමන්ට අපහසුවක් තිබෙදැයි විමසා එසේ අපහසුවක් තිබුණානම් ඒ බව බන්ධනාගාර නිලධාරීන් හරහා දැනුවත් නොකළේ මන්දැයි ඇසුවේය. යළිත් සැකකරු තමන්ට ප්‍රතිකාර අවශ්‍ය යැයි කී බැවින් බන්ධනාගාර නිලධාරීන් හරහා රෝහල්ගතවී වාට්ටුව සහ ඇදේ අංකය උසාවියට ලබා දෙන ලෙස නියෝග කළේය. සැකකරු එසේ රෝහල්ගත විය.

මේ අතර අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ මේ එක් සැකකරුවෙක් සමාජයේ ඉහළම සම්බන්ධතා සහිත පුද්ගලයෙක් බවත්,  ඔහු දේශපාලකයන්, උසස් රජයේ නිලධාරීන් මතු නොව උසස් පොලිස් නිලධාරීන් පවා සමීපව ඇසුරු කරන පුද්ගලයෙක් බවත් ඔවුන්ගේ මැදිහත් වීමෙන් මේ විමර්ශන කටයුතු වලට බාධා ඇතිවිය හැකි බැවින් ඇප ලබා නොදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල කියා සිටියේ විත්තිය විසින් මෙවැනි වෙනත් නඩු සදහා ඇප ලබාදී ඇතිආකාරය ගැන දැක්වූ උදාහරණ පිළි ගන්නා නමුත් මේ ඉදිරිපත්ව ඇත්තේ ළමයින් සමූහයක් ලිංගික අපයෝජනය වූ සිද්ධියක් බවය. අගතියට පත් පාර්ශවයෙන් ඉදිරිපත්වූ කරුණුත් සලකා බලා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් ලබන 22 දා දක්වා සැකකරුවන් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බවත්ය.

එමෙන්ම විමර්ශන කටයුතු නිසි ලෙසත්, කඩිනම්වත් වහාම පවත්වා නිම කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.